ප්‍රභාකරන්ගේ “මැණිකා” බලන්න පින්නවලට එන්න…

138

කුඩා කල ගෙවුණේ යාපනය කිට්ටු උයනේ…

සබරගමුවේ ඇවිද යමු … 02

ප්‍රභාකරන්ගේ "මැණිකා" බලන්න පින්නවලට එන්න…

සබරගමුව “සංචාරේ” මීළඟ පියවර ලෙස පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානය වෙත ඔබව කැන්දාගෙන යන්නට තීන්දු කරන ලද්දේ පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානය නොහොත් බොහෝ දෙනකු හඳුන්වන පරිදි “පින්නවල අලි අනාථාගාරය” නැරඹීම සුවිශේෂී කටයුත්තක් නිසාය. එහි දිවිගෙවන 70 ක් පමණ වන අලි-ඇතුන්ගේ කෙළි ලොල් බව, කුඩා පැටවුන් මවගෙන් හා බෝතල් සූප්පුවලින් කිරි බොන දර්ශන, එකා පසු පස එකා මා ඔයාට නාන්නට යන අයුරු, මාඔයේ ගිලී හෝ පැත්ත වැටී දිය නාන අයුරු, ඇත්ගොව්වන් මේ අලි-ඇතුන්ගේ මඩ සෝදමින් පිරිසිදු කරන අයුරු එහි යන සැවොම අමන්දානන්දයට පත්කරන දර්ශනයන්ය.

නමුත්, 70 ක් පමණ වන අලි-ඇතුන් අතර, අපි නොදන්නා කතා ඇති විශේෂිත අලි-ඇතුන්ද සිටී. මේ බොහෝමයක් අලි – ඇතුන් මෙහිදී උපත ලැබූවන්ය. අතීතයේදී නම්, මෙහි සිටි බොහෝ අලි – ඇතුන් යම් යම් අනතුරුවකට ලක්ව අනාථ භාවයට පත්වූවන් විය. නමුත් දැන් මව අහිමිව අනාථ වන අලි පැටවුන් අතීතයේදී මෙන් මෙහි ගෙන එන්නේ නැත. ඒ සියලු දෙනා යළිත් කැලෑවට යවනු අවශ්‍ය නිසා උඩවලව ඇත් අතුරු සෙවණට ගෙන යනු ලබති. එසේ අතරමං වන හා ආබාධවලට ලක්වන වැඩිහිටි සතුන් පමණක් පින්නවල මධ්‍යස්ථානයට ගෙන එනු ලබති. පින්නවල ඇති දැඩි වන අලින් යළිත් කැලෑවට යන්නේ නැත. මේ නිසා පින්නවල අලි අනාථාගාරය යනු ආසියානු අලින්ගේ “ස්ථානීය සංරක්ෂණය” සිදුකරන අලි සංරක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස ලෝක ප්‍රකටය. එසේ හෙයින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ අවධානය දිනාගත් වැදගත් මධ්‍යස්ථානයක් වන පින්නවල කොහොමත් සුවිශේෂ ස්ථානයකි.

නමුත් අප ඔබට මේ කියන්නට යන්නේ මෙහි ඇති ඊටත් වඩා ඇති සුවිශේෂී යමක් පිළිබඳවය. එනම්, පින්නවලදී අපට හමුවන අලි-ඇතුන් අතර අප විටෙක නොදන්නා කතා සඟවාගත් අලි-ඇතුන් සිටින නිසා ඔවුන්ගේ කතා අපට සුවිශේෂ වන නිසාය. එවන් සුවිශේෂ කතාවක් සඟවාගත් අලියකු පිළිබඳව කතාකරන්නට වුවමනා නිසාම මෙවර අපගේ සංචාරය පින්නවලට හැරවීමට අප තීන්දු කළේ සබරගමුවේ විසිතුරු සොයා යන මේ ගමනේදී මේ කතාවද නොකියා සිටිය නොහැකි නිසාය.

පින්නවල දිවි ගෙවන අලි-ඇතුන් අතර වැදගත්ම කතාවක් සඟවාගෙන දිවිගෙවන අලියකු වන්නේ “මැණිකා” ය. “මැණිකා” පින්නවලට පැමිණෙන්නේ 2004 වසරේදීය. ඒ ළඟ පාතකින් නොව, කිලෝමීටර් 300 ක් පමණ දුර සිට, (යාපනයේ) කන්කසන්තුරේ සිටය. “මැණිකා” කන්කසන්තුරේ සිට පින්නවලට ආ ඒ කතාව හරිම අපූරුය. “නැදුන්ගමුවේ” ඇතා ගම්පහ-රතුපස්වල සිට පයින්ම නුවර පෙරහැරට ගිය ගමන මෙන් නොව, “මැණිකා” කන්කසන්තුරයේ සිට පින්නවලට එන ගමනේ ත්‍රිකුණාමලය දක්වා පැමිණියේ ලොකු ආරක්ෂාවක් ඇතිව, ලොකු රැකවරණයක් ඇතිව, වෛද්‍ය පහසුකම් සහිතව දැවැන්ත නෞකාවක නැගලාය. ඒ යුද වාතාවරණයක් තිබූ කාලයක. ගොඩබිමෙන් අපේ අයට යාපනයට යන්නට නොහැකිව තිබූ කාලයකය.

එසේ නම්, යාපනයේ සිට අලියකු නැවක නංවාගෙන ගෙන එන්නට තිබූ අවශ්‍යතාව කුමක්ද යන්න අපට නැගෙන ප්‍රශ්නයකි. අනික අප දන්නා තරමින් යාපනය අර්ධද්වීපයේ අලි වෙසෙන්නේද නැත. එසේනම්, අලියකු යාපනයේ සිට පින්නවලට ගෙන එන්නට තුඩු දුන් කාරණය කුමක්ද…?

මේ අපි ඔබට පහදා දෙන්නට පින්නවලට ගිය චාරිකාවේ අරමුණයි. සැබැවින්ම, “මැණිකා” යනු රජයට එරෙහිව යුද වැදුණු එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායකයා විසින් සුරතලයට හදා වඩා ගත් අලි පැටියා ලෙස සලකනු ලබයි. අද අප “මැණිකා” ලෙස හැඳින්වුවද, එදා එම සංවිධානයේදී මෙම සත්ත්වයා කුමන නමකින් හැඳින්වූයේද යන්න කවුරුනුත් නොදනිති.

යාපනය නගරය කලක් ත්‍රස්තවාදීන්ගේ අණසකට යටත්ව තිබූ කාලයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය මගින් යාපනය නගරයේ “කිට්ටු උද්‍යානය” නමින් උද්‍යානයක් පවත්වාගෙන ගියේය. මෙම උද්‍යානය තුළ අප මේ කියන “මැණිකා” එදා කුඩා ඇත් පැටවකු ලෙස රඳවා මහජන ප්‍රදර්ශනයට තබා තිබී ඇත. ඊට පෙර “මැණිකා” සංවිධානයේ නායක “වේළුපිල්ලේ ප්‍රභාකරන්” ඇසුරේ හැදී වැඩුණු බව කියනු ලැබේ. කුඩා “කොටි”රෑ පැටවකුද ඔහු විසින් සුරතල් කරන පින්තූර එකල ප්‍රචාරය විය. වන සතුන්ට ඔහුගේ ප්‍රියතාවක් තිබුණු බව කියනු ලැබේ.

කෙසේ හෝ තරමක් වැඩිවිය පැමිණි “මැණිකා” අවසානයට “කිට්ටු පාර්ක්” එකට කොටු විය. මේ කාලයේදීම යාපනය ත්‍රස්ත ග්‍රහණයෙන් මුදාගන්නා දැවැන්ත මෙහෙයුමක් “රිවිරැස” නමින් ක්‍රියාත්මක විය. එම සටනින් යාපනය බේරාගත් රණවිරුවෝ පුංචි “මැණිකා” ද බේරාගත්හ. එසේ බේරාගත් “මැණිකා” ට ඉන්පසු ආදරය කළේ යුද කඳවුරේ සෙබළුන්ය. විශේෂ ආරක්ෂාවකට හා රැකවලකට ඉන්පසු ලක්වූ “මැණිකා” කලක් හමුදා සෙබළුන්ගේ ආදරය මැද හැදී වැඩුණේය.

නමුත්, අවසානයේ ඇයගේ ආරක්ෂාව හා අනාගතය පතා පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානයට ඇයව යොමුකරන්නට රජය තීන්දුවක් ගත්තේය. “මැණිකා” යාපනයේ සිට දෙහිවලටත් දෙහිවල සිට පින්නවලට එන්නේ ඒ අනුවය. උතුරේ සිට ගොඩබිම ප්‍රවේශ මාර්ගයක් රජයට නොමැති හා මුහුදු යාත්‍රාවලටද ප්‍රහාර එල්ලවන එකල, “මැණිකා” ත්‍රිකුණාමලය දක්වා පැමිණියේ නැවක නැගී හමුදා ආරක්ෂාව මැදය. එසේ පැමිණි මැණිකාට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පශුවෛද්‍යවර චන්දන රාජපක්ෂ මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයක අධීක්ෂණය ලැබුණු අතර, ත්‍රිකුණාමලයේ සිට ලොරි රථයකින් පින්නවලට ගෙන ආවෝය.

එදා පටන් අද දක්වා “මැණිකා” පින්නවලට ආභරණයක් මෙන් පින්නවල ආලෝකවත් කරන අතර, සුවිශේෂ අංග ලක්ෂණ ඇති මේ හස්තියා තරමක් දඩබ්බරව තම ජීවිතය ගෙන යනු පෙනේ. සටන්කාමී නායකයකු ඇසුරේ හැදී වැඩී, සටන්කාමීන්ගෙන් හමුදාව අතට පත්වී වන සත්ත්ව භාරකරුවන් අතට පත්වූ “මැණිකා”, මේ වනවිට වයස අවුරුදු 34ක සත්ත්වයකු වන අතර, දේශීය හා විදේශීය සංචාරකයන් අතර මහත් අවධානයට ලක්ව දිවිගෙවනු ලබයි.

මේ කතාව කලක පටන් අප දැනසිටියත්, “සංචාරේ” වැඩසටහනකින්ම ඔබට කියන්නට අපි කාලයක් බලා සිටියෙමු.

එසේම මැණිකා මුදාගත් එවක බ්‍රිගේඩියර් දයා රත්නායක මහතා ප්‍රමුඛ සෙබළ කැළ සහ එවක සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂ

බ්‍රිගේඩියර් හෑන්ට් පෙරේරා මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ද මේ මොහොතේ සිහිපත් කළ යුතුය.

සැරිසර – ජගත් කණහැරආරච්චි
ඡායාරූප – රසිත ශාරද ප්‍රනාන්දු සහ
පශු වෛද්‍ය චන්දන රාජපක්ෂ

advertistmentadvertistment
advertistmentadvertistment