රුසියාවෙන් ඇසෙන ලංකාවේ විලාපය

1322

රුසියාව සහ යුක්රේනය අතර හටගෙන තිබෙන දිගුකාලීන යුද්ධයට සම්බන්ධවීම සඳහා ඒජන්සිකාරයන් විසින් රවටා මෙරටින් ගෙනයනු ලැබූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පිළිබඳව කතන්දරය ක්‍රමයෙන් ජාතික මට්ටමේ ඛේදවාචකයක් බවට පත්වෙමින් තිබේ. යුක්රේනයට එරෙහිව පළමු වෙඩිල්ල පත්තු කරන්නේ රුසියාව විසිනි. එයට මුඛ්‍ය හේතුව වන්නේ යුක්රේනය නේටෝ සංවිධානයට බැඳීමට ගත් ක්‍රමෝපායික තීරණයයි. රුසියාව බලා සිටියේ කවර හෝ වෙලාවක යුක්රේනය තම රටට ඈඳා ගැනීමටය. රුසියාව, සෝවියට් දේශය නමැති විශාල රාජ්‍ය බවට පත්ව තිබියදී යුක්රේනය එම රාජ්‍යයේ ප්‍රාන්ත රාජ්‍යයක් ලෙස කටයුතු කළේය. පසු කාලයේදී සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව කඩාවැටුණු අතර යුක්රේනය වෙනම රටක් බවට පත්විය. යුක්රේනය වූකලී සෝවියට් දේශය තුළ තිබූ වඩාත් සාරවත් ප්‍රාන්ත රාජ්‍යයයි. මුළුමහත් සෝවියට් සමූහාණ්ඩුවටම අයත් යුද අවි සහ යුද ගුවන් යානා නිෂ්පාදනය කරන ලද්දේ යුක්රේනයේය. එසේම මුළුමහත් යුරෝපයටම අවශ්‍ය ඉරිඟු සහ ගෑස්වලින් විශාල කොටසක් යුක්රේනයේ නිපදවන ලදී. මේ නිසා යුක්රේනය රුසියාවට ඈඳා ගැනීමෙන් හටගන්නා ආර්ථික වාසි ගැන ජනාධිපති පුටිං කල්පනා කරන්නට ඇති. ඉන්පසු යුක්රේනයට අයත් ක්‍රිමියාව සහ තවත් ප්‍රදේශයක් රුසියන් යුද හමුදාව විසින් අල්ලාගනු ලැබීය. මෙහිදී කළ යුතු හොඳම දේ බලවත් යුදමය ආරක්‍ෂාවක් ලබාගැනීම බව කල්පනා කළ යුක්රේනය නේටෝ සංවිධානයට බැඳීමට තීන්දු කළේය. අප කවුරුත් දන්නා පරිදි නේටෝ සංවිධානය යනු යුරෝපයේ තිබෙන එකම සහ විශාලතම යුද හමුදා සහයෝගිතා ගිවිසුමය. නේටෝ සංවිධානයට අයත් රටකට කිසිවකු විසින් පහර දෙන ලද්දේ ද එම සංවිධානය එම තත්ත්වයට මැදිවී ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට පටන්ගනී. ඒ නිසා නේටෝ සංවිධානයට සම්බන්ධවීමේ යුක්රේන් තීරණය ක්‍රියාත්මක වීමට කලින් ඒ රට ආක්‍රමණය කළ යුතු බව පුටිංගේ මතය විය. මෙය සංග්‍රාමික මතයකි. රුසියන් – යුක්රේන් යුද්ධය ඉවරවෙන තුරු නේටෝ සංවිධානය යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ලබා දෙන්නේ නැත. ඒ නිසා පුටිං කවදාවත් මේ යුද්ධය නවත්වන්නේ ද නැත. යුක්රේන් ඛේදවාචකය ලංකාවේ ද ඛේදවාචකය බවට පත් කරන්නේ එම යුද්ධයට කුලී හේවායන් සපයන ඒජන්සිකාරයන් විසිනි. මේ ඒජන්සිකාරයන්ගෙන් ප්‍රමුඛතම දෙදෙනා දැනට විදේශගත වී සිටින අතර ඔවුන්ගේ දුරකථන විසන්ධි කරගෙන තබාගෙන සිටි එය සන්ධි කරන්නේ තමාට ඇමතුමක් ලබාගන්නා අවස්ථාවකදී පමණි. අනෙක් ඒජන්සිකාරයා සිය දුරකථනය වොයිස් මේල් පහසුකමට අනුයුක්ත කර ඇත.

ලංකාවේ ඒජන්සිකාරයන් යුක්රේනයට සහ රුසියාවට ලංකාවේ යුද සෙබළුන් යවන්නේ ගිවිසුමක් අත්සන් කරගෙනය. මේ අය හොර ඒජන්සිකාරයන් වන බැවින් එම ගිවිසුම්වල කිසිදු වටිනාකමක් නැත. රුසියාවට ගෙන යන ශ්‍රී ලාංකික කුලී හේවායන්ට රුපියල් ලක්‍ෂ හතක් හෝ අටක් බැගින් මාසික වැටුපක් ගෙවන බව ඒජන්සිකරුවන් කීවද එවැනි මුදලක් ලැබෙන්නේ නැත. ඒජන්සිකාරයෝ රුපියල් ලක්‍ෂ හතේ පඩිය විවිධ හේතු දක්වමින් රුපියල් ලක්‍ෂ හතරට අඩු කරති. ඉතිරි වැටුප ගෙවන්නේ රූබල්වලිනි. එහෙත් රුසියාවට එරෙහිව ඇති ජාත්‍යන්තර සම්බාධක නිසා මේ රූබල්, ඇමරිකන් ඩොලර් බවට පත් කළ නොහැක. ඒ නිසා සිදුව ඇත්තේ එම මුදල් රුසියාවේ තිබෙන ඉන්දියානු හෝ චීන බැංකුවල තැම්පත් කර ලංකාවේ තිබෙන එම බැංකුවල ශාඛා මගින් රුපියල්වලින් මුදල් ලබාගැනීමය. එහෙත් එසේ කිරීමට ද හැකි වන්නේ නැත. එයට හේතුව වැටුප් මුදල් බැංකුවේ තැම්පත් කිරීම සඳහා කඳවුරෙන් පිටතට යෑමට රුසියන් හමුදාව කුලී හේවායන්ට ඉඩ නොදීමයි. මේ හේතුවෙන් මේ එම කුලී හේවායන්ගේ ශ්‍රී ලාංකික පවුල්වලට කිසිදු ආදායමක් ලැබෙන්නේ නැත. මේ කියන ශ්‍රී ලාංකික කුලී හේවායන් සම්බන්ධයෙන් ලක් රජයට ද කිසිවක් කළ නොහැක. එයට හේතුව එම කුලී හේවායන් ලංකාව හා රුසියාව හෝ ලංකාව සහ යුක්රේනය අතර රාජ්‍ය මට්ටමෙන් අත්සන් කෙරුණු ගිවිසුම්වලට යටත් නැති, ඒජන්සිකාරයන්ගේ හොර ගිවිසුම් සහ බැඳුණු අයවීමය. යුක්රේනයට සහ රුසියාවට ගිය ලාංකික කුලී හේවායන් මේ වනවිට ලංකාවේ සිටින තම බිරියන් හෝ දූදරුවන් සමග දුරකථන මාර්ගයෙන් තොරතුරු හුවමාරු කරගන්නේ නැත. එයට හේතුව ඔවුන් සිටින හමුදා කඳවුරුවල දුරකථන සංඥා බ්‍රෑන්ඩ් කර තිබීමය. ඒ නිසා මේ පිරිස අර්ධ වශයෙන් මළ මිනිස්සු හැටියට සැලකීමට සිදුවී තිබේ. මේ තත්ත්වය ගැන ඉදිරියේදී අපි තවදුරටත් කතා කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment