ෂාෆ්ටර්ගෙන් ලබාගත් කෝටි 143 ක් සඳහා බ්‍රයන් තෝමස් ලබාදුන් චෙක්පත් 20 ම අගරු වෙලා – ෂාෆ්ටර්ගේ මූල්‍ය ආයතනයේ ගණකාධිකාරිවරිය උසාවියේදී කියයි

168

ඇඟලුම් ව්‍යාපාර කටයුත්තක් සඳහා බව පවසමින් ප්‍රවීණ ක්‍රීඩා විස්තර විචාරක බ්‍රයන් තෝමස් දිනේෂ් ෂාෆ්ටර් මහතාගෙන් 2017 වසරේදී ලබාගත් රුපියල් 14,37358665 ක් වෙනුවෙන් අගරු චෙක්පත් 20 ක් ලබාදී වංචාවක් කර ඇති බව ෂාෆ්ටර් මහතාගේ මූල්‍ය ආයතනක ගණකාධිකාරීවරියක් වන නාලිකා තුෂාරි කළුආරච්චි මහත්මිය ඊයේ (26) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවසුවාය.

දිනේෂ් ෂාෆ්ටර් මහතා ජීවත්ව සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කර තිබූ පැමිණිල්ලක් ඊයේ අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී ඊට අදාළව පැවැති සාක්ෂි විභාගයේදී ගණකාධිකාරිවරිය මේ බව ප්‍රකාශ කළාය.

ප්‍රධාන පෙළේ ඇඟලුම් ආයතනයක් හා සම්බන්ධව ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කිරීමට මුදල් අවශ්‍යව ඇති බවත් එහි ප්‍රතිලාභ දිනේෂ් ෂාෆ්ටර් මහතාටත් ලබා දිය හැකි බවත් පවසමින් සැකකාර බ්‍රයන් තෝමස්, ෂාෆ්ටර් මහතාගෙන් රුපියල් එකසිය හතලිස් තුන් කෝටි හැත්තෑ තුන් ලක්ෂ පනස් අටදහස් හයසිය හැට පහක මුදලක් ලබාගත් බවද ඇය ප්‍රකාශ කළාය.

එසේ ලබාගත් මුදල් වෙනුවෙන් බ්‍රයන් තෝමස් දිනේෂ් ෂාෆ්ටර් මහතාට චෙක්පත් 20 ක් ලබාදුන් නමුත් එම චෙක්පත් සියල්ලම අගරුවී තිබූ බවද ඇය සඳහන් කළාය.

මේ සම්බන්ධයෙන් ෂාෆ්ටර් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත 2019 වසරේදී පැමිණිලි කළ බවද ඇය පැවසුවාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ සැරයන් 23972 විජිත රාජපක්ෂ මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර එහිදී ඇය මේ බව කියා සිටියාය.

මෙම සිද්ධියට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව මගින් සැකකාර බ්‍රයන් තෝමස්ට එරෙහිව චෝදනා 20 ක් යටතේ නඩු 7 ක් ගොනුකර ඇති බවද අධිකරණයෙන් හෙළි විය.

බොරැල්ල කනත්ත ප්‍රදේශයේදී සිදු වූ අභිරහස් සිද්ධියකින් අනතුරුව 2022 වසරේ දෙසැම්බර් මාසයේදී දිනේෂ් ෂාෆ්ටර් මහතා මියගොස් ඇති අතර එම මියයෑම ඝාතනයක් බව ඔහුගේ මරණය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ වෛද්‍ය මණ්ඩලයක් මගින් තහවුරු කර තිබුණි.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment