එක ලයිට් එකක් ඕෆ් කළොත් කෝටි 362ක්

444

‘අනවශ්‍ය විදුලි පහන් නිවා දමන්න” මෙය අපි කුඩා කල සිට අසා තිබෙන වාක්‍යයකි. විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීම කොතරම් වැදගත් ද යන්න මෙම වාක්‍ය හරහා ලංකා විදුලි බල මණ්ඩලය අපේ සිතට කාවද්දවා තිබේ. ඇත්තටම ගෙදරක එක විදුලි බුබුලක් නිවා දමා මහා ලොකු ඉතිරියක් කළ හැකිද යන ගැටලුව කාට වුවත් ඇති විය හැක. එම නිසා අපි ඒ පිළිබඳව ගණන් හිලව් ඇතුව සාකච්ඡා කිරීමට තීරණය කළෙමු.

ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් විදුලි පාරිභෝගිකයන් ගණන ලක්ෂ හැත්තෑ දෙකකි. ඉන් ගෘහ ඒකක හැට ලක්ෂයක් පමණ ඇත. එනම් විදුලිය ඇති නිවාස ගණන හැට ලක්ෂයක් පමණය. එම එක නිවසක වොට් දහය බැගින් වූ විදුලි බුබුළු පහක් ඇතැයි අපි සිතමු. සාමාන්‍යයෙන් නිවසක විදුලිය වැඩිපුරම පාවිච්චි කරන්නේ සවස හයේ සිට රාත්‍රී දහය දක්වාය. එනම් පැය හතරක පමණ කාලයකි. සෑම දාම දැල්වෙන මෙම විදුලි බුබුළුවලින් එක විදුලි බුබුලක් මෙම පැය හතරක කාලය තුළ එම නිවසේ නිවා දැමුවහොත් එක් දිනකට වොට් 40 ක් ඉතුරු වෙනු ඇත. ඒ ආකාරයෙන්ම නිවාස විසිපහක් එක විදුලි බුබුල බැගින් නිවා දැමුවොත් වොට් දහසක් ඉතුරුවනු ඇත. වොට් දහසක් යනු කිලෝ වොට් පැය එකකි. කිලෝ වොට් පැය එකක් කියන්නේ නිවසක එක විදුලි ඒකකයකි. එනම් යුනිට් එකකි. එවැනි නිවාස සියයකින් විදුලි ඒකක හතරක් ඉතුරු වෙනු ඇත. මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරන ආකාරයට විදුලි ඒකකයක සාමාන්‍ය පිරිවැය රුපියල් හතළිස් දෙකකි. නිවාස සියයකින් ඉතුරු වූ විදුලි ඒකක හතරේ වටිනාකම ඒ අනුව රුපියල් එකසිය හැට අටකි.

ශ්‍රී ලංකාවේ විදුලිය ඇති නිවාස හැට ලක්ෂයේම දිනකට පැය හතරක කාලයක් මේ ආකාරයට වොට් දහයක විදුලි බුබුලක් නිවා දැමුවහොත් ඉතුරු වන (හැට ලක්ෂය හතළිහෙන් වැඩි කර බැලූ විට) වොට් පැය ගණන මිලියන 240කි. එනම් වොට් පැය 240000000කි. එනම් ඉතුරු වන විදුලි ඒකක ගණන (යුනිට් ගණන) දෙලක්ෂ හතළිස් දහසකි. මහජන උපයෝගිතා කොමිසම විදුලි ඒකකයක පිරිවැය ලෙස සලකන රුපියල් 42න් වැඩිකර බැලූ විට එහි මූල්‍යමය වටිනාකම රුපියල් එක් කෝටි අසූ දහසකි (10080000). මේ දිනකට පැය හතරක් සෑම නිවසකම වොට් දහය බැගින් වූ එක විදුලි බුබුලක් නිවා දැමීමෙන් ඉතිරි කරගත් මුදලය. මෙය මාසයකට ඇති දින 30න් වැඩි කළ විට ඉතිරි වන මුදල 302400000කි. එනම් තිස්කෝටි විසිහතර ලක්ෂයකි. මිලියනවලින් කියතහොත් මිලියන 302යි ලක්ෂ හතරකි. එවිට වසරකට (දොළහෙන් වැඩි කළ විට) ඉතිරිවන මුදල රුපියල් 3,628,800,000කි. එනම් කෝටි 362ක් සහ ලක්ෂ අසූඅටකි. එනම් බිලියන තුනයි මිලියන 628 කට අධිකය. එක විදුලි බුබුලක් නිවා දමා ඉතිරි කළ හැකි මුදල කොතරම් දැයි කියා දැන් ඔබට වැටහෙනු ඇත. එම නිසා අරපිරිමැස්මෙන් අපි විදුලිය පාවිච්චි කරමු.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment