ගුත්තිල අසාර්ථක වුණා නම් නිර්මාණයම ප්‍රතික්ෂේප වෙනවා – අධ්‍යක්ෂ සනත් අබේසේකර

511

මහින්දාගමනය, ශ්‍රී දළදා ගමනය, මහරජ අජාසත් සහ අනගාරික ධර්මපාල යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළ සනත් අබේසේකර විසින් පස්වන වරට අධ්‍යක්ෂණය කරන ලද නවතම චිත්‍රපටය වන “ගුත්තිල” මේ දිනවල දිවයින පුරා සිනමා ශාලා රැසක ප්‍රදර්ශනය වේ. පසුගිය ඉරිදා වන් ගෝල් ෆේස්හි පිහිටි PVR සිනමා ශාලාව හවුස් ෆුල් කිරීමට ගුත්තිල සමත් විය. ගුත්තිල සිනමාපටයේ ඇති විශේෂතාවන් පිළිබඳව තවදුරටත් අසා දැන ගැනීමට අපි සනත් අබේසේකරත් සමග කතාබහක යෙදුණා.

ගුත්තිල අසාර්ථක වුණා නම් නිර්මාණයම ප්‍රතික්ෂේප වෙනවා - අධ්‍යක්ෂ සනත් අබේසේකර

● පසුගිය ඉරිදා One Galle Face හි PVR සිනමාශාලාව හවුස් ෆුල් කරන්න “ගුත්තිල” සිනමාපටයට පුළුවන් වුණා. ඒ ගැන මොකද හිතෙන්නේ?

ඔව්, ඇත්තටම ඒකට සතුටුයි. මම කලින් කරපු මහින්දාගමනය චිත්‍රපටය සහ සිරි දළදාගමනය චිත්‍රපටවලදීත් සිනමා ශාලා පිරී ඉතිරී ගියා. හැම තැනම හවුස් ෆුල් වුණා. ලංකාවේ වැඩිම ආදායම් බවට පත්වුණ චිත්‍රපටය වුණා. මම කරන නිර්මාණ වැළඳගන්න ලංකාවේ බොහෝ පිරිසක් ඉන්නවා. ඒක මට ලොකු සතුටක්. PVR සිනමාශාලාව වගේම ලංකාව පුරාම සිනමා ශාලාවලට විශාල පිරිසක් “ගුත්තිල” නරඹන්නට එනවා.

● “ගුත්තිල” නිර්මාණය කරන්න අදහස ලැබුණේ කොහොමද?

මට මේ අදහස ලබා දුන්නේ තිස්ස නාගොඩවිතාන සූරීන්. තිස්සගේ හිතේ කාලයක් තිබිලා තියෙනවා ගුත්තිල කාව්‍ය චිත්‍රපටියකට නගන්න ඕනෑ කියලා. තිස්සනාගොඩ සූරීන් මේ ක්‍ෂේත්‍රයේ ඉන්න කෙනෙක් නිසා එයා සුදුසු අධ්‍යක්ෂවරයෙක්ව සොයලා තියෙනවා මේ චිත්‍රපටය කරන්න. ඊට පස්සෙ තමයි මට භාර දුන්නේ.

● “ගුත්තිල” තිරගත වීමත් එක්ක අධ්‍යක්ෂකවරයා ලෙස ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

විශේෂයෙන්ම මට ස්වාමීන් වහන්සේලාගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. අස්ගිරිය, මල්වතු ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය, කැලණි රජමහා විහාරයේ නායක හාමුදුරුවන් වහන්සේගේ, පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හාමුදුරුවන් වහන්සේගේ, සොලොස්මස්ථාන අධිපති පල්ලියගම හේමරතන හාමුදුරුවන් වහන්සේ ඇතුළු සියලුම ප්‍රධාන නායක හාමුදුරුවරු ඇතුළු සියලුම දෙනාගේ ආශිර්වාදය මට නොමදව ලැබුණා. ඒ වගේම තමයි ගුරුවරු, විදුහල්පතිවරුන්ගේ ආශිර්වාදයත් හැම පාසලකින් ම වගේ ලැබුණා.

● “ගුත්තිල” නරඹන්නට වැඩිපුර පැමිණෙන්නේ පාසල් ළමුන් ද?

ඔව්. ඇත්තටම ගත්තොත් ගුත්තිල කාව්‍ය කියන්නේ පරම්පරා ගණනාවක් තිස්සේ ළමයි පරිශීලනය කරපු සංදේශ කාව්‍යයක්. මේ සංදේශ කාව්‍ය වෑත්තෑවේ හිමියන් කෝට්ටේ යුගයේදී හයවැනි පැරකුම්බා රජ දවසේ ලියැවුණු සංදේශ කාව්‍යයක්. “ගුත්තිලය” මේ කාලයේ, දැනට සාමාන්‍ය පෙළ විභාගයට සහ උසස් පෙළ විභාගයට විෂය නිර්දේශයේ තියෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාලවල විභාග තුනකටත් මේ සංදේශ කාව්‍ය පරිශීලනය වෙනවා. ඒ නිසා මේක නැරඹීම දරුවන්ට ඉතාම වැදගත් වෙනවා. ඒවගේම මෙහි හරිම රසවත්කමක් තියෙනවා. පරම්පරා ගණනාවක්ම මේ ගුත්තිල කාව්‍ය හැදෑරුවා සහ ඉදිරියේදීත් ළමයි හදාරනවා. ඒ නිසා ළමයින්ට ලොකු ආශිර්වාදයක් තියෙනවා.

● ගුත්තිල සිනමාපටයේ දකින්නට ලැබෙන විශේෂතාවයන් ගැන කතා කළොත්?

ඇත්තටම ගුත්තිල කාව්‍යයේ විශේෂතාවය තමයි සංගීතය මුල්වීම. කාව්‍ය, ගීත මේ කෙරෙහි තමයි මූලික අවධානය යොමු වුණේ. ඊට පසුව ඇඳුම් පැළඳුම්, පසුතල නිර්මාණයන් වගේම මෙහි ගුත්තිල ගාන්ධර්වයා එඩ්වඩ් ජයකොඩි මහත්තයා ව තෝරා ගැනීම. මේ චරිතයට සුදුසුම කෙනා එඩ්වඩ් ජයකොඩි මහත්මයා. මොකද මේක බෝධිසත්ව චරිතයක්. ඒ චරිතයට සුදුසුම නිවිච්ච, කරුණාවන්ත, දයාව, මෛත්‍රීය මේ හැමදේම එතුමාට තියෙනවා. මෙම කාරණා හරිම විශේෂයි. ඒවා සාර්ථක වුණේ නැත්නම් මිනිස්සු මේ නිර්මාණය ප්‍රතික්ෂේප කරනවා. තව දෙයක් තමයි තරුණ නිෂ්පාදකවරුන් දෙපළක් වන හරේන් නාගොඩවිතාන සහ දිලිනි සිල්වා තමයි ගුත්තිල නිෂ්පාදනයට දායකත්වය ලබා දුන්නේ. තරුණ යුවළක් මේ වගේ වටිනා නිර්මාණයකට වියදම් කිරීම විශේෂයි.

● පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment