එතෙක් කතාව සහ මෙතෙක් කතාව

1031

මඩ සෝදාගත් ගොවියා රජකමට පවා සුදුසු යැයි රොබට් නොක්ස් විසින් කියන ලද ඉතා පැරණි, දිරාගිය, කුඩු හැලෙන කියමනක් තිබේ. රොබට් නොක්ස් ලංකාවට එන්නේ 1659 දීය. දෙවැනි රාජසිංහ රජුගේ යුද සිරකරුවකු වූ හෙතෙම ලංකාවේදී දුටු දේවල් ඉතා සීමාසහිත විය. ගොවිකම, රජකම, කුඹුරේ තිබෙන මඩ, බුලත් විට යනාදිය ඔහුගේ හිතේ රෙජිස්ටර් වූ අතර එකල අසරණ ගැහැනියක් අඹුකමට ගැනීම ඉතා පහසු වූ බැවින් රොබට් නොක්ස් කාම වෘතයෙහි කිමිදුනේය. එවකට අවුරුදු 16 ක් පමණ වූ කිසිදු සමාජ අත්දැකීමක් නැති නොක්ස් විසින් කියන ලද මෝඩ කියමනට අනුව එනම් මඩ සෝදාගත් ගොවියා රජකමට වුව සුදුසු ය යන කියමන පසු කාලයේදී මේ රටේ මිනිසුන් විසින් නිතර නිතර කියන ලද්දේත් ලියකියවිලිවලට ඇතුළත් කරන ලද්දේත් මහත් අභිමානයෙනි. මඩ සෝදාගත් ගොවියන් රජ කිරීමට ගොස් ජාතියක් වශයෙන් අපි මහත් සේ පරිප්පු කා ඇත්තෙමු. මෙසේ රජවූ ගොවීන්ගේ මඩ හරියට සේදී තිබුණේ නැත. ඇතැම් අය අමුඩය පිටින්ම සිංහාසනයේ ඉඳ ගත්හ. මේ නිසා ලංකාව තවදුරටත් නොදියුණු රාජ්‍යයක් ලෙස ලෝකයටම ණය වෙමින් ජීවත් වෙයි. එක් අතකට ලංකාව යනු ලොරෙන්සෝ ද අල්මේදාගේ අනුරුවකි. 1506 දී (1505 දී නොවේ) මේ රටට පැමිණි ලොරෙන්සෝ ද අල්මේදා රජතුමා ද ගමේ මිනිස්සු ද සෙට් කරගෙන රා බොමින් අඩ සිහියෙන් ජීවත් වන්නට පටන් ගත්තේය. මෙකල මෙන්ම එකල ද නාවිකයන්ට මත්පැන් කෝටා එකක් හිමිවී තිබේ. ලොරෙන්සෝ ද අල්මේදාගේ නැවේ ඔහු වෙනුවෙන් තිබූ බ්‍රැන්ඩි නිමවීමෙන් පසුව ඔහු අතේ තිබූ මුදල් සෙසු නැවියන්ට ගෙවා තවදුරටත් බ්‍රැන්ඩි බිව්වේය. එම මුදල් නිමවූ පසු ඔහු ගමේ මිනිසුන්ගෙන් ණයට රා බිව්වේය. ලොරෙන්සෝ ද අල්මේදා කලිසම් කබා අඳින මහත්තයකු බැවින්ද තමන්ට නොතේරෙන බසක් කතාකරන තද පොරක් බැවින් ද ගැමියෝ ඔහුට ණයට රා දුන්හ. එහෙත් ඒ සඳහා මුදල් ගෙවීමට වත්කමක් ලොරෙන්සෝ ද අල්මේදාට නැති විය. මෑතක් වනතුරු ලංකාවද තනිකරම ලොරෙන්සෝ ද අල්මේදාගේ අනුරුවක් විය. ණයට සල්ලි ගෙන හැම් බේකන් කෑ නමුත් එම ණය ගෙවා ගැනීමට අපට බැරි විය. ඒ නිසා පිටස්තර ලෝකය අපට ණය දීම නැවත්වූයේය. 2022 වනවිට මේ රටේ පැවතියේ කන්නත් නැති තත්ත්වයකි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැදිහත්වී IMF ලෝන් එක ලබාගෙන ආර්ථිකය යළි පටන් ගන්නට මුල පිරුවේ නැත්නම් මේ වනවිට අපට කුමක් සිදුවනු ඇත්ද යන්න හිතාගැනීමට බැරිය. ඉහතින් අප සාකච්ඡා කළේ මෙතෙක් පැවති තත්ත්වයයි. එතැන් සිට කතාව අපි දැන් ඔබට කියමු.

ලංකාවේ ජීවන වියදම පසුගිය මාස කිහිපය තිස්සේ යම් තරමකට පහත බැස්සේය. මේ බව Fitch rating සමාගම මෙන්ම Bloomberg සමාගම ද ප්‍රකාශ කර ඇත. ආණ්ඩුව විසින් අතනින් මෙතනින් ආර්ථිකයට ඩොලර් පොම්ප කිරීමත් සමගම රුපියලේ අගය වැඩිවූ අතර ඩොලරයේ මිල පහත බැස්සේය. මේ නිසා පිටරටින් ගෙන්වන අමුද්‍රව්‍ය මිල පහත ගිය බැවින් භාණ්ඩ මිල ද යම් තරමකට හෝ පහත බැසිය යුතුය. එහෙත් එය කිසිකලෙකත් සිදුවන්නේ නැත. එසේ නොවීම මේ රටට ආවේණික ලක්ෂණයකි. උදාහරණයක් වශයෙන් බේකරිකාරයන් පාන් හෝ බනිස් මිල අඩු කරන්නේම නැත. හැබැයි පාන් ගෙඩියේ ග්‍රෑම් ගණන අඩුකර එහි මිල අඩු කිරීමට ඔවුන් සූදානම් ය. බනිස් ගෙඩියේ ග්‍රෑම් ගණන අඩුකර එහි මිල පහත හෙළීමට ද ඔවුන් සූදානම් ය. ඇත්තම කතාව නම් පාන් රාත්තලක් රුපියල් 110 ට දිය හැකි බවය. රාත්තලකට ග්‍රෑම් 454 ක් තිබේ. එහෙත් පාන් රාත්තලකට ඇත්තේ ග්‍රෑම් 350 ක් පමණි. මෙය රත්තරන් බර හා සමාන කතාවකි. සාමාන්‍යයෙන් රාත්තලකට අවුන්ස 16 ක් තිබේ. රත්තරන් රාත්තලකට ඇත්තේ අවුන්ස 12 ක් පමණි. එය සම්ප්‍රදායකි. ආණ්ඩුවේ සහන වැඩපිළිවෙළ ජනතාවගේ කුස දක්වා නොයෑමෙන් අවුලක් හටගනී. තත්ත්වය එය නම් ආණ්ඩුවක් තිබී වැඩක් නැත. සිල්ලර වෙළෙන්දොත් තොග වෙළෙන්දොත් නිෂ්පාදකයොත් රටේ ආර්ථිකය පාලනය කරන ප්‍රධාන බලවේග බවට පත්ව තිබේ. එහෙම නම් රටකට සෙන්ට්‍රල් බැංකුවක් කුමටද? පසුගියදා සෙන්ට්‍රල් බැංකුව හෙවත් මහ බැංකුව මගින් රටේ පොලී අනුපාත පහත හෙළන ලදි. එහෙත් ඇතැම් ප්‍රයිවට් බැංකු සහ හොර ෆිනෑන්ස්කාරයෝ පොලී අනුපාත ඉහළ මට්ටමේ තබාගෙන යෑමට දිගටම කටයුතු කළහ. එසේ නොකරන ලෙසත් පොලී අනුපාත පහත හෙළන ලෙසත් බලකිරීමට අන්තිමේදී මහ බැංකුවට සිදුවිය. පොලී අනුපාතයන් ඉහළ තත්ත්වයක තිබුණු කාලයේදී වූ පරිදිම බඩු මිල ද ඉහළය. මෙහිදී පාරිභෝගික අධිකාරියත්, PHI මහත්තැන්ලාත් කරන සේවය අගය කරමු. බඩු වැඩි මිලට විකුණන වෙළෙන්දන්ට ගේම දීමේ වැඩපිළිවෙළක් පාරිභෝගික අධිකාරිය විසින් අරඹන ලැබ ඇත. ඒ අතර කඩ සාප්පුවලටත් හෝටල්වලටත් පනින සෞඛ්‍ය පරීක්ෂකවරු ශතවර්ෂයක් පමණ පරණ කොත්තු රොටීත්, සහස්‍රයක් පරණ පිසින ලද ආහාරත් deep freezer වලින් එළියට ගනිති. මේ ආහාර ෆ්‍රීසරයේ යට තහඩුව සමග කොතරම් බැඳී ඇත්ද යත් ඇතැම් විට එම භාණ්ඩ එළියට අදින විට ෆ්‍රීසරයේ තහඩුව ද ගැලවෙන්නට බලයි. මේ රටේ ආර්ථිකය ගැන ගැඹුරින් සාකච්ඡා කළොත් එයින් හෙළිවන කරුණු ලිවීමට පත්තර පිටු 12 කුත් මදිය. එතෙක් කතාව සහ මෙතෙක් කතාව අප විසින් ඔබට කියන ලද අතර දැන් ඔබ කළ යුත්තේ ඊළඟ කතාව ප්ලෑන් කර ගැනීම ය. ඒ කතාව ස්ථිර වශයෙන්ම ජනතාවාදී කතාවක්ම වේවා!

advertistmentadvertistment
advertistmentadvertistment