බේබද්දාගේ සුබාරංචිය සහ ගිනි නිවන හමුදාව

681

ශ්‍රී ලංකාව තම ඉතිහාසයේ මුල් වතාවට ලෝක ගිනි නිවීමේ දිනය ඊයේ පෙරවරුවේදී සමරන ලදී. කටින් නිකුත්වන ගිනි ජාලාව සහ බඩේ ගින්දර ඇරුණු විට ලෝකයේ ඕනෑම ගින්නක් නිවීමට හෝ එසේ නිවීම සඳහා මැදිහත් වීමට ගිනි නිවන හමුදාවට පුළුවන. මේ ආයතනය අප්‍රමාණ සේවයක් කරන නමුදු මහජනයාගේ සැලකිල්ලට හසුවන්නේ නැත. කිසියම් තැනක ගින්නක් හටගත් විට නලා පිඹගෙන එහි යන ගිනි නිවන රථ දැකීමේදී පමණක් මිනිසුන්ට ගිනි නිවන හමුදාව යනුවෙන් ඒකකයක් තිබෙන බව සිහිපත් වේ. ගිනි භටයා යනු සිය ජීවිතය ඉතා ඍජු ලෙස අනතුරකට නිරාවරණය කරගන්නා මිනිසෙකි. එම අනතුර වූකලී පිළිස්සී මිය යෑමය. හැබැයි කටවල් වලින් නිකුත්වන ගින්දර නිසා දුම් හෝ ගිනි දලු නොනැගීම මිනිස්සු අළු බවට පත්වෙති. ගිනි නිවන හමුදාවේ සේවය ඇගයීම සඳහා ගින්දරට අමතරව ගිනි නිවන හමුදාවක්ද මේ රටේ තිබෙන බව රාජ්‍යය අංශය දැනගෙන සිටිය යුතුය. ඊයේ පැවැත්වුණු ලෝක ගිනි නිවීමේ දින උත්සවය මගින් ගිනි නිවන හමුදාව පිළිබඳ රාජ්‍ය අංශයේ මතකය යාවත්කාලීන කරනවා ඇත. යුද හමුදාවට තරම්ම දිගු ඉතිහාසයක් ගිනි නිවන හමුදාවටද තිබේ. ලෝකයේ පළමුවන ගිනි නිවන හමුදාව රෝමන් අධිරාජ්‍ය පැවති ක්‍රිස්තු පූර්ව 300 දී පමණ ආරම්භ වී යැයි විශ්වාස කෙරේ. මේ කාලයේදී සිදුවුණේ කිසියම් තැනක ගින්නක් හටගත් විට වහලුන් විසින් වතුර බාල්දි ගෙනගොස් එම ගින්න නිවීමය. ලෝක ඉතිහාසයේ පහළ වූ ඉතාම නරක ව්‍යාභීචාරි නරපතියා වූ රෝමන් අධිරාජ්‍යය නීරෝ ක්‍රිස්තු වර්ෂ 65 දී සංවිධානාත්මක ගිනි නිවන හමුදාවක් පිහිටුවීය. ඔහු මෙම හමුදාව පිහිටුවන ලද්දේ රෝමයේ හටගත් මහා ගින්නෙන් පසුවය. ක්‍රිස්තු වර්ෂ 64 දී මෙම මහා ගින්න තබන ලද්දේ නීරෝ විසිනි. එම ගින්න ක්‍රිස්තියානිකාරයන් විසින් තබන ලද ගින්නක් බව පෙන්වා ක්‍රිස්තියානිකාරයන් සමූලඝාතනය කිරීමට නීරෝට අවශ්‍ය විය. ඒ අනුව ඔහු සිය ගෝලයන් ලවා රෝම නගරයට ගිනි තැබීය. එකල රෝම නගරය යනු දැව වලින් සැදූ පේලි ගෙවල් දහස් ගණනකින් සමන්විත වූ ජන ඝනත්වය ඉතා වැඩි නගරයකි. මේ ලෑලි ගෙවල් නිසා ගින්න පැතිරීම ඉතා පහසු විය. ගින්න ඉතා සාර්ථකව දැල්වෙන බව දැනගත් නීරෝ වීණාවක් වයමින් සතුටු විය. රෝම නගරය සම්පූර්ණයෙන්ම අළු වූ පසු සියලුම ක්‍රිස්තියානිකාරයන් සංහාරය කළ මේ දුෂ්ට නරපතියා ජනතාව ඉදිරියේ පෙනී සිට මෙවැනි ගින්නක් යළි හටගතහොත් මැඬලීම සඳහා ක්‍රමවේදයක් අවශ්‍ය බව කියමින් වහලුන් යොදවා සංවිධානාත්මක ගිනි නිවන හමුදාවක් තැනීය. නීරෝගේ සංකල්පය පසුකාලයේදී නවීකරණය වී ගිනි නිවීම යන ක්‍රියාව විද්‍යාත්මක ක්‍රමවේදයක් බවට පත්විය. ගිනි නිවන හමුදාව යන සංකල්පය සමාජගත කිරීම සඳහා නීරෝ කොතරම් මහන්සි වුවද එම ගෞරවය අප ඔහුට දිය යුතු නැත. එයට හේතුව මේකා රජෙක් වුවද කෲර ව්‍යාභීචාරි කුණු යකෙක් වීමය. මේ අතර තවත් වැදගත් යමක් කිවයුතුය. ඉපැරණි රෝමයේ සිටි ඔගස්ටස් නරපතියාද ගිනි නිවීම සඳහා කිසියම් ක්‍රියාවලියක් තිබිය යුතුය යන ආකල්පයේ දැවටී සිටි අයෙකි. එහෙත් ඔහුට තම අදහස හරියාකාරව ක්‍රියාත්මක කරගැනීමට බැරිවිය. මේ අදහස ඉදිරියට ගෙන යන්නේ නීරෝය. නීරෝ කුණු ජරා නරපතියකු නිසා ගිනි නිවන හමුදාව නමැති සංකල්පයේ ගෞරවය නිතැතින්ම යා යුත්තේ නරපති ඔගස්ටස්ටය.

මත්පැන් මිල ගණන් පහළ දැමීමට රජය අවධානය යොමුකර ඇතැයි දැනගන්නට තිබේ. එසේ මිල අඩුකිරීමේ හැකියාව ගැන සොයාබලන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේලු. මෙය සියලු බේබද්දන්ට සුබ ආරංචියක් වනවා ඇත. ගංජාකාරයා නිතර දකින සිහිනයක් තිබේ. ඒ වූකලී වැඩි සීනි කිරි තේ මුහුදක මස්කට් නැව් පේලියක් පැමිණීමය. ගංජා ගැසූ පසු ලොකු මස්කට් කෑල්ලක් කා වැඩි සීනි කිරි තේ එකක් බිව් විට ෆන් එක ඉතා වැඩිය. එසේම ගංජාකාරයාට සදාකලික ප්‍රශ්නයක් තිබේ. ඒ වූකලී “ඇයි දෙයියෝ ගල් මැව්වේ” යන්නය. ගංජාකාරයාගේ පාදයේ ගංජා ගැට නමින් ගෙඩි වර්ගයක් හටගනී. පයින් ඇවිදින විට පොලවේ ඇති ගල්වලට මේ ගෙඩි තුවාල වී අධික වේදනාවක් දෙයි. බේබද්දාටද සදාකලික ප්‍රශ්නයක් තිබේ. ඒ වූකලී අරක්කු මෙච්චර ගණන් ඇයිද යන්නය. අරක්කු මිල වැඩි වෙතැයි ආරංචි වූ සැණින් බේබද්දාගේ හදවත කකුල් දෙකේ මහපට ඇඟිලි තෙක් ගිලා බසී. අරක්කු මිල කොතරම් වැඩි වුණත් බේබද්දා බොන ප්‍රමාණය අඩු නොකරයි. ඔහු කරන්නේ ගෙදරට වැය කරන මුදල තවදුරටත් අඩුකර ස්වකීය අරක්කු පාඩුව පියවා ගැනීමය. මෙයට අවුරුදු පනහකට පමණ පෙර ගල්ඔය සංවර්ධන මණ්ඩලය විසින් ගල් අරක්කු නමැති එතනෝල් මිශ්‍ර අරක්කු වර්ගය හඳුන්වාදෙන විට එයින් බෝතලයක මිල රුපියල් 11.50 කි. අද ගල් අරක්කු බෝතලයක් රුපියල් 3000 ට කිට්ටුය. මේ නිසා රුපියල් 1200 ක් දී කසිප්පු බෝතලයක් මිලට ගෙන ආතල් එකක් ගැනීමට බේබද්දෝ කැමති වෙති. අරක්කු බී පුරුදු එකාට රා ගැලුම් දෙකක් බිව්වත් අරක්කු බෝතලයක සූර් එක ගැනීමට බැරිය. රජය අරක්කු මිල ඉහළ දමන හැම විටකම බේබද්දාගේ ගෙදර දරුවෝ දුක්වෙති. එයට හේතුව සිය බේබදු පියා ගෙදරට දෙන වියදම් සල්ලි අඩුකරන බව ඒ දරුවන් ඉන්තේරුවෙන්ම දන්නා නිසාය. අරක්කු මිල ඉහළ යෑමත් සමගම බේබද්දෝ කසිප්පු වෙත නැඹුරු වෙති. කසිප්පුවලින් සත පහක බද්දක් ආණ්ඩුවට ලැබෙන්නේ නැත. අරක්කු යනු අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් නොවේ. එහෙත් බි්‍රතාන්‍ය ආණ්ඩුව වතුකර ආර්ථිකය හඳුන්වාදීමත් සමගම අරක්කු අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත්කළේය. සිගරට්වල තත්ත්වයත් මෙයමයි. ප්‍රමුඛතම පෙනහළු පිළිකා කාරකය වූ සිගරට් බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් මුලදී නොමිලේ බෙදා මිනිසුන් ඒවාට පුරුදු වූ පසු සල්ලිවලට විකුණන්නට පටන් ගත්තේය. අවසන් පලයේදී සිගරට් සහ අරක්කු යන දෙකම අත්‍යවශ්‍ය භාණ්ඩ වී අහවරය. මේ මොහොතේදී රජය අරක්කු මිල සංශෝධනය කිරීමට පියවර ගන්නේ නම් එහි කිසියම් ආකාරයක හොඳක් ඇති බව ප්‍රයෝගික මිනිසුන් වශයෙන් අප තේරුම්ගත යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment