සාමකාමී අරගලකරුවන්ට එල්ල කළ සාහසික ප්‍රහාරය මනුෂ්‍යත්වයටත් නිගාවක්

161

ත්‍රෛනිකායික මහානායක හිමිවරු කියති

පටු දේශපාලන අරමුණු පෙරදැරි කර ගනිමින් සමාකාමී අරගලකරුවන්ට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාර තරයේ හෙළා දකින බව ත්‍රෛනිකායික මහානායක හිමිවරු ප්‍රකාශ කර සිටිති.

මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ මහනායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහනායක අතිපූජ්‍ය මකුලෑවේ විමල යන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා සිය අත්සනින් යුතුව ජනපති, අගමැති, විපක්ෂනායක හා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් වෙත මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරු මේ බව අවධාරණය කරති. එහි මෙසේද සඳහන් වෙයි.

රට තුළ උද්ගතව ඇති සමාජ, දේශපාලන හා ආර්ථික අර්බුදයන්ට විසඳුම් ඉල්ලා සාමකාමී අරගලයක නිරත වූ මහජනතාව වෙත එල්ල කළ සාහසික ප්‍රහාරයන් ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම මනුෂ්‍යත්වයට ද නිගා දෙන්නකි. ඍජුව හා වක්‍රව මෙම නින්දිත ක්‍රියාමාර්ගය සඳහා අනුබල දුන් දේශපාලන නාකයන්ට ජනතා පරමාධිපත්‍යය නියෝජනය කරන මහජන නියෝජිතයන් ලෙස රැඳී සිටීමට තවදුරටත් සදාචාරාත්මක අයිතියක් නැති බව අපි තරයේ විශ්වාස කරමු.

රටේ සමස්ත මහජනයාගේ ජීවිත, දේපොළ මෙන්ම නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ද ආරක්ෂා කිරීමට රාජ්‍ය පාලකයා ව්‍යවස්ථාවෙන් බැඳී සිටියි. බලලෝභී අවිචාරවත් දේශපාලන න්‍යාය පත්‍රයන් පෙරදැරි කරගෙන සිදුකළ මෙම ප්‍රහාරයන්ට සම්බන්ධ සියලු වගකිවයුත්තන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු අදාළ ආයතන කටයුතු කළ යුතුය. තවද රටේ ඇතිවුණු දේශපාලන, සමාජ, ආර්ථික අර්බුද නිසා මීට පෙර අප විසින් හා විවිධ පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා කෙරෙහි කඩිනම්ව අවධානය යොමු නොකිරීම නිසා මෙබඳු ප්‍රතිවිපාක දක්නට ලැබෙන බව සිහිපත් කර සිටිමු.

මෙම තීරණාත්මක අවස්ථාව තුළ විමසිලිමත්ව සබුද්ධිමත්ව හා ඉවසිලිමත්ව කටයුතු කර අර්බුදකාරී තත්ත්වයන් විසඳා ගැනීමට කටයුතු කරන ලෙස සියලු වගකිව යුතු පාර්ශ්වයන්ට හා රටවැසියන් සියලු දෙනා වෙත මෙයින් සිහිපත් කර සිටිමු.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment