විදුලි අර්බුදයේ ඇත්ත

1898

ගිනි ගහන්නට අව්ව පායන රටක විදුලි බල සැපයුම කොහේදෝ රටක (හෝ රටවල්වල) තිබෙන තෙල්වලින් සපුරාගන්නට ක‍්‍රියා කිරීමේ පාපකර්මයේ වන්දිය ගෙවන්නට දැන් ඉතිං අපි සූදානම් විය යුතු වෙමු. විදුලිය හදන්නට තෙල් (ඉන්ධන) නැති නිසා සහ තෙල් ගන්නට ඩොලර් නැති නිසා විදුලිය කපා දමන්නට සිදුව ඇතැයි කියයි. මෙතෙක් කලක් විදුලිය හැදුවේ තෙල් නොහොත් පොසිල ඉන්ධනවලින් බව ඔන්න ඉතිං දැන් අපට පැහැදිලිය. ඇත්තම කතාව නම්, රටේ විදුලි ජනන හැකියාව තනිකරම තිබෙන්නේ බහුතරයක් තාප

බලාගාර මත හා සුළුතරයක් ජල විදුලි බලාගාර මත වීමය. සූර්ය බල ශක්තිය, සුළං බලාගාර, දැව බලාගාර වැනි පුනර්ජනනීය අනෙකුත් ප‍්‍රභව විදුලි ජනනයක් රටේ ඇත්තේම නැති තරම්ය.

රටේ කරුමයට හා අපේ කරුමයට ඩොලර් හිඟයට අමතරව රටට නියඟයක අඳුරු සෙවනැළි ද මේ මොහොතේ වැටෙමින් පවතී. එසේ වුවහොත් ජල විදුලි ජනන හැකියාව වේගයෙන් පහළ වැටෙන අතර, සාමාන්‍ය තත්ත්වය යටතේ ඉන්ධන බලාගාරවලින් විදුලිය සපයා ගැනීමේ අවශ්‍යතාව ඉහළ යයි. සාමාන්‍ය විදුලි සමීකරණය එයයි. ඩොලර් හිඟය ඇතිවී ආර්ථික අර්බුදය මතුවන්නට පෙර නම් මේ තත්ත්වය පෞද්ගලික තාප බලාගාර හිමිකරුවන්ට, ඒවායේ කොටස්කරුවන්ට යනාදී ඇතැම් පිරිසකට නිධානයක් පහළ වීමකි. මන්ද, තාප බලයෙන් නිපදවන විදුලිය ඒකක ගණනට රජයට විකුණන්නට හැකිවන නිසාය. සෑම වසරකම මේ නිධානය පහළ වන බැවින් මේ බලාගාර හිමියෝ නිකම්ම නිකම් ලක්ෂපතියන් නොව, කෝටිපතියන්, ප‍්‍රකෝටිපතියන් පිරිසක් බවට පත්වී සිටිති. විශේෂත්වය වන්නේ මේ බොහෝ තාප බලාගාර හිමිකරුවන් හෝ කොටස්කරුවන් වන්නේ හිටපු හෝ ඉන්නා විදුලි බල ඉංජිනේරුවන්ම වීමය. නැතහොත් මේ මිලදී ගැනීම්වලදී සෑම ඒකකයකටම බැගින් කොමිස් මුදලක් හෝ මේ පාපතරයෝ විසින් සොරාගනු ලබති. එනිසා තාප බලාගාර ක‍්‍රමවේදය තුළ විදුලි ඉංජිනේරු මාෆියාවක් ඇතැයි කියනු ලැබේ. රජයේ තාප බලාගාරවලට වුවත් ඉන්ධන සැපයෙන්නේ, ගල් අඟුරු සැපයෙන්නේ විවිධ ටෙන්ඩර්, කොන්ත‍්‍රාත් පදනම් මත වීම නිසා නූලට, මිම්මට, පාරිශුද්ධව මේ කටයුතු හා ගනුදෙනු සිදුවන්නේ දැයි අපට ප‍්‍රශ්නයක් තිබේ.

එනම්, තාප බලාගාර මගින් විදුලිය සපයාගැනීම රට පැත්තෙන් ගත් කල තනිකරම ප‍්‍රශ්න සහගත කටයුත්තක් බව බැලූ බැල්මටම පෙනේ. ඒ නැතත්, විදේශ විනිමය වැයකර පිටරටින් මෙරටට ගෙන එන ඉන්ධන හිර වූ මොහොතක රටේ විදුලි බල සැපයුමට සිදුවන නස්පැත්තිය විදුලිය කපන්නට තීන්දු ගැනීමෙන් දැන් ඉතිං අපට පැහැදිලිය. නමුත් විදුලි ඉංජිනේරුවන් විසින් (පමණක්) හදන රටේ විදුලි ජනන සැලැස්මේ 2040-2050 දක්වාම ඇත්තේ තාප බලාගාර පද්ධතියක් වීම මේ අතර අපට පුදුම දනවන්නක් නොවේද…? තවමත් ක‍්‍රියාවට නැගෙන ජනන සැලැස්ම තුළ ඇත්තේ ගල් අඟුරු

බලාගාර සහ තෙල් බලාගාර බහුතරයකි.

”ඛනිජ තෙල් සංස්ථාවෙන් විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලබා නොදෙන්නේ නම් කළ හැකි විකල්පයක් නැහැ…. විදුලිය කපන්නට සිදුවෙනවා” යයි කියන්නට තරම් විදුලි ඉංජිනේරුවෝ අද බංකොලොත් ප‍්‍රකාශ නිකුත් කිරීම ගැන ඔවුන් තමන් ගැනම ලජ්ජා විය යුතු යැයි අපි කල්පනා කරන්නෙමු. රටේ ජනන සැලැස්ම හදන අයම එහෙම කියනවා නම් ඔවුන්ට උත්තර දිය යුත්තේ කොයි ආකාරයෙන්ද යන්න අපට නොතේරේ. ඔවුන් අද කතා කරන්නේ මුඛයෙන්ද, අධෝ මුඛයෙන්ද යන්නද අපට නොතේරේ.

මන්ද, පසුගිය වසර 20 පුරා බලයට පත්වූ සියලූ රජයන් තම ප‍්‍රතිපත්ති අනුව යමින් පුනර්ජනනීය බලශක්තිය රටේ නගාසිටුවන්නට කටයුතු කළත් විදුලි ජනන සැලැස්මේ ඒකාධිකාරය දරා සිටින විදුලි ඉංජිනේරු සංගම් ඊට බාල්දි පෙරලූ නමුත් ඊට කන් දුන්නේ නැත. කොටින්ම රටේ සූර්ය බල විදුලි ජනනය අසාර්ථක වූයේම විදුලි ඉංජිනේරු සංගම් හා ජනන සැලැස්ම හදන එක්ස්පර්ට්ලාගේ තාප බලාගාර මාෆියාව නිසාමය.

වත්මන් රජයේ ප‍්‍රතිපත්තිය වූයේද 2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් 80% ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරාගැනීම සඳහාය. වත්මන් ජනාධිපතිවරයා පමණක් නොව, හිටපු ජනාධිපතිවරුන් දෙදෙනාම ගෝලීය තිරසර ඉලක්ක අනුව යමින් හරිත බලශක්තිය රට තුළ නංවන්නට පියවර ගත්තත් විදුලි මාෆියාකරුවන්ගෙන් ඊට ලැබුණේ අඩු තක්සේරුවකි. දැන් ලජ්ජා නැතිව විදුලිය කපන්නට කතා කරති. ක‍්‍රියා කරති. එනිසා මේ විදුලි අර්බුදයේ වැඩි වගකීම ජාතික විදුලි ජනන සැලැස්ම හදන තකතීරු ඉංජිනේරුවරු භාරගත යුතු බව විද්වත්හු පවසති. එපමණක් නොව ඔවුන් කලක පටන් කියන පරිදි ජාතික ජනන සැලැස්ම සඳහා රටේ විවිධ පාර්ශ්වවල විද්වතුන්ගෙන් යුත් කණ්ඩායමක් වහා පත්කිරීමට මේ මොහොතේදීවත් රජය කටයුතු කළ යුතුව ඇත.

මෙවර ඇතිවන විදුලි අර්බුදය මෑත ඉතිහාසයේ ඇති වූ දරුණුම විදුලි අර්බුදය බවට පත් වීම නොවැළැක්විය හැකි බව විද්වතුන්ගේ මතයයි. ඒ මෙවර ඇතිවී තිබෙන අර්බුදයට බලපාන හේතු ගණනාවක්ම එක විට ඇති වී තිබෙන නිසාය. පායන කාලයේ ජලවිදුලි බලාගාරවලින් විදුලිය නිපදවීමට වතුර නොමැතිවීම, ඛනිජ තෙල් හා ගල්අඟුරු මිල අධික ලෙස ඉහළ යෑම, රුපියල බාල්දු වීම නිසා ගල් අඟුරු හා ඛනිජ තෙල් මිල දී ගැනීමට වැඩි මුදල් ප‍්‍රමාණයක් අවශ්‍ය වීම, ඛනිජ තෙල් හා ගල් අඟුරු මිලදී ගැනීමට ඩොලර් නොමැති වීම, අවුරුදු පතා වැඩිවන විදුලි ඉල්ලූම සපුරාලීම සඳහා පසුගිය අවුරුදු 10 පුරාම අලූතින් පුනර්ජනනීය විදුලි බලාගාර නොසෑදීම හා ඉල්ලූම කළමනාකරණය සඳහා නිසි වැඩපිළිවෙළක් නොතිබීම බව බලශක්ති විද්වත්හු පෙන්වා දෙති.

එසේම, ඔවුන් ඉල්ලා සිටින්නේ මේ විදුලි අර්බුදය ජයගැනීමට නම් හා විදුලි සැපයුම තවදුරටත් රටට ප‍්‍රශ්නයක් නොවීමට නම්, ලබන අවුරුද්දේ හෝ මේ විදුලි හා ඩොලර් අර්බුද වැළැක්වීමට නම් දැන්වත් විදුලි බල මණ්ඩලයේ දේශද්‍රෝහී ලෙස වැඩකරන ඉංජිනේරුවන් කිහිපදෙනාගේ අත්තනෝමතික වැඩ වැළැක්විය යුතු බව හා රටේ ප‍්‍රතිපත්තියට ගැලපෙන විදුලි ජනන සැලැස්මක් සකසන අතරතුර ඉදිරි වසර කිහිපය ඇතුළත සූර්ය වහල මිලියනයක් ඉදිකිරීමේ පුළුල් වැඩපිළිවෙළක් වහාම දියත් කළ යුතු බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment