පැය 5ක් භූමිතෙල් පෝළිමේ සිටි  දෙදරු පියා ගෙදර ආවාම මිය ගිහින්

452

භූමිතෙල් මිලදී ගැනීම සඳහා හැටන් නගරයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල අසල පැය පහකට අධික කාලයක් පොලිමේ රැඳී සිටි හැටන් නගරයේ ව්‍යාපාරිකයකු ඊයේ (27දා) අලුයම ඔහු පදිංචි නිවස තුළදීම මියගොස් ඇති බව හැටන් පොලිසිය පැවසීය.

මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ හැටන් දුඹුරුගිරිය පාරේ පදිංචි දේවනායගම් (55) ක්‍රිෂ්ණසාමි නමැති දෙදරු පියෙකි.

මියගිය ව්‍යාපාරිකයා හැටන් නගරයේ පැති විදියේ කුලී පදනම මත ලබාගත් වෙළෙඳසලක නිමි ඇඳුම් ව්‍යාපාරයක් සිදුකරගෙන යන බවත්, 26 වැනිදා රාත්‍රි 7ට පමණ නිවසට අවශ්‍ය භූමිතෙල්

ලබාගැනීමට ඉන්ධන පිරවුම්හලේ පෝලිමට ගිය බවත් ඔහු 27 වැනිදා අලුයම 12.30 ට පමණ නිවසට පැමිණ තමන්ට දැඩි තෙහෙට්ටුවක් දැනෙන බව පැවසූ බවත්, පසුව රාත්‍රි ආහාර ලබාගන්නා අවස්ථාවේ ඔහුට වමනය ගිය බවත්, ඉන් අනතුරුව තම සැමියා එකවරම මියගිය බවත් මියගිය ව්‍යාපාරිකයාගේ බිරිඳ කියා සිටියාය.

තම සැමියාට මීට ප්‍රථම කිසිදු රෝගී තත්ත්වයක් නොතිබුණු බවත්, භුමිතෙල් ලබා  ගැනීමට පැය ගණනක් පොලිමේ රැඳී සිටි නිසා දැඩි වෙහෙසට පත් තම සැමියා අකාලයේ මෙසේ මියගිය බවත් මියගිය ව්‍යාපාරිකයාගේ බිරිඳ කියා සිටියාය.

මියගිය අයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව හැටන් පොලිසිය පැවසීය.

නුවරඑළිය – නාලක රත්නායක
 

advertistmentadvertistment
advertistmentadvertistment