වසර 34කට පසු සිදු කරන සුවිශේෂී හෙළිදරව්ව…

මේ ප්‍රවෘත්තිය හින්දා එදා පත්තරය මුද්‍රණය කරන එකත් ප්‍රමාද කරල තිබුණා.

දේශපාලන ව්‍යාපාරයක නායකයෙක් කියලා කිසිම සාක්ෂියක් ඒ ගෙදර තිබුණෙ නෑ.

මගේ ප්‍රවෘත්තියෙන් පස්සේ තමයි විජේවීර ජීවත් වූ තැන රටම දැනගත්තේ

ජනතා විමුක්ති පෙරමුණ නිර්මාතෘ රෝහණ විජේවීර ඝාතනයට ලක්ව වසර 34ක් සම්පූර්ණ වන්නේ මෙම මස 13 වැනි දිනටය. ආරක්ෂක උපක්‍රමයක් ලෙස කලින් කලට තැනින් තැන අප්‍රකට ජීවිතයක් ගත කළ රෝහණ විජේවීර 1989 නොවැම්බර් මස 12 වැනි දින ගම්පොළ උලපනේ ශාන්ත මේරි වත්තේ පිහිටි නිවස තුළදී ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වන අතර ඉන් අනතුරුව කොළඹට රැගෙන එන රෝහණ විජේවීර ගේ ජීවිතය මරණයෙන් කෙළවර වන්නේ ඊට පසු දින එනම් නොවැම්බර් 13 දා අලුයම් කාලයේදීය. එම සිදුවීමත් සමග මෙරට සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි ප්‍රධාන පුවත බවට පත් වන්නේ එම ඝාතන සිදුවීමය. එතැන් සිට ජීවත් වූ රෝහණ විජේවීරට වඩා ඝාතනයට ලක්වූ රෝහණ විජේවීර පිළිබඳව සමාජය තුළ වැඩි බරක් සහිත කතාබහක් නිර්මාණය විය. ආරක්ෂක හමුදාවන් විසින් ඔහුව අත්අඩංගුවට ගත් ආකාරය, ඉන් අනතුරුව ඔහුගේ අවසන් මොහොත දක්වා වූ සිදුවීම් මාලාව පමණක් නොව ඔහුගේ දේශපාලන භාවිතාව ආදී විවිධ මාතෘකා ඔස්සේ එම කතාබහ සිදු වූ අතර ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ඝාතනයට ලක්ව හෙටට (13) වසර තිස් හතරක් සම්පූර්ණ වීමට නියමිතව ඇතත් තවදුරටත් ඹහු පිළිබඳ සිදුවෙමින් පවතින සමාජ කතාබහ නිමාවට පත්ව නැත.

පහත පළ වන්නේ ද එවැනි එක් කතාවක්ය. මෙහි පවතින විශේෂත්වය නම් මෙතෙක් කිසිදු මාධ්‍යයක් විසින් මේ කියන්නට යන කතාව වාර්තා නොකිරීම ය. රෝහණ විජේවීර ඝාතනය කිරීමෙන් පසු ඔහුට අයත්ව තිබූ උලපනේ පිහිටි නිවසට ගිය පළමු මාධ්‍යවේදියා ලෙස සුවිශේෂී මාධ්‍ය මෙහෙවරක නිරත වන අප කතා නායකයා විජේවීරට අයත්ව තිබූ උලපනේ නිවසේ එම මොහොතේ පැවැති වටපිටාව සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ඇතුළු පවුලේ සාමාජිකයන් එම නිවස තුළ ගත කළ ජීවිතය පිළිබඳව පළමුවරට රට හමුවේ හෙළි කර සිටින්නේය. එම පුවත එවකට දිනමිණ පුවත්පත විසින් වාර්තා කර සිටින්නේ රෝහණ විජේවීර ඝාතනයට ලක්ව සිවි දිනක් ගතවීමෙන් අනතුරුව 1989 නොවැම්බර් මස 17 වැනි දිනය.

විජේවීරගේ ඝාතනයෙන් දින 03ට පසු උලපනේ වත්තට ගිය පළමු පත්තරකාරයා
මාධ්‍යවේදී විමල් රණතුංග

එකල පැවති මරණීය අවදානම ද නොතකමින් ඔහු විසින් වාර්තා කළ පුවත “අත්තනායක බංගලාවේ විජේවීරගේ රහස් ජීවිතේ” යන හිසින් යුතුව එදින දිනමිණ පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨයක් බවට පත්වන අතර පුවතේ බැරෑරුම්කම කෙසේද යත් එම පුවත වාර්තා කළ වාර්තාකරුගේ නම වෙනුවට පුවත්පතෙහි සඳහන්ව ඇත්තේ ‘දිනමිණ ට පමණයි’ අපේ විශේෂ වාර්තාකරු විසිනි” යනුවෙනි.

මෙම සටහන වෙන් වන්නේ එම “විශේෂ වාර්තාකරු” කවුද යන්න පිළිබඳව රට හමුවේ හෙළිදරව් කර සිටීම පිණිසය. එම සුවිශේෂී හෙළිදරව්ව මෙවර ‘දිවයින’ පුවත්පත මගින් මුල් වරට වාර්තා කර සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ නිර්මාතෘ රෝහණ විජේවීර ඝාතනයට ලක්ව වසර 34 ක් ගත වීමෙන් අනතුරුවය.

වසර තිස් හතරක් පුරා රැක ගත් රහස සහ එදා තරුණ මාධ්‍යවේදියකු ලෙස තමන් මුහුණ දුන් අත්දැකීම් එකින් එක අප හමුවේ විස්තර කළ හේ නමින් විමල් රණතුංග ය. එකල තරුණ මාධ්‍යවේදියකු වූ ඔහු මේ වන විට තම ජීවිතයේ 66 වැනි විය ගත කරමින් ඇත. ගුරුවරයෙක්, ලේඛකයෙක් සහ මාධ්‍යවේදියෙක් ලෙස දීර්ඝ අත්දැකීම් කලාපයක් හිමි විමල් රණතුංග මුල්වරට නිදහස් මාධ්‍යවේදියකු ලෙස ‘ඇත්ත’ පුවත්පත හා සම්බන්ධ වන අතර ඒ තුළින් මාධ්‍ය කලාව පිළිබඳ යම් පරිචයක් අත්පත් කරගෙන ඇත. ඉන් අනතුරුව 1978 වසරේ දී ලේක්හවුස් ආයතනය හා සම්බන්ධ වෙමින් පුවත්පත් කලාවට ප්‍රවිෂ්ට වන ඔහු අඛණ්ඩව වසර 17ක් පුරා දිනමිණ පුවත්පත හා සම්බන්ධ වෙමින් මාධ්‍ය මෙහෙවරක නිරතව ඇත.

තම මාධ්‍ය ජීවිතය තුළ නොමැකෙන අත්දැකීමක් බවට පත්ව ඇති එම සුවිශේෂී මාධ්‍ය කටයුත්ත පිළිබඳව මුල්වරට මාධ්‍යයක් හමුවේ අදහස් දැක්වූ විමල් රණතුංග ඒ සඳහා ආරම්භය ලබා ගත්තේ එවකට පැවති සමාජ, දේශපාලන වටපිටාව පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කරමිනි.

විජේවීරගේ ඝාතනයෙන් දින 03ට පසු උලපනේ වත්තට ගිය පළමු පත්තරකාරයා
එදා දිනමිණ පුවත්පත විසින් එම ප්‍රවෘත්තිය වාර්තාකර තිබූ අයුරු

“1989 වසර වනවිට මට වයස අවුරුදු 33යි. මාධ්‍යයත් එක්ක ඉතාමත් හොඳින් වැඩ කටයුතු කරන වෙලාවක්. ඒ වෙද්දි ලංකාවේ වෙනත් පළාත් වගේම අපේ පළාත ඒ කියන්නේ ගම්පොල, නාවලපිටිය ඔය ආදී ප්‍රදේශවලත් තදින්ම භීෂණය ක්‍රියාත්මක වෙමින් තිබුණා. පාර අද්දර ටයර් උඩ පිච්චෙන තරුණ ජීවිත තමයි උදේට අවදි වෙද්දි දකින්න ලැබුණේ. ඒ ආකාරයට එක පැත්තකින් රජයේ ආරක්ෂක අංශ සන්නද්ධ අරගලය මර්දනය කරගෙන යද්දී තුවක්කු අතට ගත්ත අරගලකරුවන්ගේ ඉලක්කයට තවත් පිරිසක් ගොදුරු වෙනවා. ඒ හේතුවෙන් මුළු මහත් සමාජයම ලොකු පීඩනයක් ඇතුළේ තමයි ඒ වෙද්දි ජීවත් වුණේ. හෙට දවසෙ වෙන්නේ මොකක්ද කියලා කිසි කෙනෙකුට කියන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ නෑ. තවත් සරලව කියනවා නම් ගහකොළ පවා අපට එරෙහි වෙලා වගේ හැඟීමක් තමයි දැනෙමින් තිබුණේ. එහෙම වෙලාවක තමයි ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර රජයේ හමුදා අත්අඩංගුවට පත් වුණා කියන ප්‍රවෘත්තිය වාර්තා වෙන්නෙ. ඔහු අත්අඩංගුවට පත් වන්නේ උලපනේ ශාන්ත මේරි වත්තේදී කියලා ඒ ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන් වීමත් එක්ක මට ලොකු විමතියක් දැනෙන්න ගත්තා. ප්‍රවෘත්තියේ සඳහන් තොරතුරු එක්ක බලද්දී විජේවීර ජීවත් වූ වතු බංගලාවයි මගේ නිවසයි අතර වැඩි දුරක් නැහැ. සැතපුම් තුන හතරක දුරින් තමයි ඔහු එච්චර දවසක් ජීවත් වෙලා තිබුණේ. ඒ තොරතුරුත් සමග මගේ ප්‍රදේශයෙන් එවැනි දෙයක් වාර්තා වෙද්දි මාධ්‍යවේදියෙක් වශයෙන් යමක් කළ යුතුයි කියන සිතුවිල්ල මා තුළ තදින් වැඩෙන්න ගත්තා. නමුත් ඒ වෙද්දි මුළු සමාජයම අක්‍රීය වෙලා වගේ හැඟීමක් තමයි හැමදෙනා තුළම පැවතුණේ. කොළඹ පත්තර කන්තෝරු ඇතුළේ තමයි පුවත්පත් වාර්තා සකස් වුණේ. ඒ පුවත්පත් වාර්තා සකස් වෙන්නෙත් ආරක්ෂක අංශ විසින් ලබාදුන් තොරතුරු මත පමණයි. එදා තිබුණු සමාජ වටපිටාව තමයි ඒකට මූලිකම හේතුව බවට පත්වුණේ. සාමාන්‍ය ජනතාව පමණක් නෙවෙයි මාධ්‍යවේදීන් පවා යම් නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් හිටියා. විජේවීර ඝාතනයෙන් දවස් දෙක තුනක් ගතවී තිබුණත් ඔහු අත්අඩංගුවට පත්වුණේ කොහොමද ඔහු එතෙක් දිනක් ජීවත් වූ උලපනේ නිවෙස පිහිටා තිබුණේ කොතැනද ඒ වටපිටාව මොනවගේද ඔය ආදි ප්‍රශ්න රැසක් සාමාන්‍ය ජනතාව අතරේ තිබුණා. එහෙම වටපිටාවක තමයි මම තීරණය කළේ එන ඕනෑම අවදානමක් නොතකමින් විජේවීර එතෙක් දිනක් ජීවත් වූ වතු බංගලාවට ගිහින් ඒ වටපිටාව සියැසින් දැකලා පුවත්පත් වාර්තාවක් සකස් කළ යුතුයි කියලා…”

ඒ අනුව දුරකථන මාර්ග ඔස්සේ එවකට දිනමිණ පුවත්පතේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ ඩබ්ලිව්.ජී. ගුණරත්න මහතාව සම්බන්ධ කරගන්නා විමල් රණතුංග තමන් ගත් තීරණය ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘවරයා හමුවේ සඳහන් කර සිටින්නේය. ඊට පිළිතුරු දෙමින් ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘවරයා සඳහන් කර ඇත්තේ “හරි විමල්… ඔයා යන්න. අපි ඒ ගැන විමසිල්ලෙන් සිටින්නම්” යනුවෙන්ය. එම වදන් කිහිපය තුළින් ලත් උත්තේජනය ඔස්සේ විමල් රණතුංග උලපනේ පිහිටි ශාන්ත මේරි වත්ත බලා පිටත්ව ගොස් ඇත්තේ ඉන් අනතුරුවය.

“එදා බදාදා දවසක්. හැම තැනකම දකින්නට ලැබුණේ වචනයට නැගිය නොහැකි තරමේ පාළු ගුප්ත ස්වභාවයක්. ගම්පොළ නගරයට ආව මම එතැනින් බස් එකකට නැගලා ගමන පිටත් වුණා. විජේවීර ජීවත් වූ නිවස පිහිටා තිබුණේ කොතනද කියලා මම හරියට දැනගෙන හිටියේ නෑ. මාධ්‍ය මගින් වාර්තා කළ තොරතුරු ඔස්සේ තමයි ගමන පිටත් වුණේ. එහෙම ටික දුරක් යද්දි අදාළ ස්ථානයෙන් බැහැලා වටපිට බැලුවා. කිසි කෙනෙක් පේන්න නෑ. තොරතුරක් දැන ගන්න කෙනෙක් නෑ. බස් එකෙන් බැහැලා පාගමනින් ටික දුරක් ඉදිරියට යද්දී වතු බංගලාව පිහිටි පැත්තේ ඉඳලා හමුදා සෙබළුන් රැගත් වාහනයක් පහළට එනවා දැක්කා. මට ඒ වාහනය විශේෂයක් නොවුන වගේම ඒ වාහනේ ගමන් ගත් හමුදා සෙබළුන්ටත් මාව විශේෂයක් වුණේ නෑ. ඒ වාහනය මාව පසුකර ගමන් කරනවත් එක්කම මමත් ඉස්සරහට ගමන් කරන්න ගත්තා. මට මතක විදිහට ගම්පොල – නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ඉඳලා විජේවීර ජීවත්වූ නිවසට මීටර් 200ක දුරක්වත් තිබුණෙ නෑ. නමුත් ඒ පොඩි දුර ඇතුළෙ පවා මොකක්දෝ නොතේරෙන බියක් දැනෙන්න ගත්තා. මම ටික දුරක් ඉදිරියට යද්දී හමුදා ආරක්ෂාව යොදවා තිබුණු වතු බංගලාවක් දකින්නට ලැබුණා. ඊට තරමක් ආසන්නව තවත් වතු බංගලාවක් සහ ඒ බංගලාව ඉදිරිපස එළිමහනේ කවුද පුද්ගලයෙක් ඉන්නවා දැක්කා. මම මුලින්ම යන්නේ ඒ පුද්ගලයා ළඟට. ඔහු බර්ගර් ජාතිකයෙක්. බොහොම ප්‍රියමනාප පුද්ගලයෙක්. මගේ අනන්‍යතාවය හෙළි කළාට පස්සෙ ඔහු මගෙත් එක්ක බොහෝ වේලාවක් කතාබහ කරමින් හිටියා. අත්තනායක කියන නමින් තමයි ඒ ප්‍රදේශය තුළ රෝහණ විජේවීර පෙනී ඉඳලා තියෙන්නේ. අර බර්ගර් ජාතික මහත්තයා කිව්ව විදිහට අත්තනායක කියන්නේ ඒ ප්‍රදේශයේ බොහොම නිවුණු නිදහස් ජීවිතයක් ගත කළ පුද්ගලයෙක්. දරුවන් ඉදිරියේ හොඳ තාත්තා කෙනෙක්. වැඩි කතාබහකින් තොරව කාලය ගත කළ අයෙක්. ඔය ආදී විස්තර රැසක් තමන්ගේ අසල්වැසියා ගැන ඒ බර්ගර් ජාතික මහත්තයා මා සමග පවසා සිටියා. ඒ කතා බහ තුළ මා දැක්ක විශේෂත්වය තමයි කිසිම බියක් සැකයක් නැතිව ඒ දේවල් ප්‍රකාශ කිරීම.”

ඒ කතාබහෙන් පස්සෙ තමයි එතෙක් කලක් අත්තනායක නමින් පෙනී සිටිය රෝහණ විජේවීරට අයත් උලපනේ වතු බංගලාව දක්වා ගමන් කළේ. ඒ යද්දි දුර තියාම මම දැක්කා නිවසෙත් ඒ අවටත් ආරක්ෂාව පිණිස යුද හමුදාව යොදවල තිබෙනවා. මම වත්තට ඇතුළු වෙනවත් එක්කම එක් යුද හමුදා භටයෙක් මා ඉදිරියට ඇවිත් මගෙන් ප්‍රශ්න කරන්න ගත්තා. ඔහු ඉදිරියේ මගේ අනන්‍යතාවය හෙළි කළාට පස්සෙ වෙනත් හමුදා නිලධාරියෙක් ළඟට මාව යොමු කරනවා. ඔහු තමයි ඒ ස්ථානයේ ආරක්ෂාව භාරව කටයුතු කළ ප්‍රධාන නිලධාරියා. ඔහුගේ නම නියංගොඩ. ඔහුත් බොහොම සුහදශීලී කෙනෙක්. ඒ නිලධාරියා මට කිව්වා අවශ්‍ය නම් නිවස ඇතුල විතරක් දැකබලාගන්න එළියෙ පහළියෙ වැඩිය ගැවසෙන්න එපා ආරක්ෂාව ගැන ඒ අයටවත් තවම හරි හැටි අවබෝධයක් නෑ කියලා. ඔය වෙද්දි විජේවීරට අයත් උලපනේ වතු බංගලාවේ දකින්නට ලැබුණේ මෝටර් රථයක් සහ නිවසේ සුරතලයට ඇති කරන ලද සුනඛයෙක් විතරයි. ලොකු සාංකාවකින් ඒ සතා ඉන්න බව තේරුණා. ඊට අමතරව විජේවීර පවුලේ සාමාජිකයන් පරිහරණය කළ බඩු භාණ්ඩ කිහිපයක් දැක ගැනීමට ලැබුණා. මම ඒ ස්ථානයට යන්න දවසකට හෝ දෙකකට පෙර විජේවීර මහත්මිය ඇතුළු දරුවන් පිරිස එම ස්ථානයෙන් පිටත් වෙලා වෙනත් ප්‍රදේශයක් බලා පිටත්ව ගියා කියන ආරංචියත් ලැබුණා. මාධ්‍ය මඟින් වතු බංගලාවක් කියලා ඒ නිවස නම් කරල තිබුණට එතැන බංගලාවක තිබෙන මහේශාක්‍ය බව දකින්නට ලැබුණේ නෑ. කාමර තුනක්, සාලයක්, පෝටිකෝවක් සහ මුළුතැන්ගෙයක් සහිත සාමාන්‍යයෙන් නිවසක් තමයි දකින්නට තිබුණේ. දේශපාලන ව්‍යාපාරයක නායකයෙක් එහෙමත් නැත්තම් පක්ෂ නායකයෙක් ජීවත් වූ තැනක් බවට කිසිම සාක්ෂියක් එතන තිබුණෙ නෑ. ඒ ස්ථානයේ පැය බාගයක් විතර කාලය ගත කළ මම නැවත පාරට ඇවිත් මහනුවර පිහිටි ලේක්හවුස් කාර්යාලයට ගියා. එතන ඉඳගෙන තමයි මේ විස්තරය පත්තරේට ලියන්න. තොරතුරු ටික කොළඹ යවන තෙක් තරමක් ප්‍රමාදව ඉඳලා තමයි එදා පත්‍රය මුද්‍රණයට යවලා තිබුණේ. පසුදා දිනමිණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් යටතේ ඒ ප්‍රවෘත්තිය පළ වෙලා තිබුණා. එදා අර බර්ගර් ජාතික මහත්තයා ලබා දුන් තොරතුරු සහ මා ඇසින් දුටු දේ ඒ අනුව සකස් කරන ලද ඒ ප්‍රවෘත්තියට ලොකු වටිනාකමක් ලැබුණා. ඊට පස්සේ තවත් පත්තර කීපයකින් ආව මාධ්‍යවේදී මහත්වරුන් උලපනේ නිවස හා ඒ අවට වටපිටාව පිළිබඳව විශේෂාංග ලිපි පවා පත්තරවලට ලිව්වා. ඇත්තටම ඒ තත්ත්වය ඇති වුණේ ඊට පසුබිම සැකසුණේ මගේ ලිපියෙන් පස්සේ බව මාධ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් දන්න කරුණක්. ඒ කොහොම වුණත් අපේ රට විසින් බිහිකළ සුවිශේෂී දේශපාලන චරිතයක් වූ ජනතා විමුක්ති පෙරමුණ නිර්මාතෘ රෝහණ විජේවීර අවසන් වරට ජීවත් වූ නිවස පිළිබඳවත් අවසන් දින කීපය පිළිබඳවත් ලියන්නට ලැබීම මගේ මාධ්‍ය ජීවිතයේ උදාවූ සුවිශේෂී අවස්ථාවක් විදිහට අදත් මම දකිනවා. මගේ නමවත් සඳහන් කරන්න බැරි වටපිටාවක් තුළ ඒ වගේ කටයුත්තක් සඳහා ඉදිරිපත් වීම පිළිබඳ අද මා ගැනම මම තෘප්තිමත් වෙනවා…”

අදින් වසර 34 ක ට පෙර තමන් ලද සුවිශේෂී මාධ්‍ය අත්දැකීම මාධ්‍යවේදී විමල් රණතුංග විසින් අප හමුවේ විස්තර කර සිටියේ ඒ ආකාරයෙන්ය. මෙම සටහන නිමා කිරීමට මත්තෙන් ඔහු විසින් වාර්තා කරන ලද එම ලිපියේ කොටසක් මෙහි උපුටා දක්වනු ලබන්නේ එදා ඔහු විසින් කරන ලද මාධ්‍ය මෙහෙවර පිණිස යම් වටිනාකමක් ලබා දීමේ අදහසින්ය. 1989ක් වූ නොවැම්බර් මස 17 වැනි දින දිනමිණ පුවත්පත විසින් එම පුවත වාර්තා කර සිටින්නේ මේ අයුරින්ය.

“අත්තනායක මහත්තයා වැඩි කතාබහක් නෑ. ඒ අය වත්තේ පදිංචියට ආව දවසේ මගේ නිවසින් ඒ ගෙදරට කිරිබත් පිඟානක් යැව්වා. මම මුල්වරට ඒ නිවසට ගියේ මගේ බිරිඳ මියගොස් වසරක් සම්පූර්ණ වන දවසට පවත්වන පිංකමට එන්න කියලා ඒ අයට ආරාධනා කරන්න. එදා මා එහි යන විටත් අත්තනායක මහත්තයා නිවස තුළ හිටියා. බොහොම ප්‍රියමනාප පුද්ගලයෙක්. මා සමග වචන දෙක තුනකට වඩා කතා කළේ නෑ. මගේ බිරිඳගෙ පිංකමට එන්න කියලා කිව්වත් ඒ ගෙදර කවුරුවත් ඊට සහභාගි වුණේ නෑ. ඒ ගෙදර හිටිය වෙනත් පුද්ගලයෙක් අතේ බිස්කට් පෙට්ටියක් එවලා තිබුණා. ඊට සති දෙකකට විතර පසුව නැවතත් මම ඒ නිවසට ගියා. ඒ වෙද්දි කිසියම් පිරිසක් විසින් නිවස ආසන්නයේ මඩුවක් සකස් කරමින් හිටියා. අත්තනායක මහත්තයත් එතන ඉන්නව දැක්ක මම දුර තියා ඉංග්‍රීසියෙන් ඇහුවා මඩුව වහන්නේ උළුවලින් ද ටකරන් වලින්ද කියලා. තනි වචනයෙන් උත්තර දුන්න අත්තනායක මහත්තයා කිව්ව “ටකරන්” කියලා.

තවත් මාස දෙකකට විතර පස්සේ දවසක් මම පාර දිගේ උඩහට එද්දි අත්තනායක මහත්තයා එයාගෙ බිරිඳ සහ දරුවන් දෙදෙනෙක් එක්ක පහළට බහිනවා. ඒ ඇවිත් තිබුණේ අපේ වත්ත පහළින් පිහිටි සිංහල විදුහලට එයාගේ දරුවන් දෙන්නව ඇතුළත් කරන්න. මාව දැක්ක හැටියෙ අත්තනායක මහත්තයා අහක බලා ගත්තා. එයාගේ නෝනා මා සමග සිනහ වුණා. ඒ කෙසේ වෙතත් ඔවුන් යහපත් පිරිසක් බව ඒ වන විට මා විසින් අවබෝධ කරගෙන තිබුණා…”

ඉහත උපුටා දක්වන ලද්දේ එම සිදුවීමට අදාළ පුවත්පත් වාර්තාවෙන් කොටසක්ය. මේ වන විට එම පුවත්පත් වාර්තාව ද ඊට තුඩු දුන් සිදුවීම් සමුදාය ද ඉතිහාසයට එක් වී අවසන්ය. එහෙත් මෙරට බිහි වූ සුවිශේෂී දේශපාලන චරිතයක් වන රෝහණ විජේවීර පිළිබඳව සමාජය තුළ තවදුරටත් කතාබහ වෙමින් ඇත. අවසන් වශයෙන් මෙම ලිපියේ කතා නායකයා වූ මාධ්‍යවේදී විමල් රණතුංග මහතා සඳහන් කර සිටියේ ද රෝහණ විජේවීර චරිතය තුළ වූ සමාජ විද්‍යාත්මක පැතිකඩ පිළිබඳ තවමත් රට තුළ විධිමත් සංවාදයක් සිදු නොවූ බවත් දේශපාලන පක්ෂ පාට ආදියෙන් තොරව රෝහණ විජේවීර නම් සුවිශේෂී මිනිසා පිළිබඳ සිදු කරනු ලබන සමාජ විද්‍යාත්මක කියවීමක් තුළ බොහෝ දේ උගත හැකි බවත්ය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment