සාක්‍ෂි පරස්පර වීමෙන් වසර හතරක් රිමාන්ඩ් භාරයේ සිටි සොත්ති උපාලිගේ පුත්‍රයා නිදොස් කොට නිදහස්

93

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 416 ක් සහ බෙල්ජියමේ නිෂ්පාදිත ඔටෝ රිපීටර් වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගත් බවට චෝදනා එල්ල වී වසර හතරකට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි පුද්ගලයකු නිදොස්කොට නිදහස් කරන ලෙස පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා ඉකුත් 08 දා නියම කළේය.

මොරටුව, තුඩුවන්මුල්ල ප්‍රදේශයේ පදිංචි අරඹගේ දොන් ප්‍රසන්න ලක්ෂිත නමැති 45 හැවිරිදි පුද්ගලයකු මෙසේ නිදොස්කොට නිදහස් කෙරිණි. නිදොස්කොට නිදහස් කෙරුණු සැකකරු පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙසින් හඳුන්වන අරඹගේ දොන් උපාලි රංජිත් නොහොත් සොත්ති උපාලි නමැත්තාගේ පුත්‍රයා බවද අනාවරණය වේ. පැමිණිල්ල වෙනුවෙන් සාක්කිකරුවන් දහතුන් දෙනකු කැඳවා තිබූ නමුත්, පළමු සාක්කිකරු වන පො.ප. සමන් පත්මලාල් මහතාගේ සාක්කිය විමසීමෙන් පසුව විනිසුරුවරයා නියෝගය නිකුත් කළේය. සැකකරු 2019 අප්‍රේල් මස 02 දින මොරටුව තුඩුවන්මුල්ල ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් තුනහමාරකට ආසන්න ප්‍රමාණයක් සහ බෙල්ජියමේ නිෂ්පාදිත ඔටෝ රිපීටර් වර්ගයේ ගිනිඅවියක් සමග වැල්ලවත්ත දිසා දූෂණ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබූ නමුත්, හෙරොයින් මත්කුඩුවල ශුද්ධ බර ග්‍රෑම් 416 ක් බවට රස පරීක්ෂක වාර්තාවට අනුව පසුව සනාථ වී තිබේ. මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ මූලික සාක්කි ගොනුකිරීමෙන් පසු නීතිපති වරයා විසින් පානදුර මහාධිකරණයේ නඩු පවරා තිබුණි. සැකකරු අත්අඩංගුවට ගත් දිනට පසුදින විද්‍යුත් මාධ්‍ය මගින් ප්‍රචාරය වූ මාධ්‍ය වාර්තා සහ පළමු සාක්කිකරු විසින් ලබාදුන් සාක්කි පරස්පර බව විත්තිය වෙනුවෙන් පෙනීසිටී නීතිඥ අනෝජ් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අනෝජ් හෙට්ටිආරච්චි මහතා සමග නීතිඥ රංග එස්. කොබ්බෑවත්ත, සජීව කොඩිතුවක්කු, සුරංග පෙරේරා, හෂාන් දම්පැල්ල සහ නයෝමි සමුදිකා යන මහත්ම මහත්මීන් පෙනී සිටියහ.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment