13 විසඳුම නොවේ: උ/නැ එකතු කර ස්වයං නිර්ණ අයිතිය දෙන්න – ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම්ලා ජනපතිට ලියති

128

උතුරු නැගෙනහිර දෙමළ වැසියන්ට මුහුණ පෑමට ඇති ප්‍රශ්න හා ගැටලුවලට විසඳුම් සෙවීමේදී 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අරම්භක ලක්ෂ්‍යයක් නොවන බව දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) ජනාධිපතිවරයාට ලිපියක් මගින් 9 දා කියා තිබේ.

උතුරු නැගෙනහිර අර්බුදය විසඳීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව යෝජනා ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ දේශපාලන පක්ෂවලින් කරන ලද ඉල්ලීම පිළිගනිමින් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් හා සෙල්වතුරේ ගජේන්ද්‍රන් යන මන්ත්‍රීවරුන්ගේ අත්සන්වලින් යුක්තව ජනාධිපතිවරයාට යවන ලද ලිපියේ මේ බව සඳහන් කර ඇත.

13 වැනි සංශෝධනය ජනවාර්ගික ගැටලුවේ ආරම්භක ලක්ෂ්‍යය හෝ අවසාන විසඳුම ලෙස පිළිගත නොහැකි බවත් 1987 දෙමළ පක්ෂ විසින් 13 වැනි සංශෝධනය ප්‍රතික්ෂේප කළ බවත් පවසන එම පක්ෂය වසර 75 ක් මුළුල්ලේ පවතින මෙම ගැටලුවට සාර්ථක විසඳුමක් වන්නේ උතුරු නැගෙනහිර පළාත් දෙක එකට එකතු කොට එම තනි ව්‍යුහයට ස්වෛරීභාවය හා ස්වයං නිර්ණ අයිතිය ආරක්ෂා වන අන්දමේ විසඳුමකින් පමණක් බව ද කියා තිබේ.

2016 වසරේ දෙමළ මහජන සභාව සමඟ එක්ව දෙමළ ජාතික ජනතා පෙරමුණ) සකස් කළ තමිල් දේසම් නමැති සම්මුති යෝජනාව උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසඳීමට ඇති එකම හා හොඳම ක්‍රියා පිළිවෙත බව ද දෙමළ ජාතික ජනතා පෙරමුණ ලියා ඇති අතර එම සම්මුතියේ පිටපතක් ද ජනාධිපතිවරයාට යවන ලද ලිපියට අමුණා ඇත.

13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉන්දීය රජයේ හා එවකට ඉන්දීය අගමැතිවරයා වූ රජීව් ගාන්ධි මහතාගේ වුවමනාවට සිදු වූ ක්‍රියාවක් බව පවසන එම පක්ෂය ඊට කෙටි කලකට පසුව දෙමළ දේශපාලන පක්ෂ රජීව් ගාන්ධි අගමැතිවරයාගෙන් හා ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කරමින් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීමට මැදිහත් වන ලෙස ඉල්ලා සිටි වග ද ලිපියේ සඳහන් කර ඇත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment