පාං පාං පපර පාං………

857

ඊයේ දවස සම්පූර්ණයෙන්ම පාහේ නිදහස වෙනුවෙන් වැය විය. ඊට කලින් දා වැය වුණේ ජාතික කොඩි විකිණීමටත්, සඳුදා හෙවත් අද ආණ්ඩුවේ නිවාඩු දවසක් කරන්නේද යන්න සාකච්ඡා කිරීමටත්ය. එහෙත් කොඩි විකිණීම හැර අනෙක් බලාපොරොත්තුව ඉටුවුණේ නැත. දැන් අපි නියම කතාවට බසිමු. ලංකාව යනු බොහෝ අඩුපාඩු ඇති රටකි. කෑම බීම, ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම්, බේත් හේත් ඇතුළු යුගල පද රාශියකින් කියැවෙන දේවල් බොහොමයක් රට තුළ අඩුපාඩුය. ඒත් ගැසට් නිවේදනවල කිසිදු අඩුවක් කලක පටන් මේ රටේ නැත. මේ රටේ ගැසට් හිඟය නැතිකර දුන්නේ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමාය. නිකුත් කළ ගැසට්ටුව ඊළඟ පැයේදී අකුළා ගැනීමටද එතුමා පුරුදුව සිටියේය. ගෝඨාභය රාජපක්‍ෂ නිකුත් කළ ගැසට් ගණන ජෝතිපාල නිකුත් කළ ‘කැසට්’ ගණනටත් වඩා වැඩි බව ඒ කාලයේදී උපහාස කියුම් කියන්නෝ කීහ. අන්තිමේදී ගැසට් පත්‍රයට කිසිදු තැනක් නැතිවිය. එක්දහස් නවසිය හැත්තෑ ගණන් වල අද රෑ 12.00 ට ගැසට් පත්‍රයක් නිකුත් වන බව ප්‍රචාරය වූ කල්හි මේ රටේ ජනයා මුළු උදය වරුවම ගතකළේ සන්ත්‍රාසයෙනි. එසේ නිකුත් කළ ගැසට් නිවේදන කිසිවිටෙකත් අකුළා ගත්තේ නැත. අපේ කතාව සුපුරුදු පරිදි වෙනත් පැත්තකට යන බව පෙනේ. ඒ නිසා නැවත අපගේ නිමිත්ත කෙරෙහි යොමු වෙමු;

පාරිභෝගික අධිකාරිය පසුගියදා ඉතා වැදගත් ගැසට් පත්‍රයක් නිකුත් කළේය. පාන් ගෙඩියකට නියමිත බර ප්‍රමාණයක් තිබිය යුතු බවත් මුදල් වැයවිය යුත්තේ ඒ බරට බවත් එම ගැසට් පත්‍රයෙහි කියැවිණ. මෙය බොහෝ කල්තියා නිකුත් කිරීමට නියමිත වූ ගැසට් පත්‍රයකි. සාමාන්‍යයෙන් මේ රටේ ආයතන වැදගත් ප්‍රශ්නයක් සඳහා තීන්දුවක් ගනු පිණිස කුණුහරුපය ගාවටම කැලෑව වැවෙන තුරු නිහඬව හිටගෙන බලා සිටී. අන්තිමේදී විවිධ හෝහපුටුවන් සහ කුරුමිනියන් වැදගත් තැන්වලට පහර දීමට පටන්ගත් කල අවදි වී තීන්දුව ගනී.

පසුගියදා නිකුත් වූ ගැසට් පත්‍රයෙන් නියම කළ පරිදි පාන් ගෙඩියක නිශ්චිත බර ග්‍රෑම් 450 ක් විය යුතුය. මෙහිදී දෙපැත්තටම පාඩු නොවීම සඳහා ග්‍රෑම් 13.5 අඩු වැඩි වීම අත්හැර දමනු ලැබේ. එසේම පාන් ගෙඩියේ මිල ඉතා පැහැදිලිව වෙළෙඳසලේ ප්‍රදර්ශනය කළ යුතු බව ගැසට් පත්‍රයෙන් නියම කෙරිණ. මෙය බේකරියේ සිට චූන් පාන් කාරයා දක්වා සියලුම පාන් වෙළෙඳුන්ට වලංගු වන නියමයකි.

ලංකාවේ පාන් විවිධ මිලට විකුණනු ලැබේ. කණාටු බේකරියක පාන් රාත්තලක් රුපියල් 140 ක් පමණ වන අතර හොඳ පොෂ් බේකරියක පාන් ගෙඩියක් මිල රුපියල් 500 ඉක්මවයි. ඒ අතර දර්ශනීය ලෙස මුද්‍රණය කළ පින්තූර සහිත පොලිතීන් දවටනවල දමා කල්ඉකුත්වන දිනය යෙදූ පෙති පාන් ගෙඩියක් විවිධ නිෂ්පාදකයෝ විවිධ මිලට විකුණති. සමහර විට මේ පාන් පෙත්තක් රුපියල් 20 ක් පමණ වේ. බේකරියක් මගින් සාදනු ලබන සෑම නිෂ්පාදනයකටම මිලක් නියම කිරීමට නොහැකි බව අපිද පිළිගන්නෙමු. එක එක බේකරිවල එක එක සයිස් ඥානකතා තිබේ. එක එක සයිස් වල බනිස් තිබේ. එක එක ජාතියේ කේක් තිබේ. දිගින් වැඩි සහ දිගින් අඩු යනාදී වශයෙන් කිඹුලා බනිස්ද තිබේ. ඊට අමතරව තැටි පාන් පරණ වූ විට පෙති ගසා උදුනට දමා සීනි වත්කරන ලද විස්කිරිඤ්ඤාද තිබේ. පරණ පාන් වියළා විස්කෝතු කුඩු සෑදිය හැකිය. එසේම සියලුම ලට්ට ලොට්ට එකතු කර සාදන කොත්තු රොටි හා සමාන ගල් බනිස්ද තිබේ. මේ සමහර නිෂ්පාදන කුණු බක්කියට දැමිය යුතු නමුදු ප්‍රතිචක්‍රීකරණය කර විවිධ නම් යටතේ විකුණනු ලැබේ. මේවාට මිලක් නියම කළ නොහැක. එහෙත් ශත වර්ෂ එකහමාරක පමණ කාලයක් තිස්සේ වෙළෙඳපොළට එන පාන් ගෙඩියට ස්ථිර මිලක් නියම කිරීම ස්ථිර වශයෙන් කළ හැකිය. පාන් මිල නියම කරන ගැසට් පත්‍ර කාලයෙන් කාලයට එළියට එන නමුදු දින කිහිපයක් තුළ අමතක වී යයි. එයට හේතුව පාන් පිටි මිල ඉහළ හෝ පහළ යෑමය. ඒ සමඟම පාන් මිල අලුත් වේ. එතැන් සිට ගැසට් පත්‍රය ගන්නේ පාන් එතීමට පමණි.

ලංකාව යනු ලෝකයේ අවිධිමත්ම සිල්ලර වෙළෙඳාමක් පවතින රටකි. මේ අවිධිමත්භාවය කෙතරම්දයත් මේ කඩේ රුපියල් පහට අලෙවි කරන ද්‍රව්‍ය අල්ලපු කඩේ රුපියල් හයකි. ඊළඟ කඩේ රුපියල් හතකි. ණයට ගත්තොත් රුපියල් අටකි. කඩ පේළිය දිග වැඩිවන තරමට බඩු මිලද ඉහළ යයි. ඒ අතර වෙළෙඳපළේ බඩු හිඟයක් තිබෙන විට තියෙන බඩුද හංගණු ලැබේ. මේ පිළිබඳ ඇස් ඉදිරිපිට තිබෙන උදාහරණය වන්නේ කීරි සම්බාය. කීරි සම්බාවලට කවර කෙළියක් සිදුවේද යන්න එම සහල් වර්ගය වෙළෙඳපොළ තුළ ජනප්‍රිය කළ ඩඩ්ලි සිරිසේනවත් නොදනී. රත්න සහ නිපුන හාල් මුදලාලිලාවත් නොදනිති. ඉතින් මේ අවනඩුව කියන්නේ කාටද?

advertistmentadvertistment
advertistmentadvertistment