ආණ්ඩුවෙන් පුරාවස්තු බේරා දෙන්නැයි යුනෙස්කෝවෙන් ඉල්ලනවා-උදය ගම්මන්පිල

104

කුරුන්දි විහාරය ඇතුළු උතුරු සහ නැගෙනහිර පළාත්හි පවතින පුරාවස්තු අද බේරා ගැනීමට සිදු වී ඇත්තේ බෙදුම්වාදීන්ගෙන් හෝ අන්තවාදීන්ගෙන් නොව වත්මන් ආණ්ඩුවෙන් යැයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ එම පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (15 දා) පැවැති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුව හා එක් වෙමිනි. එහිදී ගම්මන්පිල මහතා මෙසේ ද කීවේය.

පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ලංකාවේ ඓතිහාසික උරුමයන් සාතිශය තිබෙන්නේ උතුරු සහ නැගෙනහිර පළාත්වල. සිරිල් මැතිව් ඇමැතිතුමා විසින් යුනෙස්කෝ සංවිධානයට යැවූ ආයාචනයේ 1983 වසර වන විට හඳුනා ගෙන තිබුණු උතුරු සහ නැගෙනහිර පළාත්වල පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථාන 276ක් දැක්වෙනවා. අද වන විට මේ සංඛ්‍යාව තව දුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා උතුරු සහ නැගෙනහිර පළාත්වල පුරාවස්තු විනාශය පිළිබඳ විමර්ශනය කර වාර්තා කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවට අපි ජුනි 19දා ගරු කථානායකතුමාට යෝජනාවක් භාර දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ යෝජනාවට මට අමතරව හිටපු කැබිනට් අමාත්‍යවරුන් වන රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ මහාචාර්ය චන්න ජයසුමන සහ හිටපු රාජ්‍ය ඇමැති ජයන්ත සමරවීර අත්සන් කර තිබෙනවා.

දෙමළ සංධානයේ මන්ත්‍රීවරුන් කුරුන්දි විහාරය ගැන ජනාධිපතිතුමාට කිව්වේ පට්ටපල් බොරු. එය ඔප්පු කරන්න පිවිතුරු හෙළ උරුමයේ නියෝජිත කණ්ඩායමක් 2023 ජූනි 21 දින කුරුන්දි විහාරයට නිරීක්ෂණ චාරිකාවක් යෑමට තීරණය කළා. ඒ ගමනට බාධා කරන්න දෙමළ සංධානයේ මන්ත්‍රීවරුන්ට බෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(ඌ) වගන්තියෙන් ලංකාව තුළ යෑම් ඊම් නිදහස මූලික අයිතිවාසිකමක් ලෙස පිළි අරගෙන තිබෙනවා. අපි කුරුන්දි විහාරයට යන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති ඒ මූලික අයිතිවාසිකම භුක්ති විඳින්න.

අපි නිහඬ බලා සිටියොත් මේ ජනාධිපතිවරයා රාසමානික්කම් මන්ත්‍රීවරයා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් කරලා සුමන්තිරන් මන්ත්‍රීවරයාව සංස්කෘතික කටයුතු ඇමතිවරයා ලෙස පත් කරන්නත් ඉඩ තිබෙනවා.

වෙන රටවල ජාතික උරුමයන් රැක දෙන්නැයි ජනතාව ඉල්ලා සිටින්නේ ආණ්ඩුවෙන්. නමුත් අපේ රටේ ආණ්ඩුව තමයි ජාතික උරුමයන් විනාශ කරන්න කුමන්ත්‍රණය කරන්නේ. උතුරු සහ නැගෙනහිර පළාත්වල පුරාවස්තු විනාශයන් වැඩියෙන්ම සිදු වුණේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුර දැරූ 2001-2004 සහ 2015-2019 කාල වකවානු තුළ දී. ඒ අනුව එතුමා නායකත්වය දරන ආණ්ඩුවකට පුරාවස්තු රකින්නට බාරදීම නරියට කුකුල්ලු භාරදුන්නා හා සමානයි කියලයි අපි දකින්නේ. ඒ නිසා අපේම ආණ්ඩුවෙන් ලෝක උරුමයන් වන පුරාවස්තු බේරා දෙන්නැයි ලෝක උරුමයන් රැක ගැනීමට කටයුතු කරන ජාත්‍යන්තර සංවිධානය වන යුනෙස්කෝ සංවිධානයෙන් ලිඛිතව ඉල්ලා සිටීමටත් ඒ ගැන සාකච්ඡා කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා පක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් උපුල් කෝණාර, නැගෙනහිර කොළඹ ආසන සංවිධායක සරත් ඩයස් යන මහත්වරු ද සහභාගි වූහ.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment