ජනවාරි තුන

1037

මෙවර ජනවාරි පළවෙනිදාව ඉතා කලාතුරකින් හටගන්නා පූර්ණ සූර්ය ග‍්‍රහණයකට සමකළ හැකිය. මන්ද, මෙවර ජනවාරි පළවෙනිදා යෙදී තිබුණේ සෙනසුරාදාය. මෙය මළාට සිදු නොවන දෙයකි. වෙනදා ජනවාරි පළවෙනිදාව සතියේ මැද දවසක යෙදී තිබුණ බැවින් පසුදින සේවයට වාර්තා කිරීම අවශ්‍ය නිසා 31 දා රාත‍්‍රියේදී මේ රටේ බේබදු ප‍්‍රජාවට සෑහෙන අසාධාරණයක් සිදුවිය. එහෙත් ඉකුත් සිකුරාදා තමන් සතු සුළු ධනයෙන් සෑහෙන කොටසක් වැය කොට අරක්කු බොන අය අරක්කුද, කසිප්පු බොන අය කසිප්පු ද යනාදී වශයෙන් රැස්කර ගත් එකී බේබදු ප‍්‍රජාව දෙසැම්බර් 31 දා මධ්‍යම රාත‍්‍රියේ සිට ජනවාරි පළවෙනිදා අලූයම දක්වා මත්පැන් සාගරයේ් කිමිදී පසුදින දවල් කාලය වනතුරුත් මළ මිනී මෙන් වැතිර සිටින්නට ඇත. අරක්කුකාරයන්ට සහ කසිප්පු කාරයන්ට ස්වකීය අත්‍යවශ්‍ය භාණ්ඩ කල්තබාම මිලට ගෙන තබා ගැනීමට හැකි වුවද රා කාරයන්ට එවැනි චාන්ස් එකක් නොවේ. එයට හේතුව ගහෙන් බා පැය 12 ක් ගතවීමට පෙර රා පානය කළ යුතුව තිබීමය. පැය 12 පැන්නොත් රා විනාකිරි බවට පත්වෙයි. එබැවින් රා කාරයෝද අරක්කු හෝ කසිප්පු බීමට පෙළඹෙන්නට ඇති. අප අරක්කු හා සිගරට්වලට නිතර බැන්නාට මේ රටේ වැඩිම බදු මුදල රජයට උපයා දෙන්නේ එකී ස්ප‍්‍රීතු වර්ගය විසිනි. 3% ක් පොල් අරක්කුද  97% ක් එතනෝල් සහ වතුරද මිශ‍්‍රකර නිපදවන ගල් අරක්කු බෝතලයේ සිට ඉහළට ඇති සියලූම මත් පැන් වර්ගවලින් අක්මාව කුණු වෙයි. සමස්තයක් වශයෙන් ගත්කල මත්පැන් හා ධූම පානයෙන් රෝගී වන අයට ප‍්‍රතිකාර කිරීම සඳහා එම ද්‍රව්‍ය දෙකෙන් උපයන බදු මුදල හා සමාන මුදලක් වැය කිරීමට රජයට සිදුවෙයි. මේ ආකාරයෙන් බලන විට මත්පැන් හා දුම්වැටි බදු ඉපයීම්වලදී නටපු තොවිලය කෙසේ වෙතත් බෙරයේ එක පලූවක් නොව පලූ දෙකම නැතිවන තත්ත්වයක් උදාවෙයි.

ඉහත කී ධර්ම දේශනාවෙන් මේ රටේ වැඩි දෙනාට පලක් නැති බව අපි දනිමු. එය යුතුකමක් වශයෙන් පමණක් සටහන් කරන ලද්දකි. මේ අවුරුද්ද පටන් ගන්නේ ගිය අවුරුද්දේ පැවති ආර්ථික අහේනියේ එහෙම පිටින්ම දිගුවක් ලෙසය. අවුරුද්ද ඉවර වුණා කියා ආර්ථික අර්බුදය Right Off කිරීමට හෙවත් කටු ගෑමට පෘතුවි පරිභ‍්‍රමණ ක‍්‍රියාවලියට නොහැක. ජනවාරි පළමුවැනිදාත් රට ලූනු කිලෝවක් රුපියල් 300 කි. අල කිලෝවක් රුපියල් 280 කි. බෝංචි රුපියල් 600 කි. කැරට් රුපියල් 450 කි. ගෝවා රුපියල් 400 කි. අමු මිරිස් කිලෝවම රුපියල් 1200 ක් වැනි පහසු මිලකි. මෙහිදී අප පහසු මිල යන වචනය යොදන්නේ එවැනි මිල මගින් අපේ පසුම්බිය වහා හිස් වී සොරුන් විසින් අප කොල්ලකනු ලැබීමේ අන්තරාය ශූන්‍ය වන බැවිනි. මෙකල පහළ මධ්‍යම පන්තියේ ගේකට පනින සොරකු එම ගේ බිඳ ඇතුළු වන්නේ කුස්සියෙන් නම් එහි පවතින අඩුපාඩු දැක කිසියම් මුදලක් ගෙහිමියන් වෙනුවෙන් කුස්සියේ තබා ගෙට ඇතුළු වූ හිලෙන්ම ආපසු රිංගා යෑමේ තත්ත්වයක් හටගනී. මේ මොහොතේත් වෙළෙඳ පොළේ කිරි පිටි නැත. දියර කිරි බීම ආණ්ඩුවේ යෝජනාව වන නමුත් එයින් ලීටරයක් රුපියල් 300 කි. මේ දිනවල මේ රටේ කිරි පිටි ඒකාධිකාරය හසුරුවන සියලූ සමාගම් කිරි පිටි වෙනුවට දියර කිරි ලීටර් වෙළෙඳ පොළට මුදාහැරීමට තීරණය කර තිබේ. ඒවායින් තේ හදා බීම, කිරි පිටි දමා තේ හදා බීම සමග සසඳා බැලීමේදී මහත් සේ පාඩුය. ඒ අතර ගෑස් අර්බුදය එහෙමම පවතී. එය විසඳීමට තව දින 14 ක්වත් ගතවනු ඇතැයි දැනගන්නට තිබේ. මේ රටේ ගෘහස්ථ වලින් තිස් ලක්ෂයක් පමණ ගෑස් වලින් ආහාර පිසිතැයි කියති. ගෑස් නැති වුණොත් ඊට විකල්ප වශයෙන් දර හෝ භූමිතෙල් සපයා ගැනීමට නොහැක. ඊයේ පෙරේදා දවසක පාරිභෝගිකයෝ කිහිපදෙනෙක් ගෑස් ලොරියක් කොල්ලකෑහ. එය කොල්ලයක්ම නොවේ; මුදල් දී කරන ලද බලහත්කාරකමකි. ඒ මිනිස්සු ගෑස් ලොරිය බලෙන් නවත්වා, හිස් සිලින්ඩරය ලොරිය ඉදිරිපිට තබා, රියැදුරා අතට බලෙන් මුදල් දී අලූත් ගෑස් සිලින්ඩර ගෙන ගියහ. මේ තත්ත්වය වර්ධනය වූ විට සත පහක්වත් නොදී ගෑස් පැහැරගෙන යෑමට පටන් ගැනෙනවා ඇත. මේ තත්ත්වය සෙසු වෙළෙඳ භාණ්ඩවලටද බලපෑමට පටන් ගැනීමේ ක‍්‍රියාවලියේ හඳුන්වනු ලබන්නේ Food Riots ලෙසය. ග‍්‍රීසියේ ආර්ථිකය අධික ලෙස පරිහානියට පත්වූ අවස්ථාවේදී මෙවැනි කොල්ලකෑම් ඇතිවිය. මේ මොහොතේදී ලෙබනනය තුළ එවැනි තත්ත්වයක් පවතී.

ශ‍්‍රී ලංකාව කවර හෝ තැනකින් ඩොලර් බිලියන 20 ක් 25 ක් ණයට ගෙන රටේ ආර්ථිකයට පොම්ප නොකොළොත් ඉතා නරක දේවල් හටගැනීම සිදුවේ. ඡන්දයට වසරක් තබා බඩු මිල පහත දමා පඩි වැඩි කළොත් නැවත බලය ලබා ගැනීමට හැකි වෙතැයි ආණ්ඩුව කල්පනා කරන්නේ නම් මේ වතාවේදී එය මායාවක් බවට පත්වනවා ඇත. මේ අවුරුද්දේ වැඩ කරන පළමුවැනි දවස වන අද, එනම් ජනවාරි 3 දා වැඩ පටන් ගන්නා විට හැම දෙනාම මේ බව කල්පනාවට ගත යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment