දරුවන් රොබෝ කර මරුවන් බිහි කරන අපේ ක්‍රමය..!

263

නීතිය නොදැන සිටීම සමාවට කරුණක් නොවන රටේ කවුරුත් නොදන්නා නීතිය

නහඹු වියේ දරුවා මිතුරකු ලෙස රැකබලා ගැනීමට නම් කළ යුතු දේ මෙන්න

පොතේ දැනුම මොළේට දී ළමා සිතෙන් ඉවත් කරන මිනිස්කම

එදා එක් අවස්ථාවකදී මේ රට වෙනුවෙන් අතිමහත් සේවාවක් සිදු කළා වූ අනගාරික ධර්මපාලතුමාණෝ සමස්ත රටවැසියන් උදෙසා වටිනා ඔවදනක් දෙනු ලැබූහ. එතුමාණන් එසේ රට වැසියාට දුන් ඔවදන වූයේ කුමක්ද?

‘ඉපදී දස වසර සපිරෙන තෙක් දරුවන් අවවාද කරමින් රකිනු වයස අවුරුදු එකොළහේ සිට දහසය දක්වා ඔවුන් තරවටු කොට හික්මවනු. අවුරුදු දහසයේ සිට දරුවන් මිතුරන් සේ රකිනු’

එතුමන් එදා අපේ දරුවන් අරබයා රටට කියා දුන් පාඩම එය විය. මීට ශතවර්ෂයකටත් අධික වූ ඉතිහාසයේ දිනකදී අනගාරික ධර්මපාලතුමාණන් අපට ඒ පාඩම කියා දී තිබියදීත් නූතනයේ අපි අපේ දරුවන් වෙනුවෙන් එසේ ක්‍රියාත්මක වීමට සමත්ව සිටින්නෙමුද?

නැත. උපතේ සිට දස වසරක් යන තෙක් දරුවා අවවාදයෙන් රැකබලා ගන්නැයි ලෙසින් වූ ඉතා වැදගත් පෙන්වා දීමක් ධර්මපාලතුමාණන් සිදු කර තිබියදීත් අද රටේ දරුවන්ට එකී දසවසරක කාලය ගෙවා දමන්නට එවැනි සුන්දර වටපිටාවක් දෙමාපියෝ ඔවුන්ට ඉතිරි නොකරති.

එකී දස වසරින් හරි අඩක් හෙවත් අවුරුදු පහක්ම අපේ දරුවන් ගෙවා දමන්නේ අතිශය වෙහෙසකාරී තරගයක තරගකරුවන් බවට පත්වී හොඳටෝම හති වැටෙනතෙක් දුව යමිනි.

දරුවන් රොබෝ කර මරුවන් බිහි කරන අපේ ක්‍රමය..!

සියල්ල සොයා බලන්නට අදාළ වගකිවයුතු කණ්ඩායම් සිටියදීත් කිසිදු නියාමනයකට යටත් නොවී තැන තැන පවතින විලම්භීත පෙර පාසල් ක්‍රමයක් තුළින් ගමන අරඹන ඇතැම් දරුවන් පාසල් අධ්‍යාපනයට පිවිසෙද්දී සමස්ත දරුවන්ට පළමු ශ්‍රේණියට ඇතුළත් වූ දිනයේ සිටම සිදුව ඇත්තේ තරගයට අවතීර්ණ වන්නටය.

එකී තරගයේදී අන්‍යයන්ට ගරු කිරීම, එකමුතුකම, ආදරය, කරුණාව ආදී වශයෙන් මතු අනාගතයේ සමාජයට හිතකර යහපත් පුරවැසියකු දරුවා තුළින් බිහි කිරීම අදාළ කරුණු කිසිවක් වැදගත් නැත. නිරන්තරව සිදුවන්නේ දරුවා ඉලක්කයට තල්ලු කිරීම ම පමණි. දරුවාගේ මනසට කාවද්දනු ලබන්නේ අනෙකා පරයා ගමන යා යුතුයි යන ආත්මාර්ථකාමී පණිවිඩය ය.

මෙසේ තරගයට අවතීර්ණ වන දරුවන් අතරින් ඇතැමුන් පස් වසරක අවසානයේ එය ජය ගනිද්දී තවත් කොටසකට සිදු වන්නේ පරදින්නටය. එහිදී පරාජිත මානසිකත්වය තුළින් දරුවාගේ ඉදිරි ගමනට සිදුවන හානිය කිසිවකුටත් වැටහෙන්නේ නැත. එසේම ජයග්‍රාහී දරුවා තුළද අනෙකා කෙසේ හෝ ඇද දමා ඉදිරියට යෑම මිස අන්‍යොන්‍ය ගරුත්වය, සහයෝගය, සාමූහිකත්වය ආදී වශයෙන් මනුෂ්‍යත්වය හඳුනන ප්‍රායෝගික මිනිසකු බිහිවීමට අවැසි කිසිවක්ම නැත.

ලොව බොහෝ රටවල පෙර පාසල් වියේ සිට මූලික අධ්‍යාපනයේදී අන්‍යොන්‍ය බැඳීම, එකමුතුව වැඩ කිරීම, එකිනෙකාට ගරු කිරීම, අවංකකම, ආදරය, කරුණාව, ස්වාධීනත්වය, මානුෂිකත්වය වැනි ඉහළ ගුණාංග සහිතව දරුවන් ගොඩනඟද්දී අද මෙරට දරුවන්
ගොඩනැඟෙන්නේ එවැනි විපරීත වූ වටපිටාවකය.

ධර්මපාලතුමන් පෙන්වා දුන් පරිදි අද අප වයස අවුරුදු එකොළහේ සිට දහසය දක්වා තරවටුවෙන් හික්මවන්නට හදන්නේ අප විසින්ම කිසිදු මානසික හික්මවීමකින් තොරව මුල සිට ගොඩ නැඟූ දරු පරපුරක් නොවේද? මේ තත්ත්වය තුළ මූලික තරගය නිම කර ඉදිරියට පැමිණෙන දරුවා තරවටුවෙන් හික්මවන්නට කිසිවකුටත් නොහැකිය. එය කිසිසේත්ම ප්‍රායෝගික නොවන්නකි.

එසේ හික්මවාලන්නට නොහැකි වූ දරුවා වයස අවුරුදු දහසයේ සිට ධර්මපාලතුමන් කී පරිදි මිතුරකු සේ රැකබලා ගැනීමටද දෙමාපියනට නොහැකිය. හේතුව දරුවන් ඒ මිත්‍රත්වය ප්‍රතික්‍ෂේප කරන නිසාය.

එසේ නහඹු වයසට පිවිසීමේදී අද බොහෝ දරුවන් කරනුයේ දෙමාපියන් ඇතුළු පවුලේ සමීපතමයන් පසෙක සිටියදී ජංගම දුරකථනයක් හෝ අන් යමකට ඇති කරගන්නා දැඩි නැඹුරුවක් සමඟ හුදකලා වීමට කටයුතු කිරීමය. පවතින කාර්යබහුලත්වය සමඟ ඇතැම් දෙමාපියනට මෙය එතරම් නොදැනුනාට වර්තමානයේ බොහෝ දෙමාපියෝ මේ අත්දැකීමට මුහුණ දෙමින් නොසිටිතිද?

එසේ හුදකලා වන දරුවා පරිගණක ක්‍රීඩාවක් වැනි දේකට ඇබ්බැහි වීම බොහෝවිට සිදුවන්නකි. ඇතැම්විට අන්තර්ජාලය ඔස්සේ සම වයසේ තවත් දරුවකු හෝ දෙදෙනකු සමඟ සම්බන්ධ වන දරුවා තරගකාරී ලෙස පරිගණක ක්‍රීඩාවේ යෙදේ. එහිදී ඔවුන් තෝරාගන්නා පරිගණක ක්‍රීඩාව වියරුව, හිංසනය, ප්‍රකෝපය, අමානුෂිකත්වය පීරී තිබෙන්නක් වුවහොත් අවසන් ප්‍රතිඵලය ඉතා කනගාටුදායක විය හැකිය.

එවිට දරුවාගේ හැසිරීම වියරු ය, ප්‍රකෝපකාරීය, ඔහු අසාමාන්‍ය ය. සැණෙකින් දැඩිව කෝප ගන්නේය. හික්මීමක් නැත. වැඩිහිටි අවවාද ඔහුට අරහංය. කෙටියෙන්ම කිවහොත් නිරවුල් වූ මානසිකත්වයක් දරුවා තුළ නැත. තමන් ඉදිරියට එන ඕනෑම බාධකයකට, ගැටලුවකට ඔහු සොයා ගන්නා විසඳුම කිසිසේත්ම ප්‍රායෝගික හා සුන්දර නොවන්නකි.

මතුගම වැලිපැන්න ප්‍රදේශයේදී ඉකුත් දිනක අවුරුදු දහහතක් වැනි නහඹු වයසේ පසුවූ දරුවන් තිදෙනකු එකට එක්ව අවවාදයක් කළ වැඩිහිටියකුට මිය යනතුරුම පහරදී තිබිණි. එකී දරුවන් තිදෙනා එවැනි බිහිසුණු මිනීමරුවන් තිදෙනකු බවට පත්ව තිබුණේ ඔවුන්ගේ පහර දීමෙන් මරණයට පත්වූ මිනිසා අනාරක්‍ෂිතව යතුරු පැදියක් ධාවනය නොකරන්නැයි ලෙසින් කළ අවවාදයක් හමුවේය.

ඔවුන් තිදෙනා එවැනි මරුවන් තිදෙනකුගේ තත්ත්වයට පත්වූයේ ඇයිදැයි ඔවුන්ගේ ගෙවී ගිය දාහත් වසරක ජීවිතයේ අභ්‍යන්තරයට එබී බැලුවහොත් පැහැදිලිවම ඉහතින් කී සියල්ල ඒ කෙටි ජීවිත කතා තුළ සටහන් වී තිබෙනු ඒකාන්තය.

මේ රටේ අනාගතය බාර ගැනීමට සිටින මතු පරපුර අද අප ගොඩනඟමින් සිටින්නේ මෙවැනි අසාර්ථක වූ අමනෝඥ ක්‍රමවේදයක් ඔස්සේ නොවේද? පැහැදිලි ලෙසම කිවහොත් සිදුවන කිසිවක් තුළ ප්‍රායෝගිකත්වයක් ඇත්තේම නැත. මේ රට තුළ සිදු වෙමින් තිබෙන්නේ දරුවන් තුළින් කිසිදු හැඟීමක් දැනීමක් නොමැති රොබෝවරු මෙන් වූ පිරිසක් බිහි කිරීමට වෙහෙසීමය. පවතින ක්‍රමය තුළ දරුවා ක්‍රමයෙන් වැඩෙද්දී පොතේ ඇති දැනුම කොළයට දී කොළය මොළයට කාවැද්දූ හැඟීම් දැනීම් නැති රොබෝවකු බවට පත්වීම හැර සිදුවන අන් දෙයක් තිබේද?

මෙලෙස රොබෝ මානසිකත්වයක් සමඟ වැඩෙන අපේ දරුවන්ට අද තමන් කරන ක්‍රියාවේ ඇති අවදානම හඳුනා ගැනීමටවත් දැනුමක් විඥානයක් නැත. දෙවරක් නොසිතාම ඕනෑම අවදානම්කාරී ක්‍රියාවකට ඔවුහු යොමු වන්නාහ. දෛනිකව සිදුවන තරුණ මරණ ගණන එයට උදාහරණ සපයන්නේය.

දරුවන් තුළින් ප්‍රායෝගික වූ මනුෂ්‍යත්වය හඳුනන මිනිසකු බිහි නොවීම සමස්ත සමාජයක් පීඩාවට පත් කරන්නකි. අද සමාජයක් වශයෙන් ඒ යථාර්ථයට අපි මුහුණ දෙමින් නොසිටින්නෙමුද?

මෙරට රාජ්‍ය සේවය අද රටට බරක් වී තිබෙන්නේ මේ නිසාය. පරපුරක් අධ්‍යාපනය ලබති. ලද සුදුසුකම් මත ඔවුහු අතරින් පිරිසක් රාජ්‍ය සේවයට එක් වෙති. එතැන් සිට ඔවුනට පුරවැසියා අරහංය. යම් සේවයක් ලබා ගැනීමට තමන් වෙත එන පුරවැසියා දෙස ඔවුන් බලන්නේ අමුතු සතකු දෙස බලන්නාක් සේය.

රාජ්‍ය ආයතනයක් තුළදී සේවය ලබා ගැනීමට පැමිණෙන පුරවැසියාට නිසි මඟ පෙන්වීමක් කිරීමට ඔවුහු කටයතු නොකරති. ඒ වෙනුවට සිදු වන්නේ වෙහෙසට සහ බලාපොරොත්තු අහිමි කරන මානසිකත්වයකට පත් කිරීමය. අද මෙරට සිටින ජනතාව අතරින් යම් සේවයක් ලබා ගැනීමට රාජ්‍ය ආයතනයක් වෙත ගිය ඕනෑම අයකු ජීවිතයේ එක් වතාවක් හෝ මෙවැනි අත්දැකීමකට මුහුණ දී නොතිබේද?

රාජ්‍ය ආයතන තුළ වංචාව, දූෂණය, නාස්තිය ආදී වශයෙන් වූ රටට අහිතකර බොහෝ දේ සිදුවෙමින් තිබෙන්නේද මමත්වයට මුල් තැන දෙන පරාර්ථකාමීත්වයක් නැති ආත්මාර්ථයම අදහන හැඟීම් දැනීම් නැති රොබෝ පරපුරක් අපේ දරුවන් තුළින් බිහිකිරීමේ ක්‍රමවේදය හමුවේය.

එසේ ගොඩනැඟුන දරුවාට කිසිවක්ම අදාළ නැත. අවශ්‍යව තිබෙන්නේ කෙසේ හෝ තමන් නැගී සිටීමය. එහිදී ඔවුහු රටට කුමක් වුවත් කළ හැකි ඕනෑම දෙයක් කරන්නාහ. වර්තමානයේ මෙරට සමස්ත රාජ්‍ය ආයතන පද්ධතියම බිඳ වැටෙන්නට එම තත්ත්වය ප්‍රබල ලෙසම හේතු වී ඇත.

රටක ක්‍රමය සැකසී තිබිය යුත්තේ සමාජයෙන් නපුර පිටුදකින හෙවත් මුලිනුපුටා දමන ආකාරයකට වුවද මෙරට ක්‍රමය තුළ සිදු වෙමින් තිබෙන්නේ පිටුදැකීම වෙනුවට නපුරට උඩගෙඩි දීමය.

යම් සමාජයකින් නපුර ඉවත් කර දැමීමම යනු සමස්ත සමාජයටම යහපත් අන්දමට ඉදිරි ගමනක යෙදීමට අතිශය වැදගත් වන ප්‍රබල සාධකයකි. එම වැදගත් සාධකය සමාජයක් තුළ ඇති කිරීමේදී රටේ නීතිය පිළිබඳ සැලකිය යුතු අවබෝධයක් පුරවැසියන්ට තිබීම අත්‍යවශ්‍යය.

එහෙත් අද ලංකාව තුළ නීතිය වෘත්තිය කරගත්තෝ හැරෙන්නට තව කී දෙනකුට රටේ නීතිය පිළිබඳ අවබෝධයක් තිබේද? පැහැදිලිවම අති බහුතරයක් දෙනා නීතිය පිළිබඳ කිසිත් නොදන්නාහ. එසේ පුරවැසියා නීතිය නොදැන සිටීමම රටක් තුළ සමාජ විරෝධී ක්‍රියා සිදුවීමට බලපාන එක් ප්‍රබල හේතුවකි.

සත්‍යය එසේ වෙද්දී දරුවන් තුළින් අනාගතයට රොබෝවරුන් තනන අපි අවම තරමේ මෙරට පාසල් අධ්‍යාපනය තුළට නීතිය පිළිබඳ දැනුමක් කාවද්දන්නට මෙතෙක් උත්සායක් ගත්තෙමුද?

නැත. කාලයෙන් කාලයට පෙළ පොත් පවා වෙනස් කරමින් රටේ අධ්‍යාපනය තුළට විවිධ දේ එක් කළ අදාළ බලධරීන්ට හෝ පාලකයනට පාසල් පද්ධතිය තුළින් දරුවන්ට එවැනි දැනීමක් ලබා දිය යුතු යැයි නිකමටවත් කල්පනා වූවේ දැයි සැක සහිතය.

අද එවැනි දෙයක් සිදුව තිබුණේ නම් ඇතැම් විට මීට සති කිහිපයකට ඉහතදී සිදුවුණු ආකාරයට කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවා සිය පෙම්වතිය වූ සිසුවිය පිහියකින් ඇන ඝාතනය නොකරන්නට බොහෝ දුරට ඉඩ තිබිණි.

මන්ද ඔහු පාසල් අධ්‍යාපනයේදී රටේ නීතිය පිළිබඳ යම් අවබෝධයක පසුවූයේ නම් එම සිසුවිය ඝාතනය කිරීමට සිතීමේදීම එම වරදේ තරම සහ එයට හිමිවන දඬුවමේ දිග පළල සිහිවනු නොඅනුමානය. එකී වැටහීම තුළ බොහෝ දුරට සිදුවිය හැක්කේ එකී වරද නොකළ යුතු යැයි කියන තැනට ඔහුගේ මානසිකත්වය පත්වීමය.

රටේ නීතිය පිළිබඳ සැලකිය යුතු අවබෝධයක් අපේ දරුවනට ලබා දීම පාසල් තුළ දහවැනි ශ්‍රේණියේ සිට ආරම්භ කිරීමට පැහැදිලි හැකියාවක් අපට ඇත. අවශ්‍ය වන්නේ පවතින රූලෙන් පිටතට ගොස් රටේ පාසල් පද්ධතිය සහ අපේම දරුවන් දෙස යථාර්ථවාදීව දකින්නට අදාළ බලධාරීහු සහ වගකිවයුතු මහත්වරු කටයුතු කිරීම වන්නාහ.

දහවැනි ශ්‍රේණියේ සිට උසස් පෙළ අවසානය දක්වා විභාගවලට අදාළ නොවන බාහිර වූ ප්‍රායෝගිකව වැදගත් විෂයයක් ලෙස මෙරට දණ්ඩ නීති සංග්‍රහය පිළිබඳ හොඳ අවබෝධයක් රටේ දරුවන්ට ලබා දුනහොත් එමඟින් රටට අවැඩක් සිදුවේද?

කොහෙත්ම නැත. මතු පරපුර නීතිය පිළිබඳ අවබෝධයක් සහිත පිරිසක් වීම යනු රට තුළ සිදුවන අපරාධ සහ සමාජ විරෝධී ක්‍රියා අවම වීමට ප්‍රබල සාධකයකි. නීතිය නොදන්නේ යැයි යන්න යම් වරදක් කළ අවස්ථාවකදී පුරවැසියාගේ නිදහසට කරුණක් නොවේ නම් රටේ පාසල් පද්ධතිය තුළදී අනාගත පුරවැසියාට ඒ දැනුම ලබාදීම පාලකයන්ගේ වගකීමක් විය යුතුය.

එහෙත් අද දක්වාම මේ රට තුළ සිදුව තිබෙන්නේ රට කරවූ පාලකයෝ එකී වගකීම පැහැර හැරීම වන්නාහ. එසේ නීතිය පිළිබඳ හැදෑරීමක් ලැබීමේදී රටේ පාසල් ශිෂ්‍යයා නොමඟ යෑමද අවම විය හැකිය.

මත්ද්‍රව්‍ය ආදී වශයෙන් වූ විෂම දේ පාසල් තුළට පිවිසීමේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ අවබෝධයකින් සිසුවා සන්නද්ධව සිටීම නිසා එවැනි ජාවාරම්ද බොහෝ දුරට වැළැකී යනු ඇත. පැහැදිලිවම මෙරට පාසල් පද්ධතිය තුළට නීතිය පිළිබඳ විෂයානුබද්ධ නොවූ බාහිර අධ්‍යාපනයක් ගෙන එන්නට රටේ බලධාරීන් කටයුතු කළහොත් අනාගතයේ රට තුළ සිදුවිය හැකි දේ මොනවාද?

ජනතාව නීතිය පිළිබඳ අවබෝධයකින් පසුවෙද්දී ක්‍රමයෙන් සිදුවන අපරාධවල අවම වීමක් සිදුවනු ඇත. සිරගෙවල් පිරී ඉතිරී ගොස් වරදකරුවන් පෝෂණය කිරීම සඳහා ජනතා මුදල් කෝටි ගණනින් වැය කිරීමට රජයට සිදු නොවනු ඇත. අද අධිකරණ පද්ධතිය තුළ ගොඩ ගැසෙන නඩු ප්‍රමාණයද අවම වනු ඇත.

වර්තමානයේ මෙරට තුළ දෙකක් තුනක් වශයෙන් දෛනිකව සිදුවන මිනිස් ඝාතන ප්‍රමාණය අවම වනු ඇත. රටේ නීතිය බලාත්මක කිරීමට සිටින පොලිසියේ රාජකාරිවලට බොහෝ පහසුවක් ගෙන දෙනු ඇත.

පැහැදිලි ලෙසම කිවහොත් එවැනි අධ්‍යාපනයක් මෙරට පාසල් පද්ධතිය තුළට ළඟා කෙරුණහොත් නීතිය නොදැන වරදක් කරන්නාට එකී අනවබෝධය නිදහසට කරුණක් නොවන්නාක් සේම නීතිය දැන සිටින්නා වරදට බිය වීමටද හේතු ඇත.

රටේ දරුවන් තුළින් හැඟීම් දැනීම් නැති රෝබොවරුන් තනන ක්‍රමවේදයට කඩිනමින් තිතක් තබා අවැසි වෙනස්කම් සිදු කර නීතිය පිළිබඳ අවබෝධයකුත් අපේ දරු පරපුරට ලබාදීමට කටයුතු කෙරුණහොත් මේ රට භාර ගැනීමට සිටින අනගත පරපුර මනුෂ්‍යත්වය හඳුනන, නීතිගරුක විනයගරුක හා පරාර්ථකාමී පිරිසක් ලෙස සමාජගත වීම නියතවම සිදුවන්නේය.

එදා සිට අතීතයේ අනගාරික ධර්මපාලතුමාණන් අපට කියාදුන් පරිදිම රටේ දරුවාට දස වසරක් පිරෙන තෙක් අවවාදයෙන් රැකබලා ගන්නට අපට හැකිවනු ඇත එසේම අවුරුදු එකොළහේ සිට දහසය දක්වා වූ දරුවා තරවටුවෙන් හික්මවන අතරේ වයස අවුරුදු දහසය ඉක්මවූ දරුවා මිතුරකු සේ ආදරණීය ලෙස රැකබලා ගැනීමටද අපට පුළුවන් වනු ඇත.

රටේ දරුවන් හික්මෙන්නේ නම් ඔවුන් සාමූහිකව සමඟියෙන් කටයුතු කරන පිරිසක් වන්නේ නම්, පරාර්ථකාමී නම්, එකිනෙකාට ගෞරව කරන්නේ නම් සහ ඒ අතරින් බිහිවන අනාගත පුරවැසියන් මනුෂ්‍යත්වය හඳුනන නීතිගරුක පිරිසක් වන්නේ නම් එදාට මේ රට මොන තරම් සුන්දර බිමක් වනු ඇතිද?

එය සිදු කෙරුණහොත් මතුගම වැලිපැන්නේදී අප දුටුවාක් මෙන් අපේ දරුවන් තුළින් මරුවන් බිහිවනවාක් වැනි ඛේදනීය අත්දැකීම් ලබන්නට තරම් අප අවාසනාවන්ත නොවනු ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment