ෆොන්සේකා නෙරපීම වළක්වන වාරණයට එරෙහි සජිත්ගේ පෙත්සම ලබන 6දා කැඳවයි

79

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගය පක්‍ෂයේ සභාපති ධුරය ඇතුළු ඔහු දැරූ ධුරවලින් ඉවත් කිරීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කර ඇති වාරණ නියෝගය අභියෝගයට ලක්කරමින් සමගි ජන බලවේගය පක්‍ෂයේ නායක සජිත් ප්‍රේමදාස සහ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් විසින් ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම ලබන මස 6 වැනිදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය ඊයේ (06දා) නියෝග කළේය.

සරත් ෆොන්සේකා මහතා වගඋත්තරකරු කරමින් ගොනුකර තිබූ එම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා ඉදිරියේ කැඳවිණි. තමන් සමගි ජන බලවේගය පක්‍ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමේ සූදානමක් ඇති බව පෙන්වා දෙමින් සරත් ෆොන්සේකා මහතා ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා, එම පෙත්සම විභාගයට ගෙන අවසන් තීන්දුවක් ලබාදෙනතුරු බලපැවැත්වෙන පරිදි, ඔහු එම තනතුරුවලින් ඉවත් කිරීම වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කොට තිබිණි. එම වාරණ නියෝගය ඉවත් කරන ලෙසට සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා කර තිබූ ඉල්ලීමක්, කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරයා විසින් ප්‍රතික්‍ෂේප කොට තිබූ අතර දිසා අධිකරණයේ එම නියෝග බලරහිත කරන ලෙසට ද පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින බැවින් එම පෙත්සම කැඳවීමට වෙනත් දිනයක් නියම කරන ලෙස කනිෂ්ඨ නීතිඥ ජෙසිකා හිමාලි අබේරත්න මහත්මිය ඊයේ අධිකරණයෙන් ඉල්ලීමක් කළාය.

සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment