හදිසි නීතිය බලගැන්වේ  – මැති සබය අවට  රැකවල් තරවෙයි

262

වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රට පුරා හදිසි අවස්ථා තත්ත්වයක් බලාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (18 දා) නිකුත්කර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත්කර ඇත.

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුකොට ගෙන මහජන ආරක්‍ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්‍ෂිත කිරීම, ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවාවන් පවත්වාගෙන යෑම සඳහා මෙම පියවර ගත් බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පැවසීය.

මේ අතර ජනාධිපතිවරයකු තෝරා ගැනීම සඳහා නාමයෝජනා භාරගන්නා අද දිනයේ කොළඹ නගරයේ සහ පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ ආරක්‍ෂාව දැඩිකර ඇත.

ත්‍රිවිධ හමුදාව, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ බුද්ධි අංශයේ විශේෂ කණ්ඩායම් ආරක්‍ෂාව සඳහා යොදවා තිබේ. අරගලකරුවන් පාර්ලිමේන්තුවට කඩාවැදීමට උත්සාහ කළහොත් එය නතර කර ඔවුන් විසිරුවාහැරීම සඳහා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් සකස් කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.

කැරලි මර්දන ඒකක සීරුවෙන් තබා ඇති අතර ජල ප්‍රහාරක රථ, කඳුළු ගෑස් ප්‍රහාරක කණ්ඩායම් ද කොළඹට සහ පාර්ලිමේන්තුව අවට ප්‍රදේශවලට කැඳවා ඇත.

මේ අතර මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාව සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් සකස්කර තිබේ.

හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment