දැඩි කුණාටුවකින් යුරෝපයේ 13 ක් මරුට

404

යුරෝපයේ රටවල් ගණනාවක් පුරා පෙරේදා (18දා) රාත්‍රියේ විදුලියක් මෙන් පැතිර ගොස් ඇති දුර්ලභ ඝනයේ ප්‍රබල දැවැන්ත ගිගුරුම් සහිත කුණාටු මාලාවක් හේතුවෙන් කුඩා ළමුන් 03 දෙනකු ඇතුළු පුද්ගලයන් 13 දෙනකු මියගොස් තවත් පුද්ගලයන් ගණනාවක් ගොඩබිමදී හා මුහුදේදී තුවාල ලබා ඇත.

මධ්‍යම හා දකුණු දිග යුරෝපයේ රටවල් හරහා හමා ගොස් ඇති මෙම දරුණු කුණාටු මාලාව මාස

ගණනාවක් පැවති නියං තත්ත්වයෙන් පසු අදාළ රටවලට පෙරේදා ඇද හැලී ඇති ධාරාණිපාත වර්ෂාව හා දැඩි සුළං සමග හටගෙන ඇති අතර මෙම කුණාටු මාලාවට ගොදුරු වී බොහෝ දෙනකු මියගොස් ඇත්තේ කඩා වැටුණු ගස්වලට යටවීමෙන් බව අනාවරණය වී තිබේ. මෙම ගිගුරුම් සහිත කුණාටු හේතුවෙන් වැඩිම හානියක් සිදුව ඇත්තේ ඉතාලිය, ඔස්ටි්‍රයාව හා ප්‍රංශ දූපතක් වන කොර්සිකා දූපතටය. මාස දෙකක පමණ කාලයක් මුළුල්ලේ යුරෝපා රටවලට බලපා ඇති නියඟය තරමක් දුරට මඟහරවමින් අදාළ රටවල් කිහිපයට ඇද හැලී ඇති ධාරාණිපාත වර්ෂාවත් සමගම අනපේක්ෂිත ලෙස මෙම දරුණු කුණාටු හටගෙන ඇති අතර ඒවා සම්බන්ධයෙන් කිසිදු පූර්ව අනාවැකියක් හෝ අනතුරු ඇඟවීමක් කාලගුණ විද්‍යාඥයන් විසින් සිදු කර නොතිබූ බව හෙළි වී තිබේ.

ඇතැම් ප්‍රදේශවලට කුණාටුවත් සමගම හමා ගොස් ඇති දැඩි සුළං හේතුවෙන් මහජනතාවගේ කුඩ පවා ගසා ගෙන ගොස් ඇති බව වාර්තා වී තිබේ. ප්‍රංශයේ ඇතැම් නගර හා මංමාවත් වර්ෂාව සමග ජලයෙන් යට වී ගොස් තිබූ අතර එම නගරවල විදුලියද ඇනහිට ඇති බව බලධාරීහු පවසති. මේ අතර තවමත් යුරෝපා රටවල් වැඩි සංඛ්‍යාවක් දේශගුණික විපර්යාසයන් හේතුවෙන් හටගෙන ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වයෙන් හා නියඟයෙන් පීඩාවට පත්ව සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment