එංගලන්තයෙන් පැමිණ ලංකාවේදී පලංචියට නැග්ග කත…

1368

● ශ්‍රී ලංකාවේ මුල්ම ගෘහ නිර්මාණ ශිල්පිනිය මිනට් ද සිල්වා

● රටේ ප්‍රකට දේශපාලන පරම්පරාවක පුරුකක්

● ලෝ ප්‍රකට කලාකරුවන් ඇසුරු කළ කාන්තාවක්

● ප්‍රකට නිවාස, ගොඩනැඟිලි බොහෝමයක්
ඇයගේ සැලසුම් අනුව ගොඩනැගී ඇත

එංගලන්තයෙන් පැමිණ ලංකාවේදී පලංචියට නැග්ග කත…

වර්තමානයේදී නම් ලාංකික කාන්තාවන් ගණනාවක්ම ගෘහනිර්මාණ ශිල්පය වෘත්තියක් ලෙස තෝරා ගෙන සිටිති. එහෙත් මීට දශක පහකට හයකට පෙර එය පිරිමින්ටම පමණක් සින්නව තිබුණු වෘත්තියකි. එවන් කාලයක බාධාවන් රැසක් මැද ගෘහනිර්මාණ ශිලිපිනියක ලෙස ස්ථාවර වූ මිනට් ද සිල්වා ගැන කතා කරන්නේ කීයෙන් කී දෙනකුද.

දේශපාලන පවුලක ඉපදී දේශපාලන මඩ ගොහොරුවට නොවැටී සිය බුද්ධි ප්‍රභාවෙන් ඇය පෑ හරඹ හැඳි මිටකට වඩා දිග බව නම් කිව යුතුය. ඒ නිසාම ලාංකීය නූතන ගෘහ නර්මාණ ශිල්පයේ පුරෝගාමියා ලෙස ඇයව හැඳින්වීම අරුමයක් නොවේ. එවැනි කාන්තාවක් ඉතිහාසයේ කුණු බක්කියට තල්ලු කොට දැමීමෙන් පෙනී යන්නේ ලංකාව තවමත් පුරුෂ කේන්ද්‍රීය වෘත්තීන් පවත්වා ගැනීමට උත්සාහ ගන්නා බවද?

ලංකා ජාතික සංගමයේ සභාපති හා පසුකලෙක රජයේ සෞඛ්‍ය ඇමැතිවරයා ලෙසද කටයුතු කළ ජෝර්ජ් ඊ ද සිල්වා මිනට්ගේ පියාය. දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලක බඩ පිස්සිය ලෙස ඇය උපත ලබා ඇත්තේ 1918 පෙබරවාරි පළමු වැනිදාය.

එංගලන්තයෙන් පැමිණ ලංකාවේදී පලංචියට නැග්ග කත…

ප්‍රාථමික අධ්‍යාපනය එංගලන්තයේ බ්‍රයිටන්හි සාන්ත මේරි විද්‍යාලයෙන් හැදෑරු මිනට් නැවත මව්බිමට එන්නේ 1929 දීය. එකල පිරිමින් පමණක් යෙදුණු ගෘහ නිර්මාණ ශිල්පය හැදෑරීම ලාබාල දැරියක වශයෙන් පවා ඇගේ අරමුණ වූයේය. එහෙත් පියාගේ අරමුණ වූයේ ඇයව එවැනි රැකියාවකට යොමු කිරීම නොවේ. මේ නිසාම සිය මව් පස ඥාතියකු වන වෛද්‍ය ඇන්ඩෲ ෆේල්ගේ උපකාර මත මිනට් ද සිල්වා බොම්බායේ ප්‍රකට කලායතනයක් වූ ශ්‍රීමත් ජම්සෙත් ජී ජීජීබෝයි සෞන්දර්ය ආයතනයට එක් වූවාය. එහිදී ඇයව සමීපව ආශ්‍රය කළ අය අතර මුල්ත් රාජ් ආනන්ද්, රවි ශංකර් ආදී කලාකරුවන් ප්‍රධානයය. ඔවුන් විසින් පවත්වා ගෙන ගිය මාර්ග් Marg කලා සඟරාවට ලිපි සැපයුවාය. පියා කෙතරම් විරෝධය පෑවද සිය එකම අපේක්‍ෂාව වූ ගෘහ නිර්මාණ ශිල්පය ඇය අතහැරියේ නැත. එහෙයින්ම දෙවැනි ලෝක යුද්ධය හමාර වීමෙන් පසු ලන්ඩන්හි ගෘහ නිර්මාණ ශිල්පීය ආයතනයකට ඕ බැඳුනාය. පිරිමි ශිෂ්‍යයන් රැසක් මැද එහි ඉගෙනීම ලැබූ එකම ශිෂ්‍යාව වූයේ ඇයයි. එංගලන්තයේ සිටියද ඇය සිය දේශීය අනන්‍යතාව අමතක කළේ නැත.

රූප සුන්දරියක වූ ඇය සාරියකින් සැරසී හිසේ මල් ගවසාගෙන ගමන් කරන විට නිතරම ඇය සමග තරුණ ශිෂ්‍යයන් රැළක් විය. ඇගේ මෙවලම් මල්ල ද අත් බෑගයද සටහන් පොත් ගොන්නද ස්කාෆය හා ෂෝලයද රැගෙන ගියේ ඔවුන් විසිනි. මේ ආසියාතික කාන්තාව ආශ්‍රය කිරීම පවා ඔවුන් ගෞරවයක් සේ සිතූ බැවිනි.

එම ආයතනයේ ඇගේ සමකාලීන මිතුරකු මෙන්ම ලෝක ප්‍රකට ගෘහනිර්මාණ ශිල්පියකු වූ ගිලියන් හොවෙල් පසු කලෙක ප්‍රකාශ කළේය. ලොව තොනැනකට ගියත් බොහෝ දෙනකුගේ සිත් ආකර්ශනය කර ගැනීමේ හැකියාවක් ඇයට තිබිණි. පසු කලෙක ඉන්දියාවේ අගමැතිවරිය වූ ඉන්දිරා ගාන්ධි, මිනට් ඉන්දියාවේ සිටියදී ඇගේ සෙල්ලම් සගයා විය. මහත්මා ගාන්ධිගේ අවිහිංසාවාදී අරගලවලට වරෙකදී ඇයද එක්වූයේ ඉන්දියානුවකු මෙනි. ලෝක ප්‍රකට නිර්මාණ ශිල්පීන් වූ පැබ්ලෝ පිකාසෝ, ලෝරන්ස් ඔලිවියර්, ලේ කෝබර්සියර්, හෙන්රි කාට්යර් ආදීන් සමග ඇය සමීපව ඇසුරු කළාය. 1948 දී ලංකාවට නිහස ලැබුණි. එවකට රජයේ ප්‍රබලයකු වූ ඇගේ පියා ජෝර්ජ් මිනට්ට පැවසුවේ ලංකාවට පැමිණ සේවය කරන ලෙසය. ඒ අනුව මහනුවර සෙන්ට් ජෝර්ජ්ස් මන්දිරය වෙත පැමිණි ඇය අතේ කිසිදු මුදලක් නොමැතිව සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළාය. මුළු ආසියාවෙන්ම ගෘහ නිර්මාණ ශිල්පිනියක විසින් නිර්මාණ කළ පළමු ඉදිකිරීම ලෙස මහනුවර කරුණාරත්න නිවස නිර්මාණය වනනේ ඒ අයුරිනි. එසේම එය මිනට්ගේ පළමු ඉදිකිරීමද වේ.

එංගලන්තයෙන් පැමිණ ලංකාවේදී පලංචියට නැග්ග කත…

පවුලේ හිතවතකු වන ඇල්ගි හා ලෙටී කරුණාරත්න යුවල එහි හිමිකරුවන් වූ අතර ඒ කාලයේදී ඊට වැය වූ මුදල රුපියල් 40000 කි. 1951 දී එහි ඉදිකිරීම් නිමා කරනු ලැබුණි.

සිය පළමු නිර්මාණයෙන්ම එකල පැවති ගෘහ නිර්මාණ ශෛලිය විප්ලවකාරී ලක්‍ෂයකට ගෙන එන්නට ඇය සමත් වී තිබිණි. වර්තමානයේදී කඳු ගැට අද්දර නිවාස තැනීමේ කලාව සුලභ වුවද මීට දශක හය හතකට පෙර එවැනි තත්ත්වයක් නොවීය. බටහිර පැවති නවීන ගෘහනිර්මාණ ශෛලිය හා ලංකාවේ පාරම්පරික ගෘහ නිර්මාණ කලාව මිශ්‍ර කොට ඇතත් සම්ප්‍රදායක් බිහි කිරීමට අඩිතාලම දැමුවේ මිනට් ද සිල්වා විසිනි. මේ නිසාම ඇය ලාංකීය නූතන ගෘහනිර්මාණ ශෛලියේ පුරෝගාමියා ලෙස හඳුන්වනු ලැබේ.

එංගලන්තයෙන් පැමිණ ලංකාවේදී පලංචියට නැග්ග කත…

වර්තමානයේ බොහෝ දෙනකු නොදනිතත් බ්‍රිතාන්‍යයේ රාජකීය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ආයතනයේ RIBA සාමාජිකත්වය ලද පළමු ආසියාතික කාන්තාව වූයේ ඇයයි. මුළු ආසියාවටම එම ක්‍ෂේත්‍රය නියෝජනය කළ එකම කාන්තාව ඇයය. එසේම තමාගේම ගෘහ නිර්මාණ ශිල්පී ආයතනයක් ආරම්භ කළ ලංකාවේ පළමු කාන්තාව වන්නේද මිනට් ය. ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ආයතනයෙන් රන් පදක්කමක් දිනාගත් පළමු කාන්තාව ලෙසද ඇගේ නම සටහන් වී තිබේ. පෙරදිග කලාව හා සංස්කෘතිය පිළිබඳ විශේෂඥයකු වූ ආචාර්ය ආනන්ද කුමාරස්වාමිගේ ආශ්‍රය ඇගේ නිර්මාණවලට ප්‍රබල බලපෑමක් සිදු කර ඇත. සිය ගොඩනැඟිලි සැලසුම් සඳහා සාම්ප්‍රදායික උළු, ගඩොල් මෙන්ම විවිධ සංස්කෘතික මෝස්තර රටාවන්ද ඇය බහුලව භාවිතා කර ඇත්තේ මේ බලපෑම හේතුවෙනි. හැම විටම සිය ගොඩනැඟිලි සැලසුම් හරහා අලුත් යමක් අත්හදා බලන්නට ඇය උත්සාහ කළාය. මිනට් ද සිල්වා ගෘහ නිර්මාණ ශිල්පය වෙත යොමු වූයේ අභියෝග රැසකට මුහුණ දෙමිනි. ඉන් ප්‍රධානම කාරණය වූයේ පියාගේ දැඩි විරෝධයයි. ඉන්දියාවේ ඇය ඉගෙනුම ලබද්දී ඇගේ අධ්‍යාපනයට වියදම් දරන ලද්දේද සිය මාමා වූ වෛද්‍ය ඇන්ඩෲ ෆේල් විසිනි.

ඇයට බාධා ගෙන දුන් තවත් කාරණයක් වූයේ මිනට් ද සිල්වා ගැහැනියක වීමයි. ඇය තෝරාගෙන තිබුණේ එකල පිරිමින්ටම වෙන්කර තිබූ වෘත්තය ක්‍ෂේත්‍රයකි. එනිසාම බොහෝ අවස්ථාවලදී විවිධ දුෂ්කරතාවන්ට මුහුණ පෑමට ඇයට සිදු විය. 1998 දී රචනා කරන ලද සිය චරිතාපදානය වූ The Life a work of and asian Architect නම් ග්‍රන්ථයේ මෙන්ම ෂිරෝමි පින්ටෝ විසින් 2019 දී ප්‍රකාශයට පත් කරන ලද Plastic Emotions නම් ග්‍රන්ථයේද මෙවැනි අවස්ථා පිළිබඳව සඳහන් කර තිබේ. ලේඛනය කෙරෙහිද ඇයට තිබුණේ නිසඟ හැකියාවකි. බොම්බායයේ සිටියදී සිය වැඩිමල් සොයුරිය ඉතිහාසඥයකු වූ අනිල් ද සිල්වා හා මුල්ක් රාජ් ආනන්ද් සමග Marg නමැති කලා සඟරාව ඇය ආරම්භ කළාය. එහි ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ කර්තෘත්වය දරන ලද්දේ මිනට් විසිනි.

මියයන තෙක් අවිවාහකව සිටියද ඇගේ සමකාලීනයකු වූ ලේ කෝබර්සියර් සමග ඉතා සමීප බැඳීමක් ඇයගේ තිබිණි. එහෙත් කිසිදාක ඔවුන් ඒ පිළිබඳව ප්‍රසිද්ධියේ පවසා නැත.

කෝබු (ඇය කෝබර්සියර්ව අමතන ලදදේ එලෙසිනි.)

දිගු කලකින් ඔබෙන් තොරතුරක් නැහැ. පුංචි දූපත් කිරිල්ලිව ඔබට අමතක වී ගොස්ද මේ 1949 දී ලංකාවට පැමිණි ඇය කෝබර්සියර්ට ලියූ කොටසකි. කෙසේ වුවත් ජීවිත කාලයම අවිවාහකව සිටි ඇය වරෙක පැවසුවේ ස්වාමි පුරුෂයකු වැදගත් වන්නේ අවසාන කාලයේදී මිතුරකු වශයෙන් ආශ්‍රය කිරීම හැරෙන්නට බිරිඳගේ බඩු බාහිරාදිය රැගෙන යන අත් උදව්කාරයකු ලෙස පමණක් බවයි.

එංගලන්තයෙන් පැමිණ ලංකාවේදී පලංචියට නැග්ග කත…

අගනුවර ආශ්‍රිතව ඇගේ පළමු නිවාස සැලසුම වූයේ පීරිස් නිවාසයි. සාම්ප්‍රදායික මැද මිදුලක්ද සහිතව ඉදි කෙරුණු එය බටහිරත් පෙරදිගත් පරිසර සෞන්දර්යත් එක් කළ නිර්මාණයක් විය.

40 – 60 දශක අතර පෞද්ගලික නිවාස රාශියක් මිනට් ගේ අතින් බිහි වූයේය. මේවායින් සමහරක් මේ වන විට වෙනස් වී හෝ අභාවයට ගොස් තිබේ. පුද්ගලික නිවාස හැරණුකොට ගම්පොල ජිනරාජ විද්‍යාලය මහනුවර රතුකුරුස සංගමය මෙන්ම සංචාරක නිකේතන කිහිපයක්ද ඇය විසින් සැලසුම් කර ඇත. කෙසේ වුවත් යම් හේතුවක් නිසා රතුකුරුස සංගම් ශාලාව සැලසුමට පමණක් සීමා විය.

ඇගේ නිර්මාණාත්මක ශෛලිය විදහා පෙන්වන හොඳම උදාහරණය මහනුවර සංඝරාජ මාවතේ පිහිටි මහනුවර කලා සංගමය හා සංස්කෘතික මධ්‍යස්ථානයයි. ලංකාවේ සාම්ප්‍රදායික ගොඩනැඟිලි ශෛලියට බටහිර තාක්‍ෂණය එක්කර එය ඉදිකර තිබේ. උඩරට පැතලි උළු වහලය තොරණ මණ්ඩපය ගෘහ අංගනය ආදී ලක්‍ෂණ එහි දැකගත හැකිය. ඒ පිටුපස උiානය සකස් කර ඇත්තේ ස්වාභාවික එළිමහන් රඟමඩලක් ලෙසිනි.

කෙසේ වුවත් සිය මිනට් ද සිල්වා ඇසෝසියේට්ස් ආයතනය ඇය පවත්වාගෙන ගියේද දුෂ්කරතා මධ්‍යයේය. පුහුණු කාර්ය මණ්ඩලයක් එක් කර ගන්නට නොහැකි වීම ඊට එක හේතුවක් විය.

ආසියාතික ගෘහ නිර්මාණ ශිල්පයේ ඉතිහාසය නමින් පාඨ ග්‍රන්ථයක් ප්‍රකාශයට පත කරන්නට ඇගේ බලාපොරොත්තුවක් තිබිණි. නමුත් ඇගේ පමණක් නොව ජාතියේම අවාසනාවට මියයන තෙක්ම එය ඉටු කර ගන්නට ඇයට හැකියාවක් ලැබුණේ නැත.

සිංහලයකු හෝ ලාංකිකයකු ලෙස හඳුන්වනවාට වඩා ඇය පිය කළේ ආසියාතිකයකු වශයෙන් තමාව හඳුන්වා දෙන්නටය. දිගු කාලයක් ඉන්දියාවේ ගත කිරීම ඊට හේතු වන්නට ඇතැයි සමහරුන්ගේ අදහසයි.

තරුණ මිතුරන් රැසක් සමග එංගලන්තය වැනි උපරිම නිදහසක් සහිත රටක ඉගෙනුම ලැබුවද කිසිදාක පෙම් සබඳතාවක් ඇගේ ජීවිතයේ නොවීය. ජීවිතයෙන් සමුගන්නා තෙක්ම ඇය ගත කළේ අවිවාහක ජීවිතයකි.

1962 දී ඇගේ මව ඇග්නස් ද සිල්වා මියගියාය. එය ඇයට මහත් වේදනාවක් විය. මේ නිසාම සිය චිත්ත පීඩාව දුරු කර ගැනීම පිණිස දීර්ඝ ලෝක සවාරියක යෙදෙන්නට ඇය තීරණය කළාය. ඒ හරහා පාකිස්ථානය, ග්‍රීසිය, ඉරානය වැනි රටවල ආවේනික ගෘහනිර්මාණ ශෛලීන් ගවේෂණය කරන්නට ද ඇයට අවස්ථාව ලැබුණි.

1998 නොවැම්බර් 24 වැනිදා රජයේ රෝහල් සයනයක ඇය අවසන් හුස්ම හෙලුවේ හුදෙකලා කාන්තාවක ලෙසිනි. සිය ජීවිත කාලයේදී ඇගේ නිර්මාණශීලීත්වය අගය කරන්නට කිසිවකු ඉදිරිපත් වූයේ නැත.

මා ස්ත්‍රීයක වූ නිසා මගේ සැලසුම් ප්‍රතික්ෂේප කරනු ලැබුණි. ඒ හේතුව නිසාම බොහෝ දෙනකු මගේ සැලසුම් පිළිබඳව සැලකුවේ අවතක්සේරුවෙනි.

වරෙක ඇය ප්‍රකාශ කළේ පුරුෂවාදී සමාජය තමාට සැලකූ ආකාරයයි.

මේ වන විට ඇය මෙලොව හැරගොස් දශක දෙකකටත් වැඩි කාලයක් ගත වී තිබේ. එහෙත් මිනට් ද සිල්වා නමැති පුරෝගාමී ගෘහනිර්මාණ ශිල්පිනිය ගැන මේ දක්වාත් ඇගයීමක් සිදුවී නැත. මීට වසර කිහිපයකට පෙරදී ද අප අවධාරණය කළේ ඇය පිළිබඳව පාසල් පෙළ පොතක පාඩමක් හෝ වෙන් කරන ලෙසය. අපරදිග වීරයන් වීරවරියන් ගැන පොත් පිටු පුරවන බලධාරීන්ට ලාංකික කාන්තාවක ගැන ඒ කැක්කුම නැත්තේ ඇයි.

වසන්ත විජේරත්න

advertistmentadvertistment
advertistmentadvertistment