දිනේෂ්ගේ කාමරය පුරා පැය 24ම පිරිත් දාලා තිබුණා – ලෝක වාර්තා තැබූ දිනේෂ්ගේ සහ සමිතගේ පුහුණුකරු ප‍්‍රදීප් නිශාන්ත

386

ටෝකියෝ පැරාලිම්පික් කී‍්‍රඩා උළෙලේදී ලෝක වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කමක් ජයග‍්‍රහණය කළ දිනේෂ් පි‍්‍රයන්ත හේරත් කී‍්‍රඩකයාගේත්, එම කී‍්‍රඩා උළෙලේදීම ලෝකඩ පදක්කමක් ජයග‍්‍රහණය කළ සමිත දුලාන් කොඩිතුවක්කු කී‍්‍රඩකයාගේත් පුහුණුකරු වන්නේ ප‍්‍රදීප් නිශාන්ත මහතායි. ප‍්‍රදීප් නිශාන්තගේ මඟපෙන්වීම්, පුහුණු ශිල්පීය ක‍්‍රම මගින් හෙල්ල විසි කර ලොව දිනූ ඔවුන් අද වාර්තා පිහිටුවා ඇත. ලෝකය ජය ගන්නට, ලෝකය ඉදිරියේ ශී‍්‍ර ලංකාව බබළන්නට සමත් වූ එම කී‍්‍රඩකයන් දෙදෙනාගේ පුහුණුකරු වන ප‍්‍රදීප් නිශාන්ත මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ සමග කළ සාකච්ඡාව පහත දැක්වේ.

 ප‍්‍රශ්නය – ඔබ කී‍්‍රඩා ක්ෂේත‍්‍රයට යොමු වෙන්නේ කොහොමද?

 පිළිතුර – 1993 වසරේදී තමයි කී‍්‍රඩාවට යොමු වුණේ. හොරේතුඩුව මොරටුව චන්ද්‍රසේකර මහා විද්‍යාලයේදී අධ්‍යාපනය හැදෑරුවත් ඒ කාලයේ කී‍්‍රඩාවට යොමු වීමට තරම් පහසුකම් තිබුණේ නැහැ. 93 වසරේදී කී‍්‍රඩා අමාත්‍යාංශය යටතේ එස්. එම්. ජී. බණ්ඩාර ‘සර්’ යටතේ පුහුණුව ලබලා 95 වසරෙදී මං සාක් කී‍්‍රඩා උළෙලේ හෙල්ල විසිකිරීමෙන් ලෝකඩ පදක්කමක් ලැබුවා. 94 වසරෙදී මං ශී‍්‍ර ලංකා වාර්තාවක් ද පිහිටෙව්වා. මීටර් 64 යි දශම ගණනක් වාර්තා කරමින්. 96 වසරෙදී මං නැවත ඒ වාර්තාව අලූත් කළා. අවසානයේ 2003 වසරෙදී නැවතත් හෙල්ල විසිකිරීමේ සියලූ වාර්තා මං බිඳ දැමුවා. මීටර් 74 යි දශම විසි හතරක් එහිදී වාර්තා කළා. 2003 ආසියානු තරගාවලියේදී ද ලෝකඩ පදක්කමක් ලැබුවා.

දිනේෂ්ගේ කාමරය පුරා පැය 24ම පිරිත් දාලා තිබුණා - ලෝක වාර්තා තැබූ දිනේෂ්ගේ සහ  සමිතගේ පුහුණුකරු ප‍්‍රදීප් නිශාන්ත

ප‍්‍රශ්නය – කී‍්‍රඩා කිරීමෙන් ඉවත්ව කී‍්‍රඩා පුහුණුවට යොමු වන්නේ කුමන වකවානුවකද?

 පිළිතුර – 2004 වසරෙදී මගේ අතේ ඇඟිල්ලේ ආබාධයක් ආවා. එය සුව වුණේම නැහැ. අනතුරුව කී‍්‍රඩා පාසලේ කී‍්‍රඩා ඩිප්ලෝමාව හැදෑරීමට කටයුතු කළා. ඒ වගේම පුහුණු ක්ෂේත‍්‍රයේ ඉහළම කඩඉම වන අයිඑෆ්එෆ් කාණ්ඩයේ 3 වැනි මට්ටම දක්වා පුහුණුව හදාරා තිබෙනවා. ඒක තමයි පුහුණු ක්ෂේත‍්‍රයේ ඉහළම කාණ්ඩය. ඒ සඳහා කොරියාවේදී තමයි පුහුණුවීම් හැදෑරුවේ. දැනට මම ගේට්වේ ජාත්‍යන්තර පාසලේ මලල කී‍්‍රඩා පුහුණුකරු සහ සහකාර ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

 ප‍්‍රශ්නය – ශී‍්‍ර ලංකාව වෙනුවෙන් මෙවර ඔලිම්පික් කී‍්‍රඩා උළෙල සහ 2016 ඔලිම්පික් කී‍්‍රඩා උළෙල නියෝජනය කළ සුමේධ රණසිංහ ඔබ යටතේ පුහුණුව හැදෑරුවද?

 පිළිතුර – ඔව්. දිනේෂ් පි‍්‍රයන්ත, සමිත දුලාන්, සුමේධ රණසිංහ ඇතුළු කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 15 දෙනකු මං යටතේ දැනටත් පුහුණුව හදාරනවා. සුමේධ රණසිංහ 2016 වසරේදී මීටර් 83 ක් දුරට හෙල්ල විසි කරනවා. ඒ වගේම වරුණ දයාරත්න කී‍්‍රඩකයා ද මගේ ළඟ පුහුණුව හදාරමින් සිටියදී මීටර් 82.5 ක් දුරට හෙල්ල විසි කරනවා.

 ප‍්‍රශ්නය – සාමාන්‍ය කී‍්‍රඩකයින් සහ පැරා කී‍්‍රඩකයින්ට ලබාදෙන පුහුණුව වෙනස්ද?

 පිළිතුර – පුහුණුවේ වෙනසකුත් නැහැ. ඔවුන්ට සැලකීමේ වෙනසකුත් නැහැ. ඔවුන් හැම දෙනාම එක මට්ටමේ සිටින කී‍්‍රඩකයින් ලෙස තමයි මං පුහුණුව ලබා දෙන්නේ. වෙනසක් කරොත් ලොකු ප‍්‍රශ්නයක්. දෙපිරිසම එකාවන්ව එකට පුහුණුවීම් කරන නිසා පැරා කට්ටියට ලොකු වර්ධනයකට යන්න පුළුවන් වුණා.

 ප‍්‍රශ්නය – ශී‍්‍ර ලංකාව වෙනුවෙන් මෙවර පැරාලිම්පික් කී‍්‍රඩා උළෙලේදී රන් පදක්කමක් ලබා ගනිමින් ලෝක වාර්තාවක් පිහිට වූ දිනේෂ් පි‍්‍රයන්ත කී‍්‍රඩකයා ඔබට හමුවෙන්නේ කෙසේද?

 පිළිතුර – 2017 වසරට පෙර ඔහු වෙනත් පුහුණුකරුවකු යටතේ පුහුණුව හදාරා තිබුණා. පසුව පැරාලිම්පික් කමිටුව මාර්ගයෙන් එම වසරෙදී ඔහු මගේ ළඟට පුහුණුවීම් පිණිස පැමිණියා. 2016 දී ඔහු පැරාලිම්පික් නියෝජනය කළේ වෙනත් පුහුණුකරුවකු යටතේදීය. එහිදී ඔහු ලෝකඩ පදක්කම ජයග‍්‍රහණය කළා. 2017 වසරේ මා ළඟට පැමිණි පසුව දිනේෂ් පි‍්‍රයන්ත කී‍්‍රඩකයාගේ දක්ෂතාවල ලොකු වර්ධනයක් ආවා. ඒ වසරේ පැවැති පැරා ලෝක ශූරතා  තරගාවලියේදී දිනේෂ්ට රිදී පදක්කමක් ලබා ගැනීමට ද එම වර්ධනය ඉවහල් වුණා. 2018 ආසියානු ශූරතා පැරා තරගාවලියේදී වාර්තාවක් ද පිහිටුවමින් දිනේෂ් එහිදී රන් පදක්කමක් දිනා ගත්තා. ඒ වගේම 2019 ලෝක ශූරතා තරගාවලි ඩුබායිහිදී පැවැත්විණි. ඒ සඳහා දිනේෂ් සහභාගි වුණේ අතේ ආබාධයක් ද තබාගෙනයි. ඒත් දිනේෂ් එහිදී රිදී පදක්කමක් ජයග‍්‍රහණය කළා. ඊට පසුව මාස හයක් පමණ දිනේෂ්ගේ අතට ප‍්‍රතිකාර කළා. මේ දක්ෂතා නිසා දිනේෂ්ට පැරාලිම්පික් තරගාවලියේදී ලොකු දෙයක් කරන්න වෙයි කියන විශ්වාසය අපට ඇති වුණා. දිනේෂ්ගේ දක්ෂතා එන්න එන්නම වර්ධනය වුණා.

 ප‍්‍රශ්නය – ඒ වගේම හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මෙවර ලෝකඩ පදක්කමක් දිනා ගන්නට සමිත දුලාන් සමත් වුණා. ඔහුට ද පැරාලිම්පික් වාර්තා අතරට එම තරගයේ උත්සාහයන් හතරකදී යෑමට හැකි වුණා. ඒත් අනෙක් කී‍්‍රඩකයා ඒ වාර්තා බිඳ දමනවා. සමිතව ඔබට හමු වුණේ කුමන කාලයකද?

 පිළිතුර – ඔහු මගේ ළඟට එන්නේ 2009 වසරෙදී. යුද හමුදා පොලිස් කී‍්‍රඩකයකු ලෙස පැමිණි සමිත එකල යගුලිය දැමීමේ කී‍්‍රඩකයකු ලෙස පැමිණියා. පසුව ඔහු යුද හමුදා ආධුනික මලල කී‍්‍රඩා තරගාවලියේදී වාර්තාවක් පිහිටවීමට සමත් වුණා. අනතුරුව ඔහු අනතුරකට ලක් වුණා. දණහිසෙන් පහළ අහිමි වුණා. ඉන්පසුව පැරා කී‍්‍රඩා අංශයෙන් කී‍්‍රඩාවට යොමු වුණා. කනගාටුවට කරුණු මේ තරගාවලියේදී ඔහුට රිදී පදක්කම අහිමි වීමයි. කොහොම වුණත් දිනේෂ් සහ සමිත ලංකාවට ලබාදුන් අභිමානය වචනයකින් කියල නිම කරන්න බැහැ.

 ප‍්‍රශ්නය – මෙවර ටෝකියෝ කී‍්‍රඩා උළෙලට යෑමට ඔබ බලාපොරොත්තු වුණා ද මේ කී‍්‍රඩකයින් දෙදෙනා මේ දක්ෂතාවලට යයි කියලා.

 පිළිතුර – අනිවාර්යයෙන්ම ඔව්. දිනේෂ්ගේ දක්ෂතා මත මම එම බලාපොරොත්තුවේ හිටියා. ඔහු ඉතා හොඳින් සිය දක්ෂතා වර්ධනය කරගෙන ආවා. ඒ

 වගේම දිනේෂ් ද ඒ බව මට කිව්වා. ඔහු පැවසුවේ රන් පදක්කම පමණක් නොවෙයි ලෝක වාර්තාවක් ද තබන බව. සමිත දුලාන්ද සිය ඉසව්වෙන් දෙවැනි හෝ තෙවැනි තැනට පත් වෙයි කියලා මම බලාපොරොත්තු වුණා. ඇත්තටම ඒ දේවල් ටෝකියෝවලදී ඉටු වුණා.

 ප‍්‍රශ්නය – ටෝකියෝ නුවරට ළඟා වූ පසු ද ඔවුන් පුහුණුවීම් කළා. එහිදී ඇති වුණු තත්ත්වය මොන

 වගේද?

 පිළිතුර – ටේ‍්‍රනින්වලදී ඉන්දීය කී‍්‍රඩකයා මීටර් 66 ක් දුරට හෙල්ල විසි කරා. මට පොඩි චකිතයක් ආවා. ඒත් මම ඒ බව දිනේෂ්ට නොපෙන්වා ඔහු සමග කතා කළා. ඒ වෙලාවේ තමයි මං සැබෑ දිනේෂ් කියන්නේ කවුද කියලා දැන ගත්තේ. ඉන්දීය කී‍්‍රඩකයා මීටර් 66 ක් විසි කරත් දිනේෂ්ගේ ආත්ම විශ්වාසය පොඞ්ඩක්වත් අඩු වෙලා තිබුණේ නැහැ. ඔහු ඉන් තවත් නැඟී සිටියා. එහෙම තමයි ඔහු ලෝක වාර්තාවට ගියේ.

 ඒ වගේම දිනේෂ් ලෝක වාර්තාව පිහිටුවලා රන් පදක්කම දිනුවම සමිත දුලාන්ටත් එය විශාල ශක්තියක් වුණා. දිනේෂ්ගේ ලැබුණු ආත්ම විශ්වාසය සමිතගේ ආත්ම ශක්තිය වැඩි දියුණු කරන්නට සමත් වුණා. දිනේෂ් රන් පදක්කම දිනා ගත්තට පසුව කී‍්‍රඩා ඇමැතිවරයා මට දුරකථනයෙන් ඇමතුවා. එහිදී මම ඇමැතිවරයාට ප‍්‍රකාශ කළා අනිවාර්යයෙන්ම සමිතත් පදක්කමක් දිනන බව. එය පැය කිහිපයක් යද්දී සත්‍යයක් වුණා.

 ප‍්‍රශ්නය – ඔබ යටතේ දැනට පුහුණුව ලබන කී‍්‍රඩකයින් අතරින් මේ දෙදෙනාගේ ඔබ දකින විශේෂත්වය කුමක්ද?

 පිළිතුර – ඔවුන්ගේ අධිෂ්ඨානය ප‍්‍රබලයි. ආත්ම විශ්වාසය ප‍්‍රබලයි. විශේෂයෙන් දිනේෂ් යුද්ධයෙදී වෙඩි තුනක් වැදිලා අත කපලා, කොටවෙලා. පැරාලිම්පික්

 ගිය කී‍්‍රඩකයෙක්ට ඊට හිත හදා ගැනීමට මහත් ශක්තියක් තිබිය යුතු දෙයක්? ඒ වගේම දිනේෂ් ගොඩක් ආගම දහමට ලැදියි. ටෝකියෝ පැරාලිම්පික් උළෙලට ගිය දවසේ පටන් ඔහු තම කාමරයට බුදු පිළිම වඩම්මලා බුදුන් වැඳගෙන සිය ආගම දහම සිහි කරමින් උදේ හවස ආගමික වතාවත් කළා. මට යාබද කාමරයේ ඔහු හිටියේ. පැය පුරාම කාමරයේ පිරිත් දාලා තිබුණා. එය මටත් ලොකු ආශීර්වාදයක් වුණා. අපේ කී‍්‍රඩකයින් එහිදී කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීමටත් බුදු දහමේ පිහිට හේතු වුණා කිව්වොත් නිවැරදියි. සමිත දුලාන් ද ඒ වගේම ආගම දහමට ලැදි කී‍්‍රඩකයෙක්.

 ප‍්‍රශ්නය – දිනේෂ් ලංකාවේදී වැඩිම දුරක් හෙල්ල විසි කර වාර්තාව සටහන් වුණේ මීටර් කීයක්ද?

 පිළිතුර – මීටර් 63 යි. ජාත්‍යන්තර වශයෙන් තරගයකදී කර තිබුණේ මීටර් 61.80 යි. සමිතත් ලංකාවේදී වැඩි දුරක් විසි කර තිබුණේ මීටර් 62 යි. ඇත්තටම එදා දවස අපේ දවසක් වුණා.

 ප‍්‍රශ්නය – දිනේෂ් සහ සමිත දෙදෙනාම මේ තත්ත්වයට පැමිණීමට ඔවුන්ට නිසි පුහුණුව ලබාදුන් ඔබ වෙනුවෙන් තුති ප‍්‍රණාම පිරිනමනවා. ඔබටත් එසේ තුති ප‍්‍රණාම පුදන්න පිරිසක් ඇති.

 පිළිතුර – මගේ දෙමව්පියන්, මගේ බිරිඳ සහ පවුලේ අය මෙන්ම මගේ පුහුණුකරු වූ එස්. එම්. ජී. බණ්ඩාර සහ ත්‍යාගරජා මහතා මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. ඒ වගේම ගේට්වේ ජාත්‍යන්තර පාසලේ හර්ෂ අලස් මහතාට ස්තුතිවන්න විය යුතුයි.

 සාකච්ඡා කළේ –  කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment