පොලිසියට වෙඩි තබා පනින්න හරක් කටා ප්ලෑන් කරලා – සීඅයිඩීයේ තිබූ විමර්ශන සීසීඩීයට

490

මිදිගම නදුන් චින්තක හෙවත් හරක් කටා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියා සතුව තිබූ පිස්තෝලය පැහැරගෙන ආරක්‍ෂාවට සිටි පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඝාතනය කර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයෙන් පලායෑමට සැලසුම් කර තිබූ බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

සී අයි ඩී භාරයේ සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකාගේ නිලධාරියෙකුගේ ගිනි අවියක් පැහැරගෙන පලායෑමට හරක්කටා උත්සහ කර තිබුණි.

(සී අයි ඩී) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තුළ සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය (සීසීඩී) වෙත භාර දී තිබේ. විශේෂ කාර්ය බළකායේ නිලධාරියා විනාඩි පහකට ආසන්න කාලයක් හරක් කටා සමග පොරබදා ඇති අතර ඔහු විශාල සටනක් කර පිස්තෝලය බේරාගෙන ඇත.

හරක්කටා තම අතේ තිබූ විලංගු ගලවාගෙන ඉන් එක් විලංගුවක් විශේෂ කාර්ය බළකායේ නිලධාරියාගේ එක් අතකට දමා ඔහු සිය ග්‍රහනයට ගැනීමට උත්සාහ කර තිබේ.

ඒ අවස්ථාවේදි රහස් පොලිසියේ සිටි තවත් නිලධාරීන් කීප දෙනෙකු පැමිණ හරක් කටා පාලනය කර ඔහු සිරමැදිරියකට දැමීමට කටයුතු කර තිබිණි.

හරක් කටාට මෙම සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කීප දෙනෙකුගේ සහාය ලැබී ඇති බවට විමර්ශන කණ්ඩායම් සැක පහල කරයි.

හරක් කටා සමග මෙසේ සබඳතා පැවැත්වූ බවට සැකකරන නිලධාරීන් පිළිබඳව මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

නදුන් චින්තක හෙවත් හරක් කටාගේ ආරක්‍ෂාවට සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියාගේ දක්‍ෂතාව නිසා ඔහු සතුව තිබූ ගිනි අවිය පැහැර ගැනීමට නොහැකිවී ඇති බව ද අනාවරණය වී ඇත.

මේ අතර රැඳවුම් නියෝග මත සිටි හරක් කටා සහ කුඩු සලිඳු නමැති ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනාට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ සහ නිලධාරිනියන්ගේ විශේෂ සැලකිලි ලැබී තිබූ බව ද අනාවරණය වෙමින් පවතී.

ඇතැම් නිලධාරිනියන් හරක් කටාට ආහාර පාන පවා තම නිවෙස්වලින් සකසා ගෙනැවිත් ලබාදී ඇති බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන්ද විමර්ශනයක් අරම්භ කර තිබේ.

හරක් කටාට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පලායෑමට ගත් උත්සාහය සඳහා උපකාර කිරීමෙන් පසු මේ වනවිට අතුරුදන්ව සිටින පොලිස් කොස්තාපල්වරයා පිළිබඳව කිසිදු තොරතුරක් මේ වනතුරු ලැබී නැත.

කෙසේ වෙතත් හරක් කටා ක්‍රියාත්මක කළ මෙම පලායෑමේ සැලසුම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය, පොලිස් විශේෂ විමර්ශන ඒකකය සහ ත්‍රස්තවාදී විමර්ශන ඒකකය මගින් මේ වනවිට ක්‍රියාත්මක කර ඇත.

මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හරක් කටා මැඩගස්කරයේදී එරට පොලිසිය මගින් මීට මාස කීපයකට උඩදී අත්අඩංගුව ගත් අතර පසුව ඔහු මෙරටට භාරදී තිබිණි.

ඉකුත් 10 වැනි ඉරිදා සවස හරක් කටා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සිරමැදිරියෙන් පිටතට ගත් අවස්ථාවේ ඔහු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියාට පහරදී ඔහු සතු පිස්තෝලය පැහැරගෙන පලායෑමට උත්සාහ කර තිබිණි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment