ඩුබායි පනින්න ගිය අංගොඩ චිටී කටුනායකදී කොටු

142

අංගොඩ ලොක්කාගේ ළඟම ගෝලයෙක්

මිනිස් ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ පාතාල ප්‍රබලයකු බව කියන අංගොඩ චිටී නමැත්තා කටුනායක ගුවන්තොටුපළ හරහා හොර රහසේම ඩුබායි රාජ්‍යය බලා පලායෑමට සූදානම් වෙද්දී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (29දා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පාතාල ප්‍රබලයා අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයාගේ කල්ලියේ ප්‍රබලම සාමාජිකයකු බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

මීට දින කීපයකට පෙර නාවික හමුදා නිලධාරීන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය එම නිලධාරීන්ට ලබාදී ඇත්තේ අංගොඩ චිටී නමැති මෙම පාතාල නායකයා විසින් බව අනාවරණය වී ඇත.

එම මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මෙම පාතාල ප්‍රබලයා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබියදී ඔහු මෙසේ හොර රහසේම ඩුබායි රාජ්‍යයට පලායෑමට උත්සාහ කර ඇති අතර එහිදී ගුවන්තොටුපළේදී කොටුවී තිබේ.

පාතාල අපරාධකරුවන් හඳුනාගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපළේ සවිකර ඇති විශේෂ පරිගණක පද්ධතිය ඔස්සේ මෙම අපරාධකරු හඳුනාගෙන ඇති අතර පසුව ගුවන්තොටුපළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත. ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් යොදාගෙන මොහු විදෙස්ගත වීමට සූදානමින් සිටි බව පොලිසිය පවසයි.

දෙල්ගහවත්ත, අංගොඩ, මුල්ලේරියාවේ පදිංචි 47 හැවිරිදි එල්ලාවලගේ සරත් කුමාර නොහොත් අංගොඩ චිටී නමැති මෙම අපරාධකරු ඉකුත් 2011 වර්ෂයේදී වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව පොලිසිය පවසයි. ගිනිඅවි ළඟ තබා ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ගැනීම් ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් ද මොහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති බව පොලිසිය පවසයි.

අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මිය යෑමෙන් පසු අංගොඩ චිටී මුල්ලේරියාව, අංගොඩ, අතුරුගිරිය ඇතුළු ප්‍රදේශ ගණනාවක සිය පාතාල බලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම ව්‍යාප්ත කරගෙන සිටි බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

වැඩිදුර විමර්ශන සඳහා මෙම අපරාධකරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත භාරදී තිබේ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment