වැලිපැන්නේ මැණික්- හරක් මුදලාලි ඉදිරියේ පොලිසිය නීතිය දෙකට නැව්වද?

792
හරක් මැරීමට ගන්නා පිහි සහ ආයුධ

වලානෙන් අල්ලයි, වැලිපැන්නෙන් නිදහස් කරයි.

පොලිස්පතිගෙත් අවධානය යොමුවෙලා

බේරෙන්න ලක්‍ෂ තුනක පගාවකුත් දෙන්න හදලා

මොහොමඩ් නවුෆාර් වැලිපැන්න ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකි. මැණික් ව්‍යාපාරයට අමතරව එළ හරක් මැරීම සඳහා නීත්‍යනුකූල ගව ඝාතකාගාර දෙකක්ද මොහුට තිබේ. එහෙත් මෙම පුද්ගලයා නීත්‍යනුකූල ගව ඝාතකාගාර තුළ නීත්‍යනුකූල නොවන අයුරින් මීහරක් ඝාතනය කරයි. එය කලක සිට ඉතා සූක්ෂම අයුරින් මොහු සිදු කරගෙන යයි.

වැලිපැන්න පොලිස් ස්ථානයේ සිට මීටර් 800ක දුරින් මෙම මී හරක් මැරීමේ ජාවාරම සිදුකර ගෙන ගියත් එහි නිලධාරීන් කිසිදු දිනක මේ ස්ථානය වැටලීම සඳහා පියවර නොගැනීම පුදුමය දනවන කරුණකි.

මී හරක් මැරීමේ ජාවාරම එලෙස සිදු වෙද්දී වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට පෞද්ගලික ඔත්තුකරුවකු පසුගිය මස 25 වැනිදා දුරකථන ඇමතුමක් ලබා දී මෙලෙස පැවසුවේය.

“සර් වැලිපැන්නෙ තියෙනවා ගව ඝාතකාගාරයක්. පොලිසිය කිට්ටුව තියෙන්නේ. එතන මී හරක් මරන්නේ. හෙට මී හරක් දහතුන් දෙනෙක් මරන්න ඉන්නවා. හෙට උදේ හතට විතර තමයි මරන්න සැලසුම් කරලා තියෙන්නේ. දැනටමත් උන්ව ගෙනැල්ලා ගස් බැඳලා ඉන්නෙ. සර් පුළුවන්නම් ඒ අහිංසක සත්තු ටික බේරගන්න. ලොකු පිනක්.”

මෙම පෞද්ගලික ඔත්තුකරු ලබාදෙන තොරතුරු සියයට සියයක් නිවැරදි බව පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා දනී. මෑත කාලයේදී කළුතර, වැලිපැන්න, අලුත්ගම, දර්ගා නගරය, වැලිපැන්න, බේරුවල, අටලුගම, මතුගම ආදී ප්‍රදේශවල හොර හරක් මැරීමේ ස්ථාන පිළිබඳ තොරතුරු ලබා දෙන්නේ මොහුය. එලෙස ලබාදුන් තොරතුරු නිසා අවස්ථා රැසකදීම අහිංසක සතුන්ගේ ජීවිත බේරා ගැනීමට එම නිලධාරීන්ට හැකි විය.

පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ තම නිලධාරියකු වූ උප පොලිස් පරීක්ෂක රත්නායකට මේ පිළිබඳව පැවසුවේය. විශේෂයෙන් උප පොලිස් පරීක්ෂකවරයාට මේ පිළිබඳව පැවසුවේ ඔහු හොර හරක් වැටලීමේ දක්ෂයකු වූ නිසාය. ඔහු අවස්ථා කීපයකදීම තම නිලධාරීන් සමග ගොස් සාර්ථකව මෙවැනි වැටලීම් සිදු කර තිබුණි. ඒ අවස්ථාවලදී සැකකරුවන්ට කිසිසේත්ම පැන යෑමට ඔහු ඉඩ ලබා දුන්නේ නැත.

ස්ථානාධිපතිවරයා වැටලීම සිදු කළ යුතු ආකාරය පිළිබඳ සියලු උපදෙස් ඔහුට ලබා දුන්නේය. ඒ අනුව ක්‍රියාත්මක වූ උප පොලිස් පරීක්ෂකවරයා තව නිලධාරීන් කීහිප දෙනකු සමග පසුගිය 26 වැනිදා උදෑසන හතරට පමණ වැලිපැන්න බලා යෑමට පිටත් වූහ. එලෙස යන අතර මගදි කළුතර බෝධිය අසල පොලිස් රථය නවතා පඬුරු දමා ඔවුහු කළුතර බෝධියට භාරයක් විය. ඒ ඝාතනය කිරීම සඳහා ගෙන ආ හරක් සියලු දෙනාම බේරා ගැනීමට හැකිවේවා යැයි පතමින්ය.

එම මොහොතේදීම ස්ථානාධිපතිවරයාගෙන් ඔහුට දුරකථන ඇමතුමක් ලැබුණි.

“රත්නායක දැන් කොයි හරියේද ඉන්නේ.”

“සර් කළුතර බෝධිය ළඟ. අපි බෝධියට හාරයකුත් වුණා ඒ හරක් ටික බේරගන්න ලැබෙන්න කියලා.”

“ඒක හොඳයි.”

“දැන් බෝධිය ළඟින් අපි පිටත් වෙන්න හදන්නේ සර්.”

“හරි, මම ඔයාට කතා කළේ කටුකුරුන්ද පහු කරලා ටිකක් ඉදිරියට ගියහම මගේ ඔත්තුකරු ලබා දුන් පුද්ගලයෙක් ඉන්නවා. එයා ඉන්නේ මෝටර් බයිසිකලයක. (ස්ථානාධිපතිවරයා එහි අංකය පැවසුවේය) එයාව මුණගැහෙන්න. අදාළ තැනට යන පාර පෙන්වයි. ”

“හරි සර් අපි එයාව මුන ගැහිලා ඒ විදිහට කරන්නම්.”

කළුතර මතුගම පාර අසල එක්තරා තැනකදී ඔත්තුකරු ලබාදුන් තවත් පුද්ගලයෙකු මෙම පොලිස් නිලධාරීන් සමග එකතු විය. ඉන්පසු එම පුද්ගලයා සමග අදාළ ස්ථානයට පොලිස් නිලධාරීහු පැමිණියහ. එවිට වෙලාව උදෑසන 5.30 පසුවී තිබුණි. එලෙස පැමිණි පොලිස් නිලධාරීන් ගව ඝාතකාගාරය අසල සැඟවී සිටියේය. ඒ අවස්ථාවේදී මී හරකුන් දහතුන් දෙනකු බෙල්ල හිරවන සේ ගස් වල ගැටගසා තිබෙන අයුරු ඔවුන් දුටුවේය. පැය කිහිපයක් එම නිලධාරීහු සැකකරුවන් පැමිණෙන තුරු සැඟවී සිටියහ.

පාන්දර හත පසුවී මිනිත්තු කිහිපයක් ගත වූ පසු ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයා සහ තවත් පුද්ගලයන් දෙදෙනකු එම ස්ථානයට පැමිණියහ. එලෙස පැමිණි එක් පුද්ගලයෙකු අත ගමන් මල්ලක් ද තිබුණි.

එලෙස පැමිණි තුන්දෙනා ගැටගසා තිබූ එක් මී හරකෙකු ඝාතනය කිරීම සඳහා ගව ඝාතකාගාරය තුළට රැගෙන ආවෝය. ඒ සමඟම සැඟවී සිටි පොලිස් නිලධාරීහු ඔවුන් අත්අඩංගුවට ගත්හ. එලෙස අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ගවයන් ඝාතනය කිරීම සඳහා භාවිත කරන පිහි කිහිපයක් ද ගමන් මල්ල තුළ තිබී සොයා ගැනීමට හැකි විය.

අත්අඩංගුවට පත්වූ පසු ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයා පැවසුවේ මෙය නීත්‍යනුකූල ගව ඝාතකාගාරයක් බවයි. එහෙත් පොලිස් නිලධාරීන් පැවසුවේ නීත්‍යනුකූල ගව ඝාතකාගාරයක් වුවත් මී හරකුන් මැරීමට තහනම් බවයි. එලෙස පවසනවාත් සමගම එම ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයා පැවසුවේ රුපියල් ලක්ෂ එකහමාරක් දෙන්නම් තමන්ව අතාරින ලෙසයි. එහෙත් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීහු එය සත පහකටවත් ගණන් නොගෙන එම සැකකරුවන් තිදෙනා ට නීතිය ක්‍රියාත්මක කිරීමට සැරසුණහ.

ඒ අනුව උප පොලිස් පරීක්ෂකවරයා යළි ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබා දී පැවසුවේ සැකකරුවන් තිදෙනකු සමඟ මී හරක් 13 දෙනකු අත්අඩංගුවට ගත් බවයි. ඒ සමඟම ඔවුනට තවත් ගැටලුවක් ඇති විය. ඒ මරණ භයෙන් සිටි මීහරක් වැලිපැන්න පොලිස් ස්ථානයට රැගෙන යෑමට අපහසු වීමයි.

එම ගැටලුව ද උප පොලිස් පරීක්ෂක වරයා තම උසස් නිලධාරියා වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික මහතාට පැවසුවේය. එවිට ඔහු පොඩි වෙලාවක් දෙන්න කියා උප පොලිස් පරීක්ෂක වරයාට පැවසුවේය.

පොලිස් පරීක්ෂක ඉන්දික එම මොහොතේම ඔහුගේ ඔත්තුකරුවකුට දුරකථන ඇමතුමක් ලබාගෙන පැන නැගී තිබූ ගැටලුව පිළිබඳ පැවසුවේය. එවිට ඔහු පැවසුවේ ” ඒ ගැන හිතන්න එපා සර්. මම කට්ටියක් අරගෙන එතනට යන්නම්.”

පැය භාගයක් ගතවන්නට මත්තෙන් එම ස්ථානයට පුද්ගලයන් 6 දෙනකු පැමිණියේය. එලෙස පැමිණි ඔවුන් මීහරක් පොලිසිය වෙත පටවා ගෙන යෑම සඳහා උදව් කළේය. එලෙස මීහරක් පැටවීමේදී තිදෙනකු පටවා ගැනීමට නොහැකි විය. ඒ සැකකරුවන් විසින් එම මී හරක් තිදෙනාගේ කකුල් ඇවිදීමට නොහැකිවන ලෙස කඩා දමා තිබීම නිසාය. එහෙත් ඔවුන් පසුබට වූයේ නැත. පැමිණි පිරිස බුම් ට්‍රක් එකක් සොයාගෙන එම මීහරක් තිදෙනාද ලොරි රථයට පටවා ගත්තේය.

මී හරකුන් ටික එලෙස පටවා ගනිද්දී මැණික් ව්‍යාපාරිකයා තමන්ට වැඩ වැරදීමට යන බව දැන ගත්තේය. ඒ අනුව ඔහු එම පොලිස් නිලධාරීන්ට රුපියල් ලක්ෂ තුනක අල්ලස් මුදලක් ලබාදීමට සැරසුණේය. “ලක්ෂ තුනක් නොවෙයි දහයක් දුන්නත් අපෙන් බේරෙන්න බැහැ. අපි අකුරට නීතිය කියාත්මක කරනවා.” පොලිස් පරීක්ෂකවරයා පැවසුවේය.

සැකකරුවන් සහ මී හරක් වැලිපන්න පොලිස් ස්ථානයට රැගෙන ආවේය. එලෙස රැගෙන ආවත් එම පොලිස් නිලධාරීහු නීතිය නිසි ලෙස කියාත්මක කිරීමට උනන්දු වූයේ නැත. ඒ පිළිබඳව දැනගත් වලාන දූෂණ මර්දන ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයා තම ස්ථානාධිපතිවරයාට ඒ බව දැනුම් දුන්නේය. ඒ අනුව ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා වැලිපැන්න ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී ඒ පිළිබඳ වූ විමසුවේය. එලෙස විමසූ පසු වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපතිවරයා අදාළ ස්ථානයට ගොස් සිද්ධිය පිළිබඳව සොයා බැලුවේය.

වැලිපැන්නේ මැණික්- හරක් මුදලාලි ඉදිරියේ පොලිසිය නීතිය දෙකට නැව්වද?

සැකකරුවන් සහ මී හරක් පසුදින මතුගම උසාවියට ඉදිරිපත් කළේය. එහිදී වැලිපැන්න පොලිසියේ නිලධාරීන් අධිකරණයට පවසා සිටියේ මෙම මී හරකුන් නිදහසේ සිටින සතුන් බවයි. ඒ සඳහා අයිතිකාරයෙක්ද ඉදිරිපත් කර තිබුණි. වැලිපැන්න පොලිසියේ එම තොරතුරුවලට අනුව මී හරකුන් 13 දෙනා නිදහස් කර අදාළ පුද්ගලයාට ලබා දෙන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් එම මී හරකුන් දහතුන් දෙනා ඝාතනය කිරීම සඳහා සිටි බවට සාක්ෂි සහිතව ඉදිරිපත් කර තිබියදීත් වැලිපැන්න පොලිසියේ නිලධාරීන් එලෙස අධිකරණයට ඉදිරිපත් කළ මී හරකුන් බේරාගත්තේ කුමන පදනමක් යටතේද යන්න පිළිබඳව අපට නැගෙන්නෙ මහත් ගැටලුවකි.

ඕමල්පේ සෝභිත හිමියන්ගේ සතුන් සහ සොබාදහම සඳහා යුක්තිය යන සංවිධානය ද මෙම සිද්ධිය පිළිබඳව දැන ගත්තේය. එම සංවිධානය මෙරට ඝාතනයට ලක්වන හරක් සුරැකීමට සිටින ප්‍රබල සංවිධානයකි. ඔවුන්ට වුවමනා වූයේ මෙලෙස අත්අඩංගුවට ගත් මී හරක් ඔවුන් සන්තකයේ තබාගෙන ආරක්ෂාකාරීව බලා ගැනීමටයි. ඒ අනුව එම සංවිධානයේ දකුණු පළාත් සංවිධායක අනුර ප්‍රසන්න කොට්ටෙආරව්වි වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ එම මී හරක් 13 දෙනා තම සංවිධානයට ලබා දෙන ලෙසයි. එහෙත් එයට යහපත් ප්‍රතිචාරයක් හිමි වූයේ නැත.

තවද මෙම ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් මොහොතේ ඔහු බේරා ගැනීම සඳහා ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් සංවිධායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයෙකු දැඩි ලෙස උත්සාහ කර තිබේ. ඔහු වලාන දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයාට පමණක් නොව පොලිසියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනකුට ද විටින් විට ඇමතුම් ලබාදී ඉල්ලා ඇත්තේ මෙම ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයා නිදහස් කරන ලෙසයි.

ඝාතනය කිරීමට සූදානම් වූ බවට සාක්ෂි තිබියදීත් මෙම මී හරක් 13 දෙනා සහ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයා බේරා ගැනීම සඳහා වැලිපැන්න පොලිසියේ නිලධාරීන් නීතිය දෙකට නැවූ බව සමහරු චෝදනා කරති. ඒ පිළිබඳව අදහස් දැක්වූ පුද්ගලයෙක් අපට මෙලෙස පැවසුවේය.

“මගේ නම කියන්න බෑ මහත්තයෝ. එහෙම කිව්වොත් මට ජීවත්වෙන්න හම්බෙන එකක් නැහැ. කුඩු ටිකක් හරි දාලා මාව ඇතුළට දායි. මේ මුස්ලිම් ව්‍යාපාරිකයා දවසට මීහරක් දහදෙනෙක් විතර මරනවා. මේ පිළිබඳව පොලිසියත් දන්නවා. එහෙත් ඔවුන් නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. පොලිසියේ ඉඳන් මීටර් 800 මෙතනට දුර. එච්චර ළඟ තිබිලත් වලානෙන් ඇවිත් තමයි මේක ඇල්ලුවෙ. මේ ව්‍යාපාරිකයා පොලිස් නිලධාරීන්ට සල්ලි දෙනවා. ඒකයි මේ වගේ නීති විරෝධී වැඩ පොලිසිය ළඟ ඉඳන්ම කරන්නේ.”

“තණමල්විල, හුංගම, ලුණුගම්වෙහෙර විතරක් නොවෙයි ලංකාව වටේම ඉන්න මීහරක් මෙතනට ගේනවා ඝාතනය කරන්න. සමහර හරක් අරන් එන්නේ හයිවේ එකෙන්. එහෙත් එතන මුරට ඉන්න පොලිස් නිලධාරීන් චෙක් කරන්නේ නැහැ. එකෙන්ම හිතාගන්න පුළුවන්නේ මොකද වෙන්නේ කියලා. මේ මැණික් ව්‍යාපාරිකයාට මී හරක් ලබාදෙන්නේ හක්මන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.”

වැලිපැන්න පොලිසිය විසින් අධිකරණයට ලබා දුන් තොරතුරු මත නිදහස් කළ මී හරකුන් 13 දෙනාගෙන් දෙදෙනකු එනම් පසුගිය මස 28 වෙනිදා එම ඝාතකාගාරයේදී මරා දමා තිබුණි. මේ පිළිබඳව තොරතුරක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපතිවරයාට ලැබුණි. ඒ අනුව ඔහු නිලධාරීන් පිරිසක් අදාළ ස්ථානයට පිටත්කර යැව්වේය. එහිදී දුරතියාම පොලිසියෙන් එන බව දුටු සැකකරුවන් එම ස්ථානයෙන් පැන ගියේය. එහෙත් එම සැකකරුවන් ඝාතනය කළ මීහරක් දෙදෙනකුගේ මස් කිලෝ ග්‍රෑම් 385 ක් සොයා ගැනීමට හැකිවිය. පසුව ඒවා අධිකරණයට ඉදිරිපත් කළ පසු විනාශ කර දමන ලෙසට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

කිසිදු පුද්ගලයකුගේ බලපෑමකට යටත් නොවී නීතිය හරියට ක්‍රියාත්මක කිරීම ගැන පොලිස්පතිවරයා වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට සිය ප්‍රශංසාව ද පුද කර තිබේ. එයට අමතරව මෙම ඒකකය භාරව සිටින මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති එස්. එම් කීර්තිපාල මහතා කිසිදු බලපෑමකින් තොරව එම නිලධාරීන්ට රාජකාරි කිරීමට නිදහස ලබා දී තිබේ.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය අධ්‍යක්ෂ කේ. ඒ. උදය කුමාර මහතාගේ නියෝග සහ උපදෙස් මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්‍ෂක රත්නායක සහ සුපුන්, සැරයන් පුෂ්පකුමාර (51068), ඉෂාන් (92908), ලකීෂ (104555), නිරංජන් (104679), ප්‍රසන්න (105059) සහ රියදුරු රුද්‍රිගු යන නිලධාරීහු මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූහ.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment