පොදු ප්‍රවාහනයේදී සළෙළුන් කොටුකරන මෙහෙයුම

609

(අගය කළ යුතු යුක්ති සහගත වැඩක්)

කාන්තාව විටක දැරියකි.තවත් විටක තරුණියකි.. අනතුරුව ඇයට හිමිවන්නේ බිරිඳගේ භූමිකාවයි. අවසන ඇය සමාජගතවනුයේ මවක වශයෙනි. ජීවිතයේ කුමන අවස්ථාවක වුවද අප රටේ කාන්තාවට එදවස තිබුණේ ගෞරවණීය ස්ථානයකි. ඇයට රනින් සැරසී දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා වුවද කිසිදු උපද්‍රවයකට හසුනොවී ගමන් කළ හැකි වාතාවරණයක් එදා තිබුණි. නමුත් අද තත්ත්වය සහමුලින්ම වෙනස්ය. ඇයට දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා පමණක් නොව බස් රථයක, කෝච්චියක පවා නිදහසේ ගමන් කිරීමට හැකි වාතාවරණයක් අද නොමැත.

කාලයක් තිස්සේම අප රටේ කාන්තාවන් පොදු ප්‍රවාහන සේවාවලදී ලිංගික හිංසනයන්ට ලක්වුණත් ඒ පිළිබඳව නිසි සොයා බැලීමක් සිදු නොවිණි. එනිසා පොදු ප්‍රවාහන සේවාවලදී සල්ලාලයන්ගේ ලිංගික හිංසනයන්ට ලක්වන අප රටේ කාන්තා පරපුරට සිදුවූයේ නිහඬවම මෙම හිංසා විඳ ගැනීමටයි. මේ පිළිබඳව අප බොහෝ අවස්ථාවලදී පෙන්වා දුන්නද ඒ සඳහා ප්‍රමාණවත් පියවර ගත් බවක් අප දුටුවේ නැත. එහෙත් මේ වනවිට මත්ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධවූවන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාත්මක කෙරෙන යුක්තිය මෙහෙයුමට සමගාමීව පොදු ප්‍රවාහන සේවාවලදී සිදුවන කාන්තා හිංසනය වැළැක්වීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මකය. මෙම ක්‍රියාව අගය කළ යුතුය. මෙවැනි කාලීන මානුෂික මෙහෙයුමක් ඇරැඹීම පිළිබඳ ආරක්ෂක රාජ්‍ය ඇමැති ටිරාන් අලස්, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු නිලධාරීන්ට මුළුමහත් සමාජයේ ගෞරවය හිමිවිය යුතුය.

මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් පිරිසක් යොදවා තිබේ. එම පිරිස මේ දිනවල බස් රථවලදී සහ දුම්රියේදී තම උකුසු ඇස යොමා සිටින්නේ කාන්තාවන්ට හිංසන සිදුකරන සළෙළුන් අත්අඩංගුවට ගැනීමටය. සෑම බස් රියකම, සෑම දුම්රිය පෙට්ටියකම මෙම පොලිස් නිලධාරීන් සිටියේ නැතත් සිද්ධියට අදාළ පවතින පණිවිඩය නිසාම මෙම සල්ලාලයන් යම් ප්‍රමාණයකට අඩපන වෙතැයි අපි විශ්වාස කරමු. මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වූ පළමු දිනයේම බස්රථවලදී සහ දුම්රියේදී කාන්තාවන් හිංසනයට ලක්කළ 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම මෙහෙයුම නොකඩවා ක්‍රියාත්මක කරන ලෙස අප අදාළ බලධාරීන්ගෙන් සහ නිලධාරීන්ගෙන් මහත් ඕනෑකමින් ඉල්ලා සිටීමට කැමැත්තෙමු.

මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ, බලධාරීන්ගේ අවධානය පිණිස තවත් කාරණාවක් මතක් කිරීමට කැමැත්තෙමි. විශේෂයෙන්ම අප රටේ දුරගමන් සේවා බස්රථවලදී කාන්තාවන් හිංසනයට ලක්වන අවස්ථා වැඩිය. බස් රථය තුළදී පැය හතරක්, පහක් හෝ හයක් එක දිගට රැඳී සිටීමට සිදුවන නිසා සල්ලාලයෝ ක්‍රියාත්මක වන අවස්ථා වැඩිය. බොරු නින්දකට වැටෙන මෙම සල්ලාලයෝ තම අසුනේ සිටිනේ අහිංසිකාවියක් නම් බලහත්කාරයෙන්ම උපක්‍රමශීලීව ඇයට හිංසා කරන අවස්ථා වැඩිය. මේ තුළ කාන්තාවන් පත්වෙන අපහසුතාව දැක දැකත් කොන්දොස්තරලා ඊට එරෙහිව කිසිදු ක්‍රියා මාර්ගයක් ගන්නේ නැත. අවම වශයෙන් වචනයකින් හෝ ඊට එරෙහි වීමක් නොපෙනේ. එනිසා පොදු ප්‍රවාහන සේවාවකදී කාන්තාවන් හිංසනයට ලක්වීම වැළැක්වීම සඳහා ගත හැකි තවත් හොඳම පියවරක් වන්නේ මේ සම්බන්ධයෙන් වගකීමක් කොන්දොස්තරලාටද පැවරීමටය. මෙම අතවර අනාවරණය කර ගැනීම සඳහා පොදු ප්‍රවාහන සේවාවලදී ස්වයංක්‍රීය කැමරා පද්ධති සවිකිරීම ද කාලෝචිත පියවරකි.

බස් රථවලදී කාන්තාවන් පමණක් නොව සියලු මගීන් හිරිහැරයට පත්වන අවස්ථාද අපි නිරීක්‍ෂණය කර ඇත්තෙමු. මෙම කරදර ඇතැම් අවස්ථාවලදී සිදුවන්නේ ගැටකපන්නන් ගෙනි. මෙම ගැටකපන්නන් සංවිධානාත්මකව ක්‍රියාත්මක වන නිසා ඔවුන් අල්ලා ගැනීම පහසු නැත. ඉහත සඳහන් කළ මෙහෙයුමෙන් එවැනි ගැටකපන්නන් පිළිබඳව විමසිලිමත්වීම අගය කළ යුතුය. පොලිසිය පවසන්නේ එවැනි ගැටකපන්නන් 24 දෙනෙකු මෙහෙයුමේ මුල් දිනයේදීම අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි. බස් රථවලදී මගින් අපහසුතාවට පත්වෙන තවත් අවස්ථාවන් වන්නේ සිඟන්නන්ගේ මුවාවෙන් හිඟාකන කුඩ්ඩන් නිසාවෙනි.

මෙම කුඩ්ඩෝ විසින් විවිධ හේතු දක්වමින් සකසා ගත් පත්‍රිකා බලෙන්ම මිනිසුන්ගේ ඔඩොක්කු වෙත මුදාහරින අතර ඇතැම් අවස්ථාවලදී යම් මුදලක් නුදුන්නොත් මගීන් අපහසුතාවයට පත්වන අයුරින් වචන පාවිච්චි කිරීම මොවුන්ගේ ස්වභාවයයි. සෑම අයුරින්ම පොදු ප්‍රවාහන සේවාවල සිදුවන හිංසා වැළැක්වීම සඳහා යුක්තිය මෙහෙයුමට සමගාමීව අදාළ බලධාරීන් සහ නිලධාරීන් බලගැන්වීමද සිදුවිය යුත්තකි. කාන්තාවන් ඇතුළු සියලු මගීන්ට පොදු ප්‍රවාහන සේවාවලදී නිදහසේ ගමන් කිරීමට ඇති අයිතිය සුරක්ෂිත කිරීම අප සැමගේ වගකීමකි.

advertistmentadvertistment
advertistmentadvertistment