අධිපතියාගේ මරණ මංචකය!

මං පාරෙ බෝක්කු කට උඩ වාඩි වෙලා හිටියා. උදේ ඉඳලාම හිටියේ බෝක්කු කටේ. ගෙදර යන්න විධියක් නෑ. ගෙදර අඬදබරයක්. පොඩි එකා ඉස්කෝලෙ යවන්න විධියක් නෑ වෑන් ෆීස් ගෙවන්නෙ නැතුව. “කොහෙන්හරි සල්ලි ටිකක් හොයාගෙන එනවා!” බිරිඳගේ නියෝගය ආවාම මං ආවේ බෝක්කුව උඩට. බෝක්කු උඩ තමයි හැමදාම හිටියේ. විභාග පාස් වුණාට වැටුණෙ බෝක්කු කටට. බෝක්කු කටක් බිරිඳටත් තියෙන්නෙ. ඉතිං බොක්කු කටේ වාඩි වෙලා අහස දිහා බලාගෙන හිටියා මං. ඒත් මෙන්න එකපාරටම සද්දයක් ආවා පොළොවෙන්. මං බැලුවා වටපිට. භූමිකම්පාවක්ද? නෑ, බී.එම්.ඩබ්ලිව්. කාරෙකක් මගේ ඉස්සරහා නවත්තගෙන. කවුද මේ? බී.එම්.ඩබ්ලිව්. යාළුවො නෑ මට. එහෙනම් කවුද නැවැත්තුවේ? කාරෙකේ වීදුරු කළු කරලා හින්දා දැනගන්න විධියක් නෑ. ඒත් ටික වෙලාවකින් වීදුරුව ඇරුණා.

“මේ මල්ලි, මේ හරියෙ ටයර් කඩයක් නැද්ද?” වීදුරුවෙන් ඔළුව දාපු එක්කෙනා ඇහුවා. “ඉස්සර තිබුණා. තෙල් ප්‍රශ්නෙත් එක්ක වැහුණා” මං කිව්වා. “ඊළඟට ටයර් කඩයක් තියෙන්නෙ කොහෙද?” ඒ ගමන ඇහුවා ලොක්කා. “ළඟපාත පෙට්‍රල් ෂෙඩ් තියෙනවා. ටයර් කඩ නෑ!” “ෂහ්! මොකද කරන්නෙ!” ලොක්කා කල්පනා කරනවා පෙනුණා මට. ඔව්, කාරෙකේ ටයර් එක ගිහින්. උදව් කරන්න විධියක් නැද්ද මේ වෙලාවේ? මං ළං වුණා ටිකක් ලොකු මහත්තයා ළඟට. පොයින්ට් එක තියපු ටයි දාපු මහත්තයෙක් ඒ. කෙස් කළු කරලා හින්දා වයස පේන්නෙ නෑ. දැකලාත් පුරුදුයි හුඟක් දුරට. ඒත් නිච්චි නෑ කවුද කියල. “මහත්තයලා මේ කොහෙ ගිහින් එන ගමන්ද?” මං ඇහුවා එතුමාගෙන්. “මං මේ ගමේ ගිහින් එන ගමන්. මාතර.” “ගම මාතරද?” “ඔව්, අවුරුද්දට කලින් ගෙදර බලලා එන්න හිතුණා.” “කොයි හරියෙදිද පැච් එක ගියේ?” “මාතර කැම්පස් එක ගාවදි.” මං කාරෙක දිහා බැලුවා. කිරි කිරි ටොයියෙක් ඒක. ඒත් හප්පා! මෙච්චර සුපිරි වාහන තියෙනවාද ලංකාවේ මිනිස්සුන්ට! ඒත් වීදුරුවේ ඉරක්! අපරාදෙ! ලොකු ඩැමේජ් එකක්. මේං! දොරත් ඇතුළට ඇඹිලා නේද? “මොකද මේ වෙලා තියෙන්නෙ?” මං ඇහුවා විමතියෙන්. “පොඩි කරදරයක් වුණා!” උත්තර දුන්නෙ ඩ්‍රැයිවර්. “ඒ කිව්වෙ? කවුරුහරි ගැහුවාද වාහනේට?” නිකමට ඇහුණා මගෙන්. “ඔව්, දන්නවානෙ මේ දවස්වල…. මහ බැංකුවේ නිලධාරියො එක්ක මිනිස්සු හොඳ නෑනෙ!”

මහ බැංකුවේ නිලධාරියො! ඒ කතාව ඇහුණාම මං බැලුවා ටිකක් උවමනාවෙන් ලොක්කා දිහා. දෙයියෝ සාක්කි! මේ නන්දලාල් වීරසිංහ මහත්තයානෙ. මං ටක් ගාලා සරම පාත් කළා. ඒත් එක්කම ආවා කේන්තියක් නොදැනුවත්වම. මුන් නේද ලක්ෂ ගණන්…..! මං ටක් ගාලා සරම ඉස්සුවා. මුන්ට සරම උස්සන්න නෙවෙයි ඕන ගලවන්න! මට හිතුණා. “දැන් අපට ඕන ටයර් එක දාගෙන ඉක්මනින් මෙතනින් යන්න!” ඩ්‍රැයිවර්කාරයා කථා කරනවා. අඩෝ! මූ පියන්ද එහෙම කියන්න? පියන් වෙන්නත් ඇති. ලොක්කාට ගොට්ට අල්ලපු හින්ද වෙන්න ඕන මුන්ට එච්චර ගෙවන්න වැඩේ කරේ. ඒකනෙ මේ කහින්නෙ. මටත් ගල් පාරක් දෙන්න හිතුණා තොලොංචි වෙලා යන්න කාරෙකයි මුන් දෙන්නායි ඔක්කොම. ඒත් එක්කම හිතුණා මුන් එක්ක ෂේප් වුණොත් බැරිද මටත් කියල පියන්කමක් ගන්න මහ බැංකුවේ.

“ස්පෙයාර් වීල් එකක් තියෙනවා නම් මං වැඩේ කරලා දෙන්නම්!” මං මගේ තීරණය දැනුම් දුන්නා. මට පියන් හීනෙ පෙනුණු හින්දා බැංකුවේ එහෙම කියවුණේ.

“ෂහ්! ඒක නම් හොඳයි!” බැංකුවේ ලොක්කා කිව්වා හිනාවෙවී. මෙයා හිනා වෙනවා මං දැකලාම නෑ. ඒක හරි. කපුටලා, කබ්බලා, පීබීලා, ඇලෝසියස්ලා බැංකුවට කරපු අපරාධවලට හිනාවෙන්න පුළුවන් කාටද? ඒත් පුළුවන්ද මෙයා මට විශ්වාස කරන්න? උඩු හිත කියන්නෙ විශ්වාස කරපන් කියල. ඒත් යටි හිත කියන්නෙ හොරෙක් කියල. හොරාගෙත් හොරෙක් වෙන්න පුළුවන් මේකා! ඔව්, බැරි වෙලාවත් මූත් කම්බ හොරෙක් වුණොත්? “ඒත් පොරොන්දු වුණා නම් වැඩේ කරපන්!” උඩු හිත කියනවා ඇහුණු හින්දා මං වැඩේට බැස්සා.

ඩ්‍රැයිවර් තැන එළියට ගත්තෙ උණු උණුවේ ස්පෙයාර් වීල් එකක්. “මේකත් ලක්ෂ ගාණක බඩුවක්!” ඩ්‍රැයිවර් කියනවා. ඕයි, මං දන්නවා. මං පුදුම වෙන්නෙ කෝටි ගාණක ස්පෙයාර් වීල් එකක් නාව එකට දැන්. මං එහෙම හිතුවාට එහෙම කිව්වෙ නෑ. හිතන ඔක්කොම කියන්න හොඳ නෑනෙ. මං ජැක් එක ගහලා ඇක්සල් එක උස්සලා රෝදෙ යටට ගියා. අධිපතිතුමා බලන් හිටියා මං දිහා කම්මුල් පාරක් කාලා වගේ කාගෙන්හරි. මේකා ජැක් එක ගලවයිද මාව චප්ප වෙලා යන්න මං? මට එහෙම හිතුණෙ නෑ. මං නැතුව වීල් එක මාරු කරන්න බෑ. ඒත් කොහොමත් මං චප්ප වෙලා නේද ඉන්නෙ කියල ඒ එක්කම හිතුණා මට. බැරිද මුන් දෙන්නාවම මඟදිම තොලොංචි වෙන්න භාගෙට හයි කරන්න රෝදෙ මට? චිහ්! මොනවාද අයිසෙ මේ දොඩවන්නෙ! කපුටලා කම්බස් කරපු රට මේ උත්තමයා නේද ගොඩදාලා දුන්නෞ මං බිම බුදියගෙන මජන් නාගෙන රෝදෙ හයි කරගෙන ගියා.

“තමුන්නාන්සෙගෙ ගමද මේ?” ඒ ඇහුණෙ අධිපතිතුමාගෙ හඬ.

“ඔව්, මේ අපේ ගම. ඒත් හිටියෙ කොළඹ!”

“කොළඹ මොනවාද කළේ?”

“පත්තරකාරයෙක්.”

“ඉතිං?”

“මුලින් ගෝටා ගෝ රස්සාවෙන් අයින් කළා. පස්සෙ කපුටො කෙටුවා ඔළුවට. ඊට පස්සෙ ගෙදර ආවා.”

“දැන් කොහොමද?” අධිපතිතුමා අහනවා ගින්නක් නැතුව.

“දැන් හොඳයි. ඒත් ගෙදර යන්න බෑ!” ස්ප්ලැන්ඩරෙන් රෝදෙ ඇණ ගලවන ගමන් කිව්වා මං.

“ඒ කිව්වෙ?”

“ළමයාව ඉස්කෝලෙ යවන්න වෑන් ෆීස් ගෙවන්න විධියක් නෑ!”

අධිපතිතුමාට කාරණේ තේරුණා වගේ.

“නෝනා රස්සාවක් කරනවාද?” ආයෙ අධිපති කථා කරනවා.

“එයා සංවර්ධන නිලධාරිනියක්.”

“කීයක් විතරද පඩිය?”

“රුපියල් හතළිස් දාහක් විතර.”

“එක උපාධියයිද තියෙන්නෙ?” උපාධි ගාණත් ඕනද තමුන්නාන්සෙට?

“එම්.ඒ. එක කළා. එම්.ෆිල්. එකත් කළා. දැන් පී.එච්.ඩී. එක කරනවා.”

“උපාධි තුනටම පඩිය හතළිස් දාහයි?” පුදුමයෙන්ද අහන්නෙ ඕක?

“නෑ, විසිදාහයි. ගේ හදන්න ගත්තු නිවාස ණයට තව විසිදාහක් කැපෙනවා.”

ඉන් පස්සෙ හඬක් ඇහුණෙ නෑ සෑහෙන වෙලාවක් අධිපතිතුමාගෙන්. ඒත් අන්තිමේ ඇහුණා මේ හඬ:

“තව වෙලා යයිද?”

නෑ, තව වෙලා යන්නෙ නෑ. රෝදෙ තියන්න පුළුවන් වීල් එක උඩ නිකන්. ඒත් ඇණ තද කරන්න වෙන්නෙ නෑ එතකොට. මට හිතුණා එහෙම කියන්න. ඒත් එහෙම කිව්වෙ නෑ. එච්චර නරුමයො නෙවෙයි මහත්තයා අපි, එදා වේල කන්න බැරි වුණාට!

“බැංකුවේ කාර්යාල කාර්ය සහායකට ඉල්ලුම් කරන්න මොනවා හරි විශේෂ සුදුසුකමක් ඕනද සර්!” මං ඇහුවේ අන්තිම ඇණේ තද කරන ගමන් එතුමාගෙන්.

“විශේෂ කියල නෑ. ඕලෙවල් විතරයි.” තවමත් ගින්නක් නැද්ද මෙතුමාට? ඒත් රෝදෙ වැඩේ අහවර කරලා එළියට ආවාම අධිපතිතුමා මෙහෙම ඇහුවා මගෙන්:

“මොකද එහෙම ඇහුවේ?”

කඩඉම් ප්‍රශ්නයක්ද? කමක් නෑ. මං බය නෑ කඩඉම් ප්‍රශ්නවලට. වෙන්න පුළුවන් දෙකයි. එක්කො ගොඩ යනවා. නැත්නම් පරදිනවා.

“මං බැලුවේ ඉල්ලුම් පත්‍රයක් දාන්න පුළුවන්ද කියල.”

ආයෙ නිහැඬියාවක්. නිහැඬියාව අතරේ ඇහුණා මට උල ලේනෙක් කෑ ගහනවා. පස්සෙ එතුමා කථා කරන හඬ ඇහුණා:

“දැන් නම් අපි කිසිම බඳවා ගැනීමක් කරන්නෙ නෑ. දැක්කානෙ පඩි වැඩි කරලා වෙච්ච දේ.”

එහෙම කියන ගමන් එතුමා වාහනේට නැග්ගා. මං කිව්වා නේද තමුසෙට? මේකා විශ්වාස කරන්න බැරි එකෙක්. වැඩේට එන්ටර් වෙද්දි ඉන්න එකා නෙවෙයි වැඩේ ඉවර වෙද්දි ඉන්නෙ. යටි හිත කෑගැහුවා උඩු හිතට. උන්හිටිතැන් අමතක වුණා මගෙ. මගෙ අතේ තිබුණෙ ස්ප්ලැන්ඩරේ. මං ඒක අතට අරන් ගියා ඉස්සරහා දොරේ වීදුරුව ගාවට.

“මට එකක් අහන්න ඕන තමුන්නාන්සේගෙන්?”

“ඔව්, අහන්න. හැබැයි ඉක්මනින්. අපට පරක්කුයි.” වීදුරුව වහන්න ලෑස්ති වෙමින් හඬගෑවා ඔහු.

“මහබැංකුව තියෙන්නෙ ඇමෙරිකාවේද? ඒකෙ වැඩ කරන එවුන් පැය විසිහතරෙම වැඩ කරනවාද?”

ඒත් උත්තරේ ආවේ නෑ එතුමාගේ. වාහනේ විතරක් විදුලි වේගෙන් ඇදිලා ගියා ඉස්සරහාට. මං ලොක්කාට අමතක වෙච්ච ස්ප්ලැන්ඩරේ අතේ තියන් ආපහු ගියා බෝක්කුවට.

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment