සිසුන් 510ක් ස්විඩන් පෝළිමේ: හිත් හොඳටම කඩාගෙන වැටිලා – ශිෂ්‍ය එකමුතුව කියයි

174

ස්විඩනයේ උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා සියලු සුදුසුකම් සපුරා ඇතත් එරටට ඇතුළුවීමට මෙතෙක් අනුමැතිය ලැබී නැති නිසා සිසුන් 510ක් පමණ දැඩි මානසික පීඩාවට සහ බලාපොරොත්තු කඩවන තත්ත්වයට පත්ව ඇතැයි ස්විඩන් උසස් අධ්‍යාපන ශිෂ්‍ය එකමුතුව ඊයේ (07දා) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

මෙම සිසුන් අතර රුපියල් ලක්‍ෂ 30 සිට ලක්‍ෂ 75 වැනි මුදල් ගෙවා සිටින පිරිස් ද සිටින බව එම එකමුතුවේ සභාපති අරවින්ද රත්නායක මහතා කොළඹ ඊයේ (07දා) පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

ස්විඩන් විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා 980ක පමණ පිරිසක් අයැදුම් කළ බවත් ඉන් 407ක ප්‍රමාණයකට වීසා ලැබී ඇතත් ඉතිරි පිරිසට වීසා ලබාදෙනවාද නැද්ද යන්නවත් එරටින් ප්‍රකාශ නොකරන බවත් රත්නායක මහතා කීය.

ස්විඩන් තානාපති කාර්යාලයක් මෙරට ස්ථාපිත නොමැති නිසා ඉන්දියාවේ දිල්ලි තානාපති කාර්යාලයේ සිට මෙහෙයුම් කටයුතු සිදුකරන බවත් ඔහු කීය. මේ වනවිට සිසුන් රැසක් දිල්ලි තානාපති කාර්යාලයට ගොස් විවිධ උත්සාහයන් කළත් එයට ද යහපත් ප්‍රතිචාර මෙතෙක් ලැබී නැතැයි ද ඔහු කීය.

ස්විඩන් විශ්වවිද්‍යාලවලින් ප්‍රථම සහ පශ්චාත් උපාධි ලබාගැනීම සඳහා සිසුන් අයැදුම් කළ විශ්වවිද්‍යාල රැසකින් සිසුන් බඳවාගැනීම නතර කර ඇති බවත් ඇතැම් විශ්වවිද්‍යාල තම ඉල්ලීම් සැලකිල්ලට ගෙන කාලය යම් දීර්ඝ කිරීමක් සිදුකර ඇතත් ස්විඩන් සංක්‍රමණිකයන් සඳහා වූ ඒජන්සිය අනුමැතිය ලබා නොදීම නිසා තමන්ට උසස් අධ්‍යාපනය ලැබීමේ වරම් අහිමි වී ඇති බවත් ඔවූහු පැවසීය. ඇතැම් සිසුන්ට ගෙවූ මුදල් ආපසු නොදෙන බවට දැනුම්දීම් පවා සිදුකර තිබෙන බවද ඔහු කීය.

චමින්ද සිල්වා, ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment