අවුරුදු තෑගිත් අරන් ජනපති ළමා නිවාසවලට

209

රජයේ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල රැඳී සිටින දරුවන් දස දහසකට ආසන්න සංඛ්‍යාවකට අලුත් අවුරුදු තෑගි ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයා විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත මේ උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව ‘ළමා නිවාසවල සිටින දරුවන්ටත් අවුරුදු’ යන තේමාව යටතේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන 336 ක සිටින දරුවන්ට ලබන 13 දා මෙලෙස අවුරුදු තෑගි පැකැට්ටුවක් හිමිවීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කාලයක් තිස්සේ නුවරඑළිය ප්‍රදේශයේ ළමා නිවාසවල දරුවන්ට අවුරුද්දට තෑගි ලබා දෙන නමුත් එම වැඩපිළිවෙළ තවදුරටත් ව්‍යාප්ත කරමින් රටේම ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින දරුවන්ට මෙලෙස අවුරුදු තෑගි ලබාදීමට උපදෙස් දී තිබේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගේ නියමය මත යුද හමුදාපති ලුතිනන් ජනරල් විකුම් ලියනගේ මහතාගේ අධීක්ෂණයෙන් පෞද්ගලික අංශයේ උපකාරයෙන් මෙම තෑගි මල්ල යුද හමුදා නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින දරුවන් වෙත ලබා දෙනු ඇත.

ළමා සංවර්ධන මධ්‍යස්ථානවල ළමුන් 8721 ක් සිටින අතර දෘශ්‍යාබාධිත හා ශ්‍රව්‍යාබාධිත දරුවන් වෙත ඉතිරි කොටස බෙදා දීමට නියමිතය. සෑම දරුවකුටම අවුරුදු සතුට ලබාදීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment