නයන වාසලතිලක මැතිසබයේ දිවුරුම් දෙයි

158

නයන වාසලතිලක මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ ඊයේ (12දා) දිවුරුම් දුන්නේය.

කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.

සමගි ජනබලවේගය නියෝජනය කරමින් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ චමින්ද විජේසිරි මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුවට වාසලතිලක මහතා මෙලෙස පත් කර තිබේ.

බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය නිම කර ඇති වාසලතිලක මහතා සූපවේදය පිළිබඳව උපාධියක් සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව උපාධියක් ස්විස්ටර්ලන්තයේදී හදාරා තිබේ. එසේම සූපවේදියකු ලෙස වසර ගණනක අද්දැකීම් සහිත ඒ මහතා ඔස්ටේලියාවේදී ප්‍රධාන පෙළේ හෝටලයක සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන හෝටලයක සූපවේදියකු ලෙස සේවය කර තිබේ. නයන වාසලතිලක මහතා මේ වන විට ව්‍යවසායකයකු ලෙස දේශීය සහ විදේශීය ව්‍යාපාර කිහිපයකම හිමිකාරිත්වය දරයි.

2015 වසරේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ක්‍රියාකාරී දේශපාලනයට පිවිස ඇති වාසලතිලක මහතා 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගය නියෝජනය කරමින් බදුල්ල දිස්ත්‍රික්කයෙන් මනාප 31,307 ක් ලබාගෙන තිබේ.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment