කළුතර ලංගම ඩිපෝවේ සොරකම් සොයන්න – සේවකයෝ කියති

29

කළුතර ශ්‍රී ලංගම ඩිපෝවේ රාත්‍රී කාලයට ඩීසල්, ලිහිසි තෙල් සහ ග්‍රීස් වැනි දෑ සොරකම් කිරීම් දිගින් දිගට ම සිදුවන බවත්, ඒවා සම්බන්ධයෙන් වගකිය යුත්තන්ට නිසි දඬුවම් ලබාදී නොමැති බවත් ඩිපෝ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ගෙවී ගිය දින කිහිපය තුළ දී පමණක් එවැනි සොරකම් තුනක් වාර්තා වී වගකිව යුත්තන් හඳුනාගෙන ඇතත්, ඔවුන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවද ඔවුහු පවසති.

පසුගිය දිනක රාත්‍රී කාලයේ අලුත් වැඩියාවක් සඳහා අවශ්‍ය වුවහොත් ලබාදී තිබූ ග්‍රීස් කිලෝ එකහමාරක් අස්ථානගත වී ඇති අතර බස් රථ සඳහා ලබා දී තිබූ ලිහිසි තෙල් ලීටර් හත්සීයක් අස්ථානගතවීමක් ද වාර්තා වී ඇති බවත් සේවකයන් පවසති.

එමෙන්ම පසුගිය 12 දා රාත්‍රී 12.00ට පමණ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා නිරීක්ෂණ සංචාරයේ යෙදී සිටිය දී රාත්‍රී රාජකාරි භාර ෆෝමන්වරයා සහ කාර්මික සේවකයකු NB 9531 දරන බස් රථයෙන් ඩීසල් බාමින් සිටින අයුරු නිරීක්ෂණය වී ලිඛිතව බලධාරීන්ට දැනුම් දී ඇතත් විමර්ශනයක් ක්‍රියාත්මක නොවන බව ද සඳහන් වේ.

රාත්‍රී කාලයට රාජකාරි යොදා සිටින වගකිව යුතු ඇතැම් නිලධාරීන් කනිෂ්ඨ සේවකයන්ගේ ද සහායෙන් මෙම සොරකම් සිදුකරන බව වාර්තාවේ.

දිගින් දිගටම සිදුවන මෙවැනි සොරකම් සම්බන්ධව වගකිවයුතු නිලධාරීන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් දිනෙන් දින වැඩිවී ඇති සොරකම් හේතුවෙන් ශ්‍රී ලංගම ආයතනය දැඩි අප කීර්තියකට ලක්වීම නිසා වැරදිකරුවන්ට කඩිනමින් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ද සේවකයෝ ඉල්ලා සිටිති. මේ පිළිබඳ අදහස් දැක්වූ ඩිපෝ කළමනාකාර එම්. පියසිරි මහතා මෙසේ පැවසීය. ආයතනය තුළ පවතින තොරතුරු මාධ්‍යයට දෙන්න බලයක් නැහැ. කොහොම වුණත් මට වාර් තා වූ සියලු දේ පිළිබඳව මම ඉහළ බලධාරීන්ට දැනුවත් කරලා තියෙන්නේ.

වාද්දුව සුමිත් පොතුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment