“සීයාට සනීප නැහැ”

610

ඊයේ පළවූ පුවත්පත් කියවීමේදී අප දුටු වැදගත් කරුණු තුනක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට මෙය අවස්ථාව කරගන්නෙමු. ඉන් පළමුවැන්න වන්නේ මෙවර නත්තල ඉතාම dull බවය. මේ රටේ මෑත කාලයේ නත්තල් උත්සව ඉතිහාසයේ යම් ප්‍රමාණයකට හෝ හොඳ නත්තලක් පැවැත්වුණේ 2019 දීය. ඉන්පසු 2020 සහ 2021 යන අවුරුදුවල තිබූ කොරෝනා තර්ජනය නිසා නත්තල, සිංහල අවුරුද්ද හෝ වෙසක් උත්සවයද සැමරීමට ජනතාවට අවකාශ ලැබුණේ නැත. 2022 නත්තල ලෝක විනාශයකින් පසු අලුතින්ම පටන් ගන්නා නත්තල් උත්සවයක් සේ බංකොලොත් ස්වභාවයකින් පැවති බව අපගේද වැටහීමය. නත්තල් සමයේදී කතෝලික පවුල්වල කුඩා දරුවන්ට නත්තල් සීයා දෙන ව්‍යාජයෙන් තෑගි දීම වැඩිහිටියන්ගේ සිරිතක් වුවද මෙවර නත්තලේදී එයද සිදුවුණේ ඉතාම අඩු ලන්සුවෙන්ය. නත්තල් සීයා මෙවර නාවේ මන්දැයි ගෙවල්වල දූ දරුවන් විමසන විට ඇතැම් දෙමාපියන් කියන්නට ඇත්තේ “සීයාට සනීප නැති බවය” ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙළින් කරගැනීමට ඉදිරි මාස 12 දී අපට බැරි වුණොත් 2023 නත්තල් උත්සවයේදී නත්තල් සීයාට දැඩි සත්කාර ඒකකයට යෑමට සිදුවන්නේය. 2023 දී එහෙම වුණොත් 2024 දී සීයාට කුමක් වනු ඇත්ද යන්න අපට හිතාගත හැකිය.

මේ අතර අපගේ අවධානය දිනාගත් ඊළඟ කතාව වන්නේ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය පිළිබඳ සිද්ධියයි. දිනේෂ් ෂාෆ්ටර් පොලිසියට හමුවන්නේ ඔහුගේ මෝටර් රථයේ රියැදුරු අසුනේ බැඳ දමා සිටියදීය. ඒ සඳහා ඇලෙනසුළු ටේප් වර්ගයක් සහ වයර් කැබලි කිහිපයක් යොදාගෙන තිබිණ. එම වයර් කැබැල්ලේ ඉතිරි කොටස් දිනේෂ් ෂාෆ්ටර්ගේ ගෙදර තිබියදී සොයා ගැනීමට පොලිසියට හැකිවිය. මේ අතර මිය යෑමට පළමුව දිනේෂ් ෂාෆ්ටර් විසින් නැන්දම්මාට යැවූ හැඟීම්බර ලිපියක් ගැනද පොලිසියේ අවධානය යොමුවී තිබේ. දිනේෂ් ෂාෆ්ටර් පසුගිය කාලයේදී කළ බිස්නස් වැඩි හරියකින් පාඩු ලබා ඇත. නුවරඑළියෙන් ඔහු මිලදී ගත් රුපියල් බිලියන තුනක් වටිනා ඉඩමක් පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය විසින් පවරාගෙන ඇත. ඒ අතර යාපනය ප්‍රදේශයේ මන්ත්‍රීවරයකු සමග ඔහු සිදුකළ ව්‍යාපාරයකින් රුපියල් කෝටි 85 ක පොල්ලක් වැටී ඇත. ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස්ට දුන් රුපියල් කෝටි 160 ක මුදලද පොල්ලක තත්ත්වයට පත්වී තිබේ. පසුගිය කාලයේදී කළ බිස්නස් වලින් ඔහුට සිදුවූ පාඩුව රුපියල් කෝටි 2000 කි. ඔහු පදිංචිව සිටි කුරුඳුවත්තේ නිවසද විකිණීමට දමා තිබිණ. ඒ අනුව දිනේෂ් ෂාෆ්ටර් තුන්වන පාර්ශ්වයක් විසින් මරා දැමුවා නොව සිය දිවි නසාගත් බවට සැකයක් ගොඩනැගී තිබේ. කෙසේ වුවද තර්කානුකූලව බලන විට ඔහු සියදිවි නසාගැනීම සඳහා තුන්වන පාර්ශ්වයක සහාය ලබාගත යුතුමය. ඉහත සඳහන් සිය දිවි නසාගැනීම් තියරිය මේ මරණය සිදුවීමට තුඩු දුන් සිදුවීම් බොහෝ ගණනක් අතුරින් එක conspiracy theory යක් පමණි.

අප ඊළඟට යොමුවන්නේ තවත් පුවතක් වෙතය. මාදම්පේ පැවති නත්තල් දේව මෙහෙයකින් පසු බැතිමතුන් විසින් පල්ලියට දෙන ලද පුද පඬුරු පරීක්ෂා කිරීමේදී පතරොම් දෙකක් සහිත කුඩා පෙට්ටියක් හමුවිය. එම පෙට්ටිය වූකලී රත්තරන් බඩු කිරණ තරාදි පෙට්ටියකි. වෙඩි උණ්ඩ දෙකට අමතරව රත්තරන් බඩු කිරණ තරාදි පඩි කිහිපයක්ද පෙට්ටිය තුළ විය. මේ තරාදි පෙට්ටිය පිළිබඳ අර්ථකථන කිහිපයක් තිබේ. ඉන් පළමුවැන්න වන්නේ මීට වසර කිහිපයකට පෙර පාස්කු දවසේදී ඉස්ලාම් අන්තවාදීන් පිරිසක් විසින් මේ රටේ තැන් කිහිපයකදී කරන ලද බෝම්බ පිපිරවීම් පිළිබඳව යළි මතක් කරදීමය. දෙවැන්න මානසික රෝගියකු විසින් එය කළ බවය. හොඳ සිහියකින් සිටින්නකු මෙය කළා නම් තරාදි පඩි ටික ද පඬුරු වශයෙන් පූජා කරන්නේ නැත. එසේම මේ තරාදි පෙට්ටිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා යොදාගත හැකි හොඳම සාක්ෂියකි. එවැනි තරාදි පෙට්ටියක් පාවිච්චි කරන්නේ රත්තරන් බඩු කඩයකය. තරාදි පෙට්ටියෙහි ඇති මුද්‍රිත අකුරු සහ සංඛේත වලින් එහි ගමන් මාර්ගය සොයා ගැනීමට හැකිවේ. කෙසේ වුවද ජාතිවාදය සහ අන්තවාදය පිළිබඳ ප්‍රශ්න යම් ප්‍රමාණයකට නිරාකරණය වී මතකයෙන් ගිලිහෙමින් පවත්නා මේ මොහොතේදී එය යළි මතක් කරදීම හිඟන වැඩකි.

නත්තල බංකොලොත් වීම, දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සිය දිවි නසාගැනීමක් දක්වා වූ තැනකට ගමන් කිරීම සහ පල්ලියට පතරොම් දන්දීම යන කාරණා තුනම අපට කියන්නේ රට තුළ තිබෙන සමාජ ගොහොරුවේ ස්වභාවයයි. ෂාෆ්ටර් යනු සාමාන්‍ය මිනිසෙකි. එහෙත් ඔහු ධනවතකු වීම නිසා ඔහුගේ මරණයට වෙළෙඳ වටිනාකමක් ලැබී තිබේ. මේ කාලයේ ජීවත්වන මිනිස්සුන්ට තලු මරමින් රස විඳිය හැකි ප්‍රවෘත්ති හමුවන්නේ නැත. වෙඩි තබා මිනී මැරීම්, ස්ත්‍රී දූෂණ, සොරකම් යනාදියට මේ රටේ ජනයා පුරුදුවී ඇත. මෙබඳු ප්‍රචණ්ඩ දේවල් වලට පුරුදුවීම පටන් ගන්නේ 1971 අප්‍රේල් කැරලි සංහාරයෙන් සහ වර්ගවාදී යුද්ධයෙන් පසුවය. කැරලි සහ යුද්ධ යන සියල්ල අවසන් වී රට තුළ සාමය පැවතුනද මිනිසුන්ගේ මනස තවමත් පවතින්නේ ප්‍රචණ්ඩ පුවත් වලට ආසක්ත වූ රළු තැනකය. එවැනි කාලයකදී දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය කරන ලද අමුතුම විලාශය මිනිසුන් තුළ සාපරාධී ප්‍රබෝධයක් ඇතිකොට තිබේ. සාපරාධී ප්‍රබෝධය යනු එක්තරා මානසික අවස්ථාවකි. සාපරාධී ප්‍රබෝධයෙන් පෙළෙන එකා නිතරම කැමති වන්නේ සාමය ගැන නොව යුද්ධය ගැන දැනගැනීමටය. එසේම ජීවිතයට වඩා මරණය ගැන ඇසීමටත්, දන් දීම වෙනුවට හොරකම් කිරීම ගැන ඇසීමටත්, කසාද බඳිනවා වෙනුවට දූෂණය කිරීම ගැන ඇසීමටත් සාපරාධී ප්‍රබෝධයෙන් උත්තේජනය ලබන එකා ප්‍රියය. මෙය කුඩු ගැසුවා හා සමාන තත්ත්වයකි. කුඩුවලට පුරුදු වූ එකා හොයන්නේම කුඩුය. සාපරාධයට ඇලුණු එකා හොයන්නේම කුණුය.

advertistmentadvertistment
advertistmentadvertistment