මත්තල ඉඩම් කොල්ලයක්ලු; පොලිසිය නිදිලු; නීතියක් නැතිලු!

661

ඉහතින් පළවන ශීර්ෂ පාඨය දෙස බැලීමේදී පාඨකයා මුලින්ම අවධානය යොමුකරන්නේ “පොලිසිය නිදිලු” යන කොටස කෙරෙහිය. එයට හේතුව පොලිසිය සමග දීර්ඝකාලීන විරසකයක් මේ රටේ සිවිල් ජනයා තුළ තිබීමය. එහෙත් මත්තල ඉඩම් කොල්ලය සම්බන්ධයෙන් ඒ පළාතේ පොලිසිය අසරණ බව සඳහන් කරමින් මේ කතු වැකිය ආරම්භ කරනු ලැබේ. ඉඩම් කොල්ලකන්නේ සයිමන් අයියා හෝ මාටින්සිංඥෝ හෝ විලියම් අප්පුහාමි වැනි සාමාන්‍ය සිවිල් ප්‍රජාව නොව ධන බලය, මැර බලය, දේශපාලන බලය පමණක් නොව මන්තර බලය ද හිමි පිරිස්ය. සාමාන්‍යයෙන් මෙවැනි ඉඩම් කොල්ලයන් බහුලව සිදුකරන්නේ දේශපාලනඥයන් විසිනි. එසේ කොල්ලකන ඉඩම් දේශපාලනඥයා විසින් ස්වකීය සන්තකයෙහි තබා ගැනීමක් සිදුකරනු ලබන්නේ නැත. ඔහු බොහෝවිට එම ඉඩම් ධනවතුන්ට විකුණයි. නොඑසේ නම් ඡන්දයේදී තමන්ට මුදල් වියදම් කරන අය අතර බෙදයි. ඒ අතර ජනතා මෙහෙවරක් කළ බව පෙන්වීම පිණිස කොල්ලකෑ ඉඩම් ප්‍රමාණයෙන් 1%ක් පමණ ස්වකීය පාක්ෂිකයන් අතරද බෙදයි. මේ බෙදිල්ල සමාන වන්නේ සිංහයා සහ නරියා එකතුවී කරන ලද දඩයම පිළිබඳ පැරණි කතන්දරයටය. දිනක් සිංහයෙක් සහ නරියෙක් එකට එක්වී දඩයම් කරමුයි ගිවිසුමකට එළඹුණහ. මේ ගිවිසුමට අනුව නරියා විසින් දඩයම පිළිබඳ ඔත්තුව සිංහයාට ගෙනෙනු ලැබේ. ඉන්පසු සිංහයා අදාළ ගොදුර වෙත ගොස් එම සතා මරා දමයි. අවසානයේදී නරියාගේ කොටස නරියාටත් සිංහයාගේ කොටස සිංහයාටත් ලැබේ. මේ අනුව නරියාගේ පළමු ඔත්තුවට අනුව මුවකු දඩයම් කිරීමට සිංහයාට හැකිවිය. ඉන්පසු පාර්ශ්ව දෙක අතර ගොදුර බෙදන ලද්දේ මෙසේය. කැලේ රජා වශයෙන් ගොදුරෙන් 50%ක් සිංහයාට අයත්ය. ඊළඟට ගොදුර තිබෙන තැනට යාම සඳහා ගමන් ගාස්තු වශයෙන් ඉතිරි 50%න් භාගයක්ද සිංහයාට අයත්ය. ඊළඟට දඩයම් කිරීමේ ගාස්තුව වශයෙන් ඉතිරි මස් කොටසද සිංහයාට අයත්ය. මේ අනුව බලන විට නරියාට කිසිවක් ඉතිරි වී නැත. මෙයට විරුද්ධව කතාකළ කල්හි නරියා මරාගෙන කෑමට සිංහයා සූදානම් විය. ඒ ගනුදෙනුව ඉවරවන්නේ ඒ ආකාරයෙනි. මේ රටේ සිටින ඇතැම් දේශපාලන සිංහයෝද ඇතැම් නිලධාරී සිංහයෝද ඉහත සඳහන් ආකාරයට ගනුදෙනු කොට ලාභ බෙදා ගනිති. මෙයට කලකට පෙර විල්පත්තු අභයභූමියේ සිදුවූ මහා ඉඩම් කොල්ලය ඔබට මතක ඇති. එක්තරා දේශපාලන නායකයෙක් සිය දේශපාලන බලය යොදා විල්පත්තුවෙන් අක්කර දහස් ගණනක් අල්ලාගෙන ඒවා ස්වකීය ප්‍රජාව අතර බෙදා හැරියේය. මෙයින් සිදුවූ පරිසර හානිය කිසිසේත්ම අවතක්සේරු කළයුතු නැත. එදා සතුන්ට අයත්ව තිබූ ඒ අක්කර දහස් ගණන අද හේන් ගොවිතැන් කරන ජනාවාසයක් බවට පත්ව තිබේ. මේ ප්‍රදේශවල ජනයාට බත් කෑම පිණිස එළවළු ලැබෙන්නේ සිය හේන්වලිනි. මස් ලැබෙන්නේ ආහාර සොයා ගම්වදින ගෝනුන්, මුවන්, සාවුන්, ඉත්තෑවන් වැනි සතුන්ගෙනි. එක දේෂපාලනඥයකු විසින් ආහාර ප්‍රශ්නය සහ ඉඩම් ප්‍රශ්නය විසඳූ හැටි බලන්න.

මත්තල ඉඩම් කොල්ලය සිදුවන්නේ එහි පිහිටි ජාත්‍යන්තර ගුවන්තොටුපළට කිට්ටුවෙනි. මේ වනවිටත් එම ප්‍රදේශයේ අක්කර 200ක් පමණ හේන් කෙටීම පිණිස ගිනි තබා ඇත. මත්තල ප්‍රධාන පාර අසල ඉඩම් ඇල්ලීම සහ විකිණීම සෑහෙන කලක සිට සිදුවේ. මේ ගැන පොලිසියට පැමිණිලි කළාට වැඩක් නැත. පොලිසිය මේ පැමිණිලි විභාග කළොත් ඕ.අයි.සීට සිදුවන්නේ කිලිනොච්චි පොලිසියට හෝ වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයට මාරුවක් ලැබීමටය. වෙල්ලමුල්ලිවයික්කාල්හි පොලිසියක් නැත්නම් එවැන්නක් අලුතින් හදා හෝ දීමට බලවතුන්ට පුළුවන. පොහොට්ටු ආණ්ඩුව පැවති කාලයේ හම්බන්තොට සිටින බලගතු දේශපාලනඥයෝ ලුණු ලේවායේ ලුණු ටෙන්ඩරය ලබා ගැනීම පිණිස ගුටි කෙළගත් ආකාරය ඔබට මතක ඇති. මෙහිදීද කිසිවක් කරකියා ගැනීමට පොලිසියට බැරි විය. අපි පුරුද්දක් වශයෙන් සෑම කල්හිම පොලිසියට දොස් නගමු. එහෙත් ඉකුත් ආණ්ඩු කාලවල සිදුවූ ඇතැම් දේවල් දිහා බලන විට පොලිසිය බලන්නේ අපරාධ සහ දූෂණ මර්දනයෙන් හැකි තරම් ඈත්වී ඉන්නටය. අපරාධ හා දූෂණ මර්දනයට මුළු හදවතින්ම ලැදි පොලිස් නිලධාරීහු මේ රටේ සිටිති. එහෙත් රටේ සිස්ටම් එක හැදී තිබෙන ආකාරයේ හැටියට එම නිලධාරීන්ට මර්දනය කිරීමට සිදුවන්නේ පොලිසියට එන පැමිණිලි වලට වගකිව යුතු අපරාධකරුවන් නොව පළාතේ කුජීත දේශපාලනඥයන් විසින් නිර්දේශ කරනු ලබන අපරාධය. උද්ධමනය පැත්තෙන් ගන්නා කල මෙයට මාස එකහමාරකට පෙර ශ්‍රී ලංකාව දෙවැනි වූයේ සිම්බාබ්වේ රාජ්‍යයට පමණි. අද අප ජාත්‍යන්තර උද්ධමන දර්ශකවල හත්වැනි තැන දක්වා පහත බැස සිටිමු. එය සුබ ආරංචියකි. රටේ ආර්ථිකය හරියාගෙන එන බව එම පණිවුඩය මගින් කියනු ලැබේ. ඊට සාපේක්ෂව රට තුළ තිබෙන දූෂණ මර්දනයද කළ හැකි නම් ඉදිරි අවුරුද්දේදී මේ රට ලෝක ප්‍රජාවගේ විශ්වාසය දිනූ යහපත් රටක් බවට පත්වීම ස්ථිරය.

advertistmentadvertistment
advertistmentadvertistment