සාපරාධී අපහාස නීතිය ඉවත් කළ මං අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්නෑ – විද්‍යුත් විකාශන පනත බිල්ලෙක් නෙවෙයි- ජනාධිපති රනිල් වික්‍රමසිංහ

83

ඩිජිටල්කරණය සෑම රාජ්‍ය අංශයකටම

ඔන්ලයින් පාස්පොට් ඇරැඹෙයි

කුරුන්දි රජයේ ඉඩම්වල සිංහල -දෙමළ- මුස්ලිම් ජනතාව පදිංචි කරවන්නේ නෑ

එක්සත් රාජධානියේ විද්‍යුත් මාධ්‍ය මාර්ගෝපදේශන නව පනතට ඇතුළත් කරනවා

විද්‍යුත් මාධ්‍ය මගේ ගෙදර ගිනි තැබුවා පමණක් නෙවෙයි වටිනා පොත් 3000ක් විතර නැති කළා

දැන් මේ ඉල්ලන්නේ ගෙවල් ගිනි තියන බලපත්‍ර ඕනෙ කියලද

කලාපයේ කිසිදු රටක සිදු නොකළ ලෙස සාපරාධී අපහාස නීතිය ඉවත් කළ තමා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීමට කිසිවිටෙක කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

යෝජිත විද්‍යුත් විකාශන නියාමන කොමිෂන් සභා පනත මගින් සිදු වන්නේ විද්‍යුත් මාධ්‍යයක් මගින් කිසියම් පාර්ශ්වයකට අගතියක් සිදු වුවහොත්, එම අගතියට පත් පාර්ශ්වයට සහනයක් ලබාගැනීම සඳහා අවස්ථාව සැලසීම පමණක් බවද ජනාධිපතිවරයා කීවේය.

ලෝකයේ සෑම රටකම විද්‍යුත් මාධ්‍ය පිළිබඳ කටයුතු කිරීමට එවැනි ක්‍රමවේදයක් භාවිතා වන බවත් ශ්‍රී ලංකාව තුළ එය ක්‍රියාත්මක කිරීමේ දී එක්සත් රාජධානියේ විද්‍යුත් මාධ්‍ය සඳහා තිබෙන මාර්ගෝපදේශන එලෙසින්ම ඇතුළත් කිරීමට තමා උපදෙස් දී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙළ ඊයේ (15) පස්වරුවේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී ආරම්භ කරමිනි.

විදෙස් ගමන් බලපත්‍ර අයැදුම්කරුවන්ට තම විදෙස් ගමන් බලපත්‍රය වඩාත් පහසුවෙන් මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ දිවයින පුරා දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක් හරහා අයැදුම් කිරීමට මේ සමග අවස්ථාව සැලසෙයි.

ඩිජිටල්කරණය සෑම රාජ්‍ය අංශයකටම හඳුන්වාදී උපතේ සිට මරණය දක්වා මහජනතාවට අවශ්‍ය සියලු‍ම ලිපි ලේඛන එක් වහලක් යටදී ලබාගැනීමට අවශ්‍ය පහසුකම් නිර්මාණය කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

විදේශ ගමන් බලපත්‍ර මාර්ගගත ක්‍රමය ඔස්සේ නිකුත් කිරීමේ වැඩසටහන අද අපි ආරම්භ කරනවා. මේ සමග රටේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ශීඝ්‍රයෙන් ඉදිරියට ගෙන යමින් ඊළඟ වසර කිහිපය තුළ රටේ සෑම ක්ෂේත්‍රයකම ඩිජිටල්කරණය ක්‍රියාත්මක කිරීම අපේ අරමුණයි.

අපි දියුණු රටක් ලෙස ඉදිරියට ගමන් කරනවා නම් ඩිජිටල්කරණය අත්‍යාවශ්‍යයි. එහි ආරම්භය අද මෙම ස්ථානයේ දී සිදුවනවා. ඇතැම් දෙපාර්තමේන්තු තුළ මෙය ක්‍රියාත්මක වෙනවා. ඇතැම් ඒවායෙහි ක්‍රියාත්මක වන්නේ නැහැ. ඇතැම් දෙපාර්තමේන්තු මෙම වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යාමට කැමතියි, කුමන හෝ හේතුවක් නිසා ඇතැම් දෙපාර්තමේන්තු සහ ආයතන මේ කටයුත්තට අකමැතියි. නමුත් මේ සියලු‍දෙනා එක මට්ටමකට ගෙන ඒමයි අපේ අපේක්ෂාව වන්නේ. මේ වගකීම මුලින්ම ආරම්භ කළ ටිරාන් අලස් මැතිතුමාට සහ එම අමාත්‍යාංශයට මම ස්තූතිවන්ත වෙනවා.

සාපරාධී අපහාස නීතිය ඉවත් කළ මං අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්නෑ - විද්‍යුත් විකාශන පනත බිල්ලෙක් නෙවෙයි- ජනාධිපති රනිල් වික්‍රමසිංහ

මාතෘ නිවාසයේ සිට සුසාන භූමිය දක්වා තිබෙන ලියකියවිලි කටයුතු එක අමාත්‍යාංශයකට මම භාරදී තිබෙනවා. ආගමන, විගමන බලපත්‍ර, ජාතික හැදුනුම්පත් ලබාදීම මේ සියල්ල අපේ ජීවිතයට අදාළ කරුණු. ඒ නිසා ටිරාන් අලස් අමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යාංශය ඒ කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

මෙම කටයුත්ත පැවැත්වෙන්නේ හෝමාගම ප්‍රදේශයේ නිසා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සහභාගි වෙලා සිටිනවා. මම හිතුවා මාධ්‍යවේදීන් මෙතනට ඇවිත් “අපේ මාධ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය නැති කරන්න යනවා, උතුරු කොරියාව වගේ තත්ත්වයක් ඇති කරන්න යනවා” කියලා විරෝධය දක්වයි කියලා.

මම දන්නේ නැහැ ඇයි මාධ්‍ය මෙවැනි වැඩපිළිවෙළක් ගෙනියන්නේ කියලා. අපේ දණ්ඩ නීති සංග්‍රහයේ සාපරාධී අපහාස නීතිය තිබුණා. මම එය ඉවත් කළා. මම හිතන්නේ නැහැ ආසියානු කලාපයේ කිසිදු රටක එය ඉවත් කර තිබෙනවා කියලා.

අපි අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කළා නම් ඇයි දැන් ඒක නැති කරන්න හදන්නේ. කිසිවෙකුට එය ඉවත් කිරීමට අවශ්‍ය නැහැ. මේ සියලු‍ දෙනාට වඩා මට තිබෙනවා මාධ්‍ය සමග සම්බන්ධතාවක්. ඒ නිසා අදහස් ප්‍රකාශ කිරීමෙ අයිතිය නැති කරන්න අපි කාටවත් අවශ්‍ය නැහැ.

නමුත් මෙතැන තිබෙන්නේ වෙනත් ගැටලු‍වක්. ලෝකයේ සෑම රටකම මාධ්‍ය මගින් යම් අගතියක් සිදු වූ විට ඒ අයට සහනයක් ලබා ගැනීමට වැඩපිළිවෙළක් තිබෙනවා.

මෙතන රාජ්‍ය සේවකයෝ සිටිනවා.ඒ කී දෙනෙකුට විද්‍යුත් මාධ්‍ය මගින් දොස් නගා තිබෙනවද, ඇතැම්විට කරුණු රහිතව කී දෙනෙක් ගැන විද්‍යුත් මාධ්‍යයෙන් ප්‍රකාශ සිදු කරනවද. දැන් ඒ අයට තිබෙන සහනය මොකක්ද, සාමාන්‍ය අයට පමණක් නෙවෙයි මටත් එම ගැටලු‍ව තිබෙනවා.

දැන් කුරුන්දි විහාරය ගැන එක එක ප්‍රකාශ සිදු කරනවා. මම එහි දෙමළ ජනතාව පදිංචි කරන්න යනවා කියලත් කියනවා. මම එල්ලාවල මේධානන්ද ස්වාමින් වහන්සේට දැනුම් දුන්නා මේ රජයේ ඉඩම්, ඒවායේ අපි දෙමළ, සිංහල හෝ මුස්ලිම් ජනතාව පදිංචි කරවන්නේ නැහැ කියලා ඔවුන්ට දැනුම් දෙන්න කියලා.

අනිත් පැත්තෙන් කෑ ගහනවා තිරියාය කඩලා එතන ගොඩනැගිල්ලක් හදන්න යනවා කියලා. එලෙස කිසිවක් නැහැ. ඒ ගැන ටිකක් හොයලා බැලු‍වොත් 2018 පාර්ලිමේන්තු කමිටුවකින් මේ පිළිබඳ තීන්දුවක් ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් මේ ඉඩම් පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට කමිටුවක් පත් කරන ලෙස මම උපදෙස් දුන්නා.

විශේෂයෙන් මට මේ ගැන සොයා බලන්න බැරි නම් කොහොමද සාමාන්‍ය පුද්ගලයෙක් එම සහනය ලබා ගන්නේ. එම සහනය ලබාදීමට පමණයි අපි කටයුතු කරන්නේ. තවම මෙම කෙටුම්පත් එකක්වත් අවසන් කර නැහැ. මම උපදෙස් දී තිබෙන්නේ එක්සත් රාජධානියේ විද්‍යුත් මාධ්‍ය සඳහා තිබෙන මාර්ගෝපදේශන මේ සඳහා ඇතුළත් කිරීමට.

තමන් ගැන අසත්‍යයක් ප්‍රකාශ කළොත්, එයින් තමන්ගේ චරිතයට හානියක් සිදු වුණොත් කී දෙනෙක්ට නඩු කියන්න පුළුවන්ද, ඉතින් මේ ආයතනය පිහිටුවීමෙන් එම ආයතනයට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන්. එහිදී මාධ්‍යයට අවාසියක් සිදු නොවීමට අවශ්‍ය මාර්ගෝපදේශන තිබෙනවා. එම මාර්ගෝපදේශන අනුව කටයුතු කළ යුතුයි.

මම නීතිපතිතුමාට දැනුම් දී තිබෙන්නේ මේක එක්සත් රාජධානියේ වචනවලින්ම සඳහන් කරන්න කියලා. මොකද තීරණ ලබාදීමේදී පූර්වාදර්ශයන් එහිදී අපට ලබාගත හැකියි.

ඒ වගේම ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඇතැම් මාධ්‍යවලට ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමටවත් බලපත්‍ර ලබාදී නැහැ. ඇතැම් අයට තිබෙන්නේ අධ්‍යාපන බලපත්‍ර. මේ සියල්ල නිවැරදි කිරීම තමයි අපේ අරමුණ. එසේ නැතිව වෙන කිසිවක් නැහැ.

දැනටමත් විකාශන බලපත්‍ර අහෝසි කිරීමට අමාත්‍යවරයාට බලයක් තිබෙනවා. මේ පනතින් යෝජනා කරන්නේ ඕනෑම කෙනෙකුට අධිකරණය වෙත ගොස් සහනයක් ලබා ගන්න අවස්ථාව සැලසීමයි. අධිකරණයට යන යෝජනාව විරුද්ධ නම් ඇමතිතුමාට ඒ බලය තියා ගන්න කියන්න. අපි උත්සාහ කරන්නේ යම් කිසි ක්‍රමවේදයක් අනුව මෙය ඉදිරියට ගෙන යාමටයි.

ඇතැම් රටවල වසර දහයෙන් දහය බලපත්‍රය අලු‍ත් කරනවා. ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි අදායමක් ලබා ගැනීම සඳහායි. අපි මේ හැම බලපත්‍රයක්ම නොමිලේ ලබාදුන්නා. එය ලබාගත් ඇතැම් අය එය විකිණුවා. ලාභය ලැබුණේ රටට නෙවෙයි ඔවුන්ගේ සාක්කුවටයි.

මෙම ක්‍රමවේදය ගැන කිසිවෙකු බිය විය යුතු නැහැ. විද්‍යුත් මාධ්‍ය මගේ ගෙදර ගිනි තැබුවා පමණක් නෙවෙයි වටිනා පොත් 3000ක් විතර නැති කළා. ඒක මට වුණු පාඩුවක්. දැන් මේ ඉල්ලා සිටින්නේ ගෙවල් ගිනි තියන බලපත්‍රය ඕන කියලද ?

අද මෙම ස්ථානයට අපේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමා සහභාගී වී සිටිනවා. මම විශේෂයෙන් එතුමාට ස්තූති කළ යුතුයි මේ හෝමාගම දියුණු කිරීමට එතුමා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව. මාධ්‍යයට මම කියනවා කිසිදු බියක් තබා ගන්න එපා. ඕනෑම ගැටලු‍වක් ජනමාධ්‍ය අමාත්‍යවරයා සමඟ කතා කරන්න කියලා.

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා ද කතා කළේය.

ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් රංජිත් අශෝක, ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලු‍ක්පිටිය, හෝමාගම ප්‍රාදේශීය ලේකම් ඩී.ඒ.ඩී. චින්තක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment