ඉන්ධන හිඟයෙන් දේශීය කිරි කර්මාන්තය හාන්සිවෙන හැඩ

190

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් දේශීය කිරි නිෂ්පාදනයේ නියැළෙන පිරිස් ගැටළු රැසකට මුහුණ පා ඇති බව කිරි කර්මාන්තයේ නියැලෙන පිරිස් පවසති. රට තුළ උද්ගතව පවතින මෙම අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මේවන විට මධ්‍යම පළාතේ කිරි එකතු කිරීමේ කාර්යය සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති බවද ඔවුහු පවසති.

“කිරි කියන්නේ ඉක්මනින් නරක් වෙන දෙයක්. ගොඩක් කල් තියාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ධාන්‍ය, එළවළු හා පළතුරු වගේ ගබඩා කර තියාගන්න අපහසුයි. පැය විසිහතරක් ඇතුළත නරක්වීමට භාජනය වෙනවා. දේශීය කිරි කර්මාන්තයේ නිරත අපි කිරි ටික එකතු කිරීමේ මධ්‍යස්ථාන වෙතයි ගෙන ගොස් දෙන්නේ. ගොවි සමිති මගිනුයි මේ එකතු කිරීම් කරන්නේ. මෙම

ක්‍රියාදාමය සිදු කළත් කිරි එකතු කිරීමේ අංශවලට ඉන්ධන නොමැති වීමෙන් දෛනිකව කිරි එකතු කිරීමට නොහැකි තත්ත්වයක් අද ඇති වෙලා තියෙනවා. ඉන්ධන ලබා ගැනීමට ඉන්ධන පිරවුම්හල් වෙත ගියත් කිරි කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් නොවන නිසා ඉන්ධන ලබා දෙන්නේ නෑ. මේ තත්ත්වය නිසා කිරි එකතු කිරීම් දැනටමත් ඇණහිටලා තියෙන්නෙ. මේ කර්මාන්තයේ ඉන්න අපි හොඳටම අසරණ වෙලා. අපිට වෙන කරන්න දෙයකුත් නෑ…”යැයි කිරි ගොවියෝ පවසති.

මේ පිළිබදව මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආර්.එම්.පී.කේ. රාජනායක මහත්මියගෙන් මේ පිළිබඳව කරුණු විමසූ විට ඇය මෙසේ කරුණු දැක්වූවාය.

“මේ අයට කිරි කල්  තියාගන්න ක්‍රමයක් නෑ. නුවරඑළියේ එක ගොවිපලකින් දිනකට ලීටර් තිහක් හතළිහක් ප්‍රමාණයක්

ගන්නවා. ඒවා දින දෙක තුනක් තියාගන්න ගබඩා පහසුකම් ලෙස සිලිං ටැංකි වැනි පහසුකම් අඩුයි. ඒවා තිබුණත් විදුලි අර්බුදය ඊට හරස් වෙනවා. ඒනිසා කිරි නරක් වෙනවා. මේවායින් අසරණ වෙන්නේ කිරි ගොවින්. ඒවගේම රටේ විශාල සම්පතක් මේනිසා විනාශ වෙනවා. කිරිවලින් එකපාරටම යෝගට් වැනි අතුරු නිෂ්පාදනවලට යන්නත් බෑ. ඒකට අවශ්‍ය යටිතල පහසුකම් තියෙන්න ඕන. මේ පවතින තත්ත්වයට රජය කඩිනමින් මැදිහත් විය යුතුයි. මේ ක්ෂේත්‍රයට අවශ්‍ය ඉන්ධන ටික කඩිනමින් ලබා දෙන්න වැඩසටහනක් කඩිමින් අවශ්‍ය වෙනවා…”

ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment