වෙනත් වටයකින් යළි ඇරඹුණු වෙළේ සුදාගේ කුඩු ජාවාරම හෙවත් සීමා රහිත බඩෝවිට කුඩු සමාගම

785

කෝඩුකාරයින් කුඩු ජාවරමට සම්බන්ධ කළ සුදාගේ අලුත්ම උපක්‍රමය
බූස්සේ හිරවුණු වෙළේ සුදාට ජංගම දුරකථන යන්නේ මෙහෙමයි
වෙළේ සුදා එක් රැයකට දෙස් විදෙස් ඇමතුම් 100 ක් ගන්න අධි ආරක්‍ෂිත බූස්ස බන්ධනාගාරය

බටේ කටේ තැබූ එකා කුමක් හෝ බාධකයක් හේතුවෙන් එයින් වැළකී සිටියද අවස්ථාවක් ලද විගස යළි බටේ කටේ තබන්නේ යැයි යනුවෙන් වූ අපූරු කියමනක් කලාන්තරයක සිට මෙරට සමාජයේ පවතින්නේය. එහෙත් එය බහුතරයක් දෙනා නොදන්නා කියමනකි. එයට හේතුවී තිබෙන්නේ මෙකී කටේ තබන බටේ කුමක්දැයි බොහෝ දෙනකු නොදැන සිටීමය.

සැබවින්ම මේ බටේ යනු කුමක්ද? මීට දශක දෙකකට පමණ ඉහතදී නම් ඇතැමුන් කටේ තැබීම සඳහා මේ බටේ සකසා ගනු ලැබුවේ දුම්වැටි පැකට්ටුවක අභ්‍යන්තරයේ තිබූ ඊයම් මතුපිටක් සහිත කඩදාසි කොටස පුළුස්සා ඊයම් කොටස සීරුවට ලබා ගනිමිනි.

අද ද ඇතැමුන් ඒ ක්‍රමය භාවිත කරනු ලබන අතර එසේ නොවේ නම් වර්තමානයේ ඒ සඳහා වන ඉතා ජනප්‍රිය ක්‍රමයක් වී තිබෙන්නේ මුදල් නෝට්ටුවක් බටයක් සේ සකසා ගැනීමය. එදා සිට අද දක්වාම කටේ තැබීම සඳහා මේ අන්දමට විවිධ ක්‍රම මගින් බටේ සකසා ගත්තෝ හෙරොයින් මත්කුඩු පානයට ඇබ්බැහි වූ මත් ලෝලීහුය.

මෙසේ හොරොයින් පානයට ඇබ්බැහි වූවන් සමාජය තුළදී හඳුන්වනු ලැබුවේ කුඩ්ඩන් ලෙසිනි. හෙරොයින් යනු ඉරානය, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, බුරුමය, වියට්නාමය, ලාඕසය, තායිලන්තය හා ඉන්දියාව ආදී මර්මස්ථාන භූමීන්හි දැවැන්ත ලෙස සිදු කෙරෙන පොපි වගාවන්වල හටගන්නා පොපි මලෙහි කිරි ගෙන නිෂ්පාදනය කරනු ලබන මාරාන්තික මත් ද්‍රව්‍යයකි.

එසේ නිෂ්පාදිත හෙරොයින් මත්කුඩු රත් වන මතුපිටක තබා යටින් දැල්වෙන ගිනි කූරක් හෝ ඉටිපන්දමක් ඇල්ලීමේදී උණු වී තාර වැනි පැහැයකට හැරී පසුව එයින් දුමක් මතුවන අතර කුඩ්ඩා ඉහත කී බටේ සකසා කටේ තබා ගනු ලබන්නේ එසේ නැඟෙන දුම සිරුරට ඇදගනු පිණිසය.

මෙලෙස අපේ තරුණ පරම්පරාවේ කටට බටේ හුරු කරනු ලැබූ මෙරට හෙරොයින් ව්‍යාප්තියේ මූලාරම්භය ගෙන බැලුවහොත් එයට ඇත්තේ දශක පහක පමණ ඉතිහාසයකි. එකී කෙටි ඉතිහාසයේ සිට අද දක්වාම මේ රට මාරාන්තික හෙරොයින් මත් කුඩුවලින් වනසනු ලැබුවෝ සහ ඒ විනාශය දැනුදු කරමින් සිටින්නෝ කවරහුද?

එය සිදු කරනු ලැබුවේ රටේ පවට බලයට පැමිණි ඇතැම් දේශපාලනඥයෝ සහ දේශපාලන ආශීර්වාදය ලද කුඩු පාතාලයෝ ය. එය අදටත් වලංගුව තිබෙන්නකි. මෙරට හෙරෙයින් ජාවාරමේ අතීතය පිළිබඳ කතා කිරීමේදී ඇතැම් දේශපාලනඥයන් සමඟ මුල් පෙළේ සිටියෝ වූයේ සොත්ති උපාලි, නාවල නිහාල්, චින්තක අමරසිංහ, තුම්මුල්ලේ පද්මේ, කළු අජිත්, කරාටේ ධම්මික, කඩුවෙල වසන්ත ආදී වශයෙන් වූ පාතාලයෝය.

එහෙත් මෑත අතීතය ගෙන බැලීමේදී ජාත්‍යන්තර කල්ලි සමඟ ඍජු සබඳතා පවත්වාගෙන යන අතරේ ශ්‍රී ලංකාවට අති භයානක ලෙස මත් කුඩු තොග පොම්ප කරමින් දැවැන්ත විනාශයකට රට ඇද දැමූ මෙරට මත්කුඩු ජාවාරමේ මහ මොළකරුවෝ හෙවත් ගෝඩ් ෆාදර්ලා වී සිටියෝ කවරහුද?

ඉන් එක් අයකු වූයේ කොළඹ මාලිගාවත්ත ප්‍රදේශය මර්මස්ථානය බවට පත් කරගෙන මහා පරිමාණ ලෙස කුඩු ජාවාරමේ යෙදෙමින් රට වැනසූ මොහොමඩ් සිද්ධික්ය. දෙවැන්නා වන්නේ ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශය රාජධානිය කරගෙන සිටි ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාය.

මෑත කාලයේ මිදිගම නඳුන් චින්තක හෙවත් හරක් කටා, කංජිපානි ඉම්රාන්, කිඹුලා ඇළේ ගුණා, කිරුළපොණ මොරිල් සහ මියගිය මාකඳුරේ මධූෂ් කුඩු ජාවරමේ බැබලුන චරිත බවට පත්ව සිටියද සිද්ධික් හෝ වෙළේ සුදාගේ තැනට එන්නට ඒ කිසිවකුටත් මෙතෙක් නොහැකි විය.

මේ දෙදෙනාම කලකට ඉහත අධිකරණ නඩු මඟහැර යමින් පාකිස්තානය හා ඩුබායි වැනි රටවල සිට ජාත්‍යන්තර මාෆියා කල්ලි සමඟ ඍජු සබඳතා ඇතිව දැවැන්ත ලෙස කුඩු ජාවාරමේ යෙදුණෝ වූහ.

එසේ විදේශගතව සිටි මොහොමඩ් සිද්ධික් හා සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා පාකිස්තාන පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඉකුත් 2015 වසරේදී මෙරටට රැගෙන එනු ලැබිණි. පසුව ඔවුන් දෙදෙනා දීර්ඝ කාලයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

එහිදී වෙලේ සුදා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ හෙරොයින් සම්බන්ධයෙන් වූ පැරිණි නඩුවකට අනුවය. එහෙත් මෙරට මත් කුඩු ජාවාරමේ ගෝඩ්ෆාදර් කෙනකුව සිටි මොහොමඩ් සිද්ධික්ට මත්කුඩු චෝදනා එල්ල වූයේ නැත. වාර්තා වූ පරිදි ඔහුව අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දීමේ චෝදනාවක් යටතේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මොහොමඩ් සිද්ධික්ව රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබිණි. වෙලේ සුදාට එල්ල වී තිබූ මත් කුඩු චෝදනාව සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු ඔහුට මරණීය දණ්ඩනය නියම කරනු ලැබීය.

එසේ මරණීය දණ්ඩනය නියම කිරීමෙන් පසුවද බන්ධනාගාරගතව සිටිමින් ජංගම දුරකථන මගින් මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරම කරගෙන යමින් සිටි වෙලේ සුදා පසුව බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයට මාරු කිරීමට බන්ධනාගාර ප්‍රධානීහු කටයුතු කළහ. එය සිදු කෙරුණේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුවය.

දීර්ඝ කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි මොහොමඩ් සිද්ධික් මේ අතර කාලයේ අදාළ නඩුවෙන් නිදහස ලබා බන්ධනාගාරයෙන් පිටව ගියේය. එසේ බන්ධනාගාරයෙන් පිටවූ මොහොමඩ් සිද්ධික් අද සිටින්නේ කොතැනකද?

බුද්ධි අංශ වාර්තා අනුව තහවුරු වන්නේ ඔහු මේ වන විට සුපුරුදු ජවාරමට අවතීර්ණව මැලේසියාවේ ජීවත් වන බවය. ඒ මොහොමඩ් මුජහදීන් වැනි ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමේ පාතාකයන් සමඟය.

සිද්ධික්ගේ කතාව එසේ වෙද්දී මේ වන විට වෙලේ සුදාගේ කතාව කුමක් වී තිබේද? බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ඔහු අද කිසිත් කරකියාගත නොහැකිව අසරණව සිටින්නේද? අසරණකම කෙසේ වෙතත් මීට සති දෙක තුනකට ඉහතදී ද හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් හාරසියයක පමණ තොගයක් සුපුරුදු ලෙස ලංකාවට පොම්ප කිරීමට අධි ආරක්‍ෂිත සිර කුටියක සිටින වෙලේ සුදා සමත්ව ඇත.

වෙනත් වටයකින් යළි ඇරඹුණු වෙළේ සුදාගේ කුඩු ජාවාරම හෙවත් සීමා රහිත බඩෝවිට කුඩු සමාගම

අකුරක් ලියන්නට කියවන්නට නොදැන සිටියාට ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා යනු රුපියල් කෝටි ගණනින් වන ගනුදෙනු අතේ ඇඟිලිවලින් ගැන විසඳා ගන්නා ඉතා සූක්‍ෂම බුද්ධියකින් යුතු චරිතයකි.

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මේ වෙලේ සුදා යළිත් මහා පරිමාණයෙන් මත් කුඩු ජාවාරමට අවතීර්ණව සිටින බවක් මේ වන විට ආරක්‍ෂක අංශ ද නොදැන සිටිනවා විය හැකිය. අප එසේ කියන්නේ නැවත මහා පරිමාණයෙන් කුඩු ජාවාරම අරඹා ඇති ඔහු මෙවර ඒ සඳහා යොදාගෙන ඇති උපක්‍රම සිතාගත නොහැකි තරමේ එකක් වී ඇති නිසාය.

වෙලේ සුදා බූස්ස බන්ධනාගාරයේ සිට මෙවර මහා පරිමාණ කුඩු ජාවාරමක් මෙහෙයවමින් සිටින්නේ කෙසේද? සුපුරුදු ලෙසම ඔහු මෙදා වැඩ අරඹා ඇත්තේද ජංගම දුරකථනයක ආධාරයෙනි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අනුව නම් බූස්ස බන්ධනාගාරය තුළ කොහෙත්ම ජංගම දුරකථන නැත. එහෙත් කාටත් නැති ඒ පහසුකම අද වෙළේ කාටත් හොරා සුදා සතුව ඇත.

එය සිදු වන්නේ කෙසේද? ගාල්ල ඇතුළු ආසන්න වෙනත් බන්ධනාගාරයකින් බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයේ පිරිසිදු කිරීම් වැනි කටයුතු සඳහා පාටි කාරයන් හෙවත් වැඩට යොදවා ඇති සිරකරුවන් දිනපතා එවීම සාමාන්‍යයෙන් සිදුවන්නකි.

උදෑසන කාලයේ බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයේ සිරකැරවන් රඳවා සිටින සිර මැදිරිවල දොරවල් විවෘත වූ මොහොතේ පටන් වෙලේ සුදා සතු ජංගම දුරකථනය තිබෙන්නේ එසේ බන්ධනාගාරයේ පවිත්‍රතා කටයුතුවලට පැමිණෙන පාටි කාරයන් සන්තකයේය. බන්ධනාගාර නිලධාරීන් ඇතුළු එහි ආරක්‍ෂාවට යොදවා සිටින ආරක්‍ෂක අංශ නිලධාරීන් දැන හෝ නොදැන අද වෙලේ සුදා සතු ජංගම දුරකථනය සඟවා තැබෙන්නේ එසේය. රැයක් ගෙවෙන තුරු ජාත්‍යන්තරය හා දේශීය වශයෙන් විවිධ සබඳතා පවත්වමින් සිරකුටිය තුළට වී සිය කුඩු ජාවාරම මෙහෙයවන වෙලේ සුදා දහවල් කාලයේ තමන්ගේ ජංගම දුරකථන සඟවා තබන්නේ එලෙසිනි.

එය බූස්ස බන්ධනාගාරයට පැමිණෙන එක් පාටි කරුවකු අත දිගින් දිගටම රැඳෙන්නේද නැත. දුරකථනය වරින් වර එකිනෙකා අතට මාරු වන්නේය. එසේ වන්නේ දුරකථනය නිලධාරීන්ගෙන් වසන් කිරීම පිණිස අදාළ පාටිකාරයන්ට වෙලේ සුදා විසින් ලබා දී ඇති උපදෙස් පරිදිය.

වෙලේ සුදා එසේ ලබා දෙන උපදෙස් අකුරටම ක්‍රියාත්මක කිරීමට සියලු පාටිකාරයෝ ද සැදී පැහැදී සිටිති. එයට හේතු වී තිබෙන්නේ වෙලේ සුදා පාටිකාරයන් වෙනුවෙන් අතදිගහැර වියදම් කිරීමට කිසිදු ලෝබකමක් නොදැක්වීමය. අලුතින් පාටි කාරයෙක් බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයේ වැඩට පැමිණියහොත් ඇසුරු සැණෙකින් ඔහුව තමන් වෙත නම්මවා ගැනීමට වෙලේ සුදා පියවර ගන්නේය. එය සිදු කරන්නේ අත දිගහැර මුදල් වැය කිරීමෙනි.

මේ සියලු ගනුදෙනු සිදුවන්නේ බන්ධනාගාරයෙන් පිටතදීය. පිටත සිටින වෙලේ සුදාගේ තැරව්කරුවෝ හෝ ගෝලබාලයෝ ඔහු ලබා දෙන උපදෙස් අනුව අදාළ පාටිකාරයන්ගේ පවුල්වල ඥාතීන්ට එකී මුදල් ලබා දීම සිදු කරන්නාහ.

මේ අන්දමට දිවා කාලයට පාටිකාරයන් සන්තකයේ සැඟවී තිබෙන වෙලේ සුදාගේ ජංගම දුරකථනයට අඳුර වැටීමත් සමඟ සිදු වන්නේ කුමක්ද? පස්වරු හය පමණ වන විට බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයේ සිරකරුවන් යළි සිර මැදිරි වෙත යවා ඒවා වසා දැමීම එහි ක්‍රියාත්මක සාමාන්‍ය තත්ත්වය ය.

එහිදී වෙලේ සුදාව ද සිර කුටිය තුළට දමා වසා දැමීම සිදු වන අතර එයට මොහොතකට පෙර අවසානයට ජංගම දුරකථනය අතැති පාටිකාරයාගෙන් එය ලබා ගන්නා වෙලේ සුදා පූස් පැටියකු සේ නිලධාරීන්ට අවනතව සිර කුටිය තුළට යන්නේය.

සියල්ල ඇරඹෙන්නේ ඉන් පසුවය. අඳුර වැටීමත් සමඟ ජංගම දුරකථනය අතට ගන්නා වෙලේ සුදා එතැන් සිට සිය කුඩු මෙහෙයුම අරඹමින් එක් රාත්‍රියක් තුළ දෙස් විදෙස් ආදී වශයෙන් ලබා ගන්නා ඇමතුම් ප්‍රමාණය අති විශාලය. දැනගැනීමට ඇති පරිදි ඒ අන්දමට ඔහු එක් රාත්‍රියක් තුළ ගන්නා ඇමතුම් ගණන සියයකටත් අධික වන්නේය.

බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයේ සිටිමින් යළි කුඩු ජාවාරමට අවතීර්ණ වී සිටින වෙලේ සුදා එහිදී සිය සැපයුම් ජාලය මෙන්ම අලෙවි ජාලය සමඟ ද බොහෝ දේ කතා කරන්නේය. අලෙවි ජාලය හසුරුවන්නේය.

මේ අන්දමට නැවතත් හෙරොයින් මත් කුඩු ජාවාරම අරඹමින් රට වනසමින් සිටින වෙලේ සුදාගේ වත්මන් අලෙවි ජාලය වී තිබෙන්නේ කුමක්ද සහ එය ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ කෙසේද? එදා හෙරොයින් ජාවාරමෙන් රටම හෙල්ලූ වෙලේ සුදාගේ කුඩු පැකට්ටුවට වෙළෙඳ සලකුණක් පවා තිබුණු බව මෙරට හෙරොයින් සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ඇති කවුරුත් දැන සිටින කතාවකි.

එහෙත් ගල්කිස්ස බඩෝවිට පැල්පතක ඉපදී කුඩු ජාවාරමෙන් රටම හොල්ලමින් ප්‍රකෝටිපතියකු බවට පත්වූ වෙලේ සුදාගේ වත්මන් වෙළෙඳ ජාලය නම් පොලිසිය හා ආරක්‍ෂක අංශ ඇතුළු කිසිවකුත්ම අදටත් නොදන්නා බව නම් සහතිකය.

අද රට පුරා විහිදී ඇති මෙරට කුඩු ජාවාරම පිළිබඳ කතා කිරීමේදී එහි සිටින සිල්ලරට මත්කුඩු අලෙවි කරන්නෝ ප්‍රමාණය අති විශාලය. කවුරු කුමක් කීවත් යථාර්ථය එය වන්නේය. එහෙත් මේ කිසිවකුටවත් තමන්ට අවැසි මත්කුඩු තොග ප්‍රධාන සැපුයුම්කරුවාගෙන් ඍජුවම ලබා ගැනීමට කිසිදු අවස්ථාවක් නැත. කුඩු ජාවාරමේ ක්‍රියාත්මක න්‍යායයන්ට අනුව එය අතිශය රහසකි.

සිල්ලර අලෙවි කරුවාට සිය මත්කුඩු තොග ලබා ගැනීම සඳහා සමීප විය හැකිව තිබෙන්නේ සැපයුම් ජාලයේ තුන්වැන්නා දක්වා පමණක් වීම සාමාන්‍ය තත්ත්වයකි. එක සහ දෙක යන්න සැඟවුණු චරිතය.

වර්තමානයේ ක්‍රියාත්මක බඩෝවිට වෙලේ සුදාගේ කුඩු ජාවාරමටද මේ උපක්‍රම අදාළය. ඊටත් එහා යමින් ආරක්‍ෂක අංශවල ඇස් වසා ගමන යෑම පිණිස වෙලේ සුදා අද අනුගමනය කරනු ලබන තවත් සූක්‍ෂම උපක්‍රමයක් බවට පත්ව තිබෙන්නේ ජීවිතයේ කිසිදු අවස්ථාවක මත්කුඩු ජාවාරමට සම්බන්ධ නොවූ කිසිසේත්ම සැකයක් ඇති නොවන පිරිසක් සිය සැපයුම් ජාලයේ දෙවැනි කණ්ඩායම ලෙස තෝරා ගැනීමට කටයුතු කිරීමය.

මේ සියලු දෙනා ඇතැම් විට සමාජයේ ඉතා වැදගත් චරිත විය හැකිය. ඔවුන්ට පැවරී තිබෙන වගකීම වන්නේ ලැබෙන මත් කුඩු තොග කාටවත්ම අනාවරණය නොවින පරිදි තෙවැනි පාර්ශ්වයක් අතට පත් කිරීම පමණි. එමඟින් වෙලේ සුදාගේ සැපයුම් ජාලයේ දෙවැනි පාර්ශ්වය අද කෝටිපතියන් බවට පත්ව අවසන්ය.

එහෙත් ඔවුහු කවුරුදැයි කිසිවකුත් නොදනිති. වෙලේ සුදාගේ මත්කුඩු තොග අද පොලිසයට හා ආරක්‍ෂක අංශවලට රහසේ අලෙවි කරමින් සිටින්නේ සැපයුම් ජාලයේ තෙවැනි කණ්ඩායම සහ සිල්ලර අලෙවිකරුවන් පමණි. ඔවුහු සමාජයට නිරාවරණය වූවෝ වන්නාහ.

මේ ක්‍රියාදාමය උදාහරණයක් ලෙස පෙන්වා දුනහොත් යම් ප්‍රදේශයක කුඩු ජාවාරම සිදු වන්නේ නම් පොලිසිය දැන සිටින්නේ මත් කුඩු අලෙවි කරන පිරිස හා ඔවුන්ට ඒවා ලබා දෙන පුද්ගලයන් පිළිබඳ තොරතුරුය. එහෙත් වෙලේ සුදාගේ නූතන උපක්‍රමය අනුව එකී සිල්ලර අලෙවිකරුවන් මෙන්ම ඔවුන්ට තොග සපයන පිරිසද තමන් අතට මත්කුඩු තොග ළඟා වන්නේ කොතැනක සිටදැයි ආදී වශයෙන් කිසිවක්ම නොදන්නේය.

වෙලේ සුදා ඒ සැපයුම අද සිදු කරන්නේ සමාජයේ යහපත් මිනිසුන් ලෙස ජීවත් වෙමින් සිටින පිරිසක් යොදාගෙනය. ඔවුන්ට පැවරී ඇති වගකීම වී තිබෙන්නේ වෙලේ සුදා එවනු ලබන මත් කුඩු තොග සඟවා ගබඩාකර තබා ගැනීම සහ ඔහු දැනුම් දෙන අවස්ථාවක එයින් කොටසක් ගෙන ගොස් කිසියම් ස්ථානයක තබා ඒමය.

වෙනත් වටයකින් යළි ඇරඹුණු වෙළේ සුදාගේ කුඩු ජාවාරම හෙවත් සීමා රහිත බඩෝවිට කුඩු සමාගම

එතැනින් එහාට සිදුවන දේ වෙලේ සුදාගේ සැපයුම් ජාලයේ දෙවැනි කණ්ඩායම හෙවත් සමාජයේ හොද` මිනිසුන් ලෙස පෙනී සිටින පිරිසද නොදන්නේය. සිදුවන සියල්ල ඒ තරමටම සූක්‍ෂමය. ඔහු අද යොදාගෙන සිටි මෙකී සැපයුම් ජාලයේ දෙවැනි කණ්ඩායමේ පිරිස් සමාජයේ යහපත් ලෙසින් ජීවත්වන හා යමක් කමක් ඇති පිරිස් නිසා ඔවුන් දිනෙන් දින වත් පොහොසත්කම්වලින් දියුණු වුවද කිසිවකුටත් ඒ පිළිබඳව ඇතිවන සැකයක්ද නැත.

අද යළිත් සීමා සහිත බඩෝවිට කුඩු සමාගම හෙවත් බන්ධනවාගාරගත වෙළේ සුදාගේ කුඩු ජාවාරම බූස්ස අධ්ආරක්‍ෂිත බන්ධනාගාරයේ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ එසේය.

වෙලේ සුදා අද යළිත් මේ අන්දමට කුඩු ජාවාරමට අවතීර්ණ වීමේදී පසුගිය කාලයේ සිදුවූ තවත් සිදුවීම් පෙළක්ද විය. ධර්මලිංගම් සුසේන්දරම් නොහොත් සුසෙයි යනු කලක් වෙලේ සුදා සමගම බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටියෙකි. වෙලේ සුදා සිරගත වීමට පෙර ඔහුගේ සමීප ගෝලයකුව සිටි සුසෙයි එසේ සිරගතව සිටියේ මත්කුඩු තොගයක් සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට කොටුවී අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියම කර තිබීම හේතුවෙනි.

මෙසේ සිරගත වීමට පෙර සුසෙයි වෙලේ සුදාගේ බිරිඳගේ නැගණිය විවාහ කර ගැනීමටද සූදානම්ව සිටියේය. මරණීය දණ්ඩනය හිමිවී සිරගත වීමෙන් පසු සුසෙයි විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනයක් විභාගයට ගත් අධිකරණය මීට මාස කිහිපයකට ඉහතදී සුසෙයි නිදහස් කිරීමට කටයුතු කළේය. සුසෙයිගේ එකී නිදහස වෙනුවෙන් බොහෝ බැරපැන දරුවේදී වෙලේ සුදා බව ප්‍රකටව තිබෙන්නකි. එහිදී වෙලේ සුදා රුපියල් ලක්‍ෂ දහය පහළොව ආදී ලෙසින් කුට්ටි වීසි කළ පිරිස පිළිබඳ අනාවරණය වන තොරතුරු නම් විෂ්මය ගෙන දෙන්නේය.

සුසෙයි මෙසේ නිදහස් වීමත.් සමඟ සැණකින් සිදු වූයේ කුමක්ද? නිදහස් වූ වහාම ක්‍රියාත්මක වූ සුසෙයි වෙලේ සුදාගේ බිරිඳගේ නැගණිය හා ඔහුගේ දරු දෙදෙනාද සමඟ විදේශගත වීමපොලිසිය හා ආරක්‍ෂක අංශ දැනුවත්ව පොලිසිය හා ආරක්‍ෂක අංශ දැනුවත්ව විය. වෙලේ සුදා බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයේ සිටිමින් යළි කුඩු ජාවාරමට මහා පරිමාණයෙන් අවතීර්ණ වී සිටියදී එසේ රටින් පිටව ගිය සුසෙයි ඇතුළු පිරිස මේ වන විට සිටින්නේ ඩුබායි රාජ්‍යයේය.

වෙලේ සුදා යළි ජාවාරම අරඹද්දී හිටපු කොටි සාමාජිකයකුද වූ සුසෙයි එසේ ඩුබායි රාජ්‍යයට ගියේ වෙලේ සුදාට අයත්ව එරට තුළ ඇති රාත්‍රි සමාජ ශාලාවක් ඇතුළු ව්‍යාපාර රැකබලා ගැනීමටද එසේ නැතහොත් සීමාසහිත බඩෝවිට කුඩු සමාගමේ සම කොටස් අයිතිය ඇතිව ජාත්‍යන්තර ජාලයේ සහාය ගෙන බඩෝවිට කුඩු සමාගම තව තවත් ඉහළට ඔසවා තබන්නටද? ඒ පිළිබඳ නුදුරේදීම රටට අනාවරණය වනු ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment