ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමට බලය හිමි මැ.කො.ටයි – ජී. එල්. පීරිස්

77

ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව ප්‍රකාශයට පත්කිරීමේ නීතිමය බලය ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයට නොව මැතිවරණ කොමිෂන් සභාවට බව නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (19 දා) පැවසීය.

ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 හා ඔක්තෝබර් 17 යන කාල පරාසය තුළ අනිවාර්යයෙන් පැවැත්විය යුතු බවත්, අභිනව ජනාධිපතිවරයා නොවැම්බර් 17 ට පෙර දිවුරුම් දියයුතු බවත් නිදහස සභා කාර්යාලයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසීය.

ජනාධිපති ධුරය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ලබා ගැනීමට නොහැකි බව තමා විශ්වාස කරන බව පැවසූ ජී. එල්. පීරිස් මහතා මෙම වසරේ ජූලි මස අවසානයේදී හෝ අගෝස්තු මස මුල ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමිෂන් සභාව අනිවාර්යයෙන් බැඳී සිටින බව ද ඒ මහතා පැවසීය. නියමිත කාලයට මැතිවරණ නොපැවැත්වුවහොත් නොවැම්බර් 18 වැනිදායින් පසු පවතින රජය නීත්‍යානුකූල නොවන ආණ්ඩුවක් බවත් පීරිස් මහතා කීය.

ජනාධිපති ධුරය අහෝසි කිරීම සරල ක්‍රියාමාර්ගයක් නොවන බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟ සෘජු ලෙස බැඳී පවතින බවත් ඒ මහතා කීය. රටේ මූලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පෙර ජනමතය පිළිබිඹු කරන පාර්ලිමේන්තුවක් සහිත ආණ්ඩුවක් තිබිය යුතු බවත් ජී. එල්. පීරිස් මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment