දැනුම කේන්ද්‍රගත සමාජයක පුස්තකාලයේ භූමිකාව

898

මානව සමාජයේ වර්තමාන දියුණු තත්ත්වයට හේතුවී ඇත්තේ මිනිසාගේ බුද්ධිමය ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයක් ලෙස බිහිවන තොරතුරු එසේ නැතහොත් දැනුම පසුකාලීන පරපුරට භාවිතා කළ හැකි අයුරින් වාර්තාගත කිරීමට ඇති හැකියාවයි. මෙසේ වාර්තාගත වන තොරතුරු සෙසු අයගේ දැනුම වැඩි කිරීමට ප්‍රයෝජනයට ගත හැකි පරිදි ලබාගැනීම, සැකසුම, ගබඩා කිරීම, සමුද්ධරණය හා සන්නිවේදනය පිණිස ඇති ප්‍රධාන විඥාපන ඒකකයක් වනුයේ පුස්තකාලයයි. අධ්‍යාපනය, පර්යේෂණය, ආර්ථික කටයුතු, දේශපාලන කටයුතු, සංස්කෘතික කටයුතු ආදී විවිධ කාර්යයන් නිසා මානව දැනුමට එකතුවන තොරතුරු මහා ප්‍රවාහයක් බවට පත්ව තිබේ.

භූගෝලීය, දේශපාලනික, සමාජීය හා සංස්කෘතිකමය කඩඉම් හරහා ගලන තොරතුරු ප්‍රවාහය මෙහෙයවීම හා ප්‍රයෝජනයට ගැනීමට සැලැස්වීම ද සඳහා ඇති විඥාපන ආයතන අතර පුස්තකාලයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. මානව සමාජයේ තොරතුරු හරහා එන දැනුම වැදගත් ලෙස නොසැලකෙන කිසිම ක්‍ෂේත්‍රයක් සෙවිය නොහැක. පර්යේෂණ හා ප්‍රවර්ධන කටයුතු, කර්මාන්ත, ව්‍යාපාර, රාජ්‍ය තාන්ත්‍රීය, අධ්‍යාපන හා පුහුණු කිරීම් ආදී මේ කිනම් ක්‍ෂේත්‍රයකදී හෝ තොරතුරු ලබාගැනීම, සැකසීම, ගබඩා කිරීම, සමුද්ධරණය හා සන්නිවේදනය යන කාර්යයන් කිරීමට සිදුවේ.

‘තොරතුරු’ ගතහොත් එහි අගය ක්ෂය වීමක් හෝ වටිනාකම අඩුවීමක් සිදු නොවේ. තොරතුරු නැතහොත් දැනුම උත්පාදනය කරන මූලාශ්‍ර හා ඒවාට ප්‍රවේශය ලබාගත හැකි ස්ථාන පිළිබඳ වඩාත් පුළුල් අවබෝධයක් ඇත්තේ පුස්තකාලයාධිපතිවරුන්ටය. තොරතුරු අවශ්‍යතාවෙන් යුත් තැනැත්තෙකුට ඒ අවබෝධය නොමැති නම් ඔහු විසින් වඩාත් වෙහෙසකර හෝ වියදම් සහිත ක්‍රම භාවිතයට ඉඩ තිබේ. මෙවැනි අවස්ථාවලදී පුස්තකාලයාධිපති විසින් නිවැරදි අන්දමට මඟ පෙන්වනු ලබන්නේ නම් එවිට පාඨකයාට සැලසෙන සේවාව අතිශයින් වැදගත් වේ. දැනුම කේන්ද්‍රගත සමාජයක අවශ්‍ය වේලාවට නිවැරදි තොරතුරු සැපයීමේ සමත්කම ඕනෑම පුස්තකාලයක් සතුවිය යුතුය.

නූතන සමාජයේ සම්ප්‍රදායික පොතපත, සඟරා, පුවත්පත් හා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යවලින් දුන් තොරතුරු ප්‍රවාහය අභිභවමින් ඉලෙක්ට්‍රොනික හා පරිගණක ගත මාර්ගස්ථ මාධ්‍ය ඔස්සේ තොරතුරු උත්පාදනය වෙමින් ශීඝ්‍රයෙන් දසත ප්‍රචාරය වෙමින් පවත්නා බව දැකගත හැකිය. ලොව දසත රටවල්, මහද්වීප, ගම් නියම් ගම් වෙන් කෙරුණු කඩයිම්, දේශසීමා අතුරුදන් වෙමින් එකම ලෝක ග්‍රාමයක්, විශ්ව ගම්මානයක් බවට පත්ව තිබෙනු පෙනේ. පරිගණකයත්, විiුත් සන්නිවේදන ක්‍රමත්, චන්ද්‍රිකා තාක්ෂණයත් හා එකට අත්වැල් බැඳගනිමින් තොරතුරු තාක්ෂණය අප වසන නූතන දැනුම කළමනාකරණය :(Knowledge Management) පිළිබඳ සංකල්පය ක්‍රියාවට නැංවීමයි. දැනුම නිපදවීම, එක්රැස් කිරීම හා ගබඩා කිරීම මෙම ක්‍රියාදාමයේ ප්‍රධාන තැනක් ගනී. මෙය ඉතා ඈත අතීතයේ සිටම මානව ශිෂ්ටාචාරය හා බැඳී ඇත. මුද්‍රිත ප්‍රකාශන හා ලිඛිත ප්‍රකාශන විවිධ නිමාවන්ගෙන් එක්රැස් කර පවත්වාගෙන ගිය ඇලෙක්සැන්ඩි්‍රයානු පුස්තකාලය, පන්සල් පොත්ගුල් යනාදිය ‘බිත්ති හතරකින් කොටු වූ පුස්තකාලවල’ පූර්වාරම්භය ලෙස සැලකිය හැකිය. පොත සාම්ප්‍රදායික පුස්තකාලයේ දැනුම තැනුම් ඒකකය බවට පත් වූයේ එසේය. තාක්ෂණයේ මහිමය නිසා පසුව ශ්‍රව්‍ය/දෘශ්‍ය, සූක්ෂම රූපී හා ඉලෙක්ට්‍රොනික මාධ්‍යගත ප්‍රකාශන සාම්ප්‍රදායික පුස්තකාලය තුළ ගබඩා විය. ආචාර්ය රංගනාදන්ගේ පුස්තකාලය පිළිබඳ පංච නීතිය එළිදැකීමත් එයිනිදු ‘සෑම පාඨකයෙකුටම පොතක්’ ‘සෑම පොතකටම පාඨකයෙක්’ යන්න නිෂ්පන්න වීමට පොතම මුල් වී ඇත. ‘පොත් ඇති ගෘහය’ යන අරුතින් පුස්තකාලය යන වදන බිහිවීමද මෙහිලා කැපී පෙනේ.

පුස්තකාලය කුමක් සඳහා ද? එහි අරමුණ කවරක්ද යන්න නිරන්තරයෙන් අසනු ලබන ගැටලු වේ. මෙම ගැටලුවලට එක එල්ලේ පැහැදිලි පිළිතුරක් සැපයීම මදක් දුෂ්කර වුවද තොරතුරු සැපයීමේ ව්‍යාපාරයෙහි නිරන්තරයෙන් යෙදෙන බැවින් පුස්තකාලය හා දත්ත, තොරතුරු, දැනුම, පුද්ගලයා යන සිව් පද අතර ඉතා සමීප සම්බන්ධතාවයක් ඇති බැව් පැහැදිලි වේ. දත්ත තොරතුරු බවටත් තොරතුරු දැනුම බවටත් දැනුම තොරතුරු බවටත් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විපරිණාම වෙයි. එහි මහාර්ඝ ඵල ලබන්නා පාඨකයා නැතහොත් සෙවුම්කරුවාය. සම්ප්‍රදායික දැනුම ලැබීමේ ක්‍රම නූතන තාක්ෂණික දියුණුවත් සමඟ ‘යාවජීව ඉගෙනුම’ බවට පත්ව ඇත. මෙම යාවජීව ඉගෙනුමෙහි නියුතු වන්නා බිත්ති හතරකට, පන්ති කාමරයකට, බිත්ති වලින් වටවූ පුස්තකාලයකට තවදුරටත් කොටු නොවෙයි. පාඨකයාට අවශ්‍ය වන්නේ බිත්තිවලින් තොර කඩඉම් නොමැති පුස්තකාලයකි. මුළු ලොවම විශ්ව ගම්මානයක් වූවා සේම මෙම කාර්යය සපුරාලන්නට පුස්තකාලය සදා විවෘත වූ විස්මිත පුස්තකාලයක් විය යුතුය. දැනුම කේන්ද්‍රගත සමාජයක දැනුම කළමනාකරණය දැන් ප්‍රාදේශීය මායිම් ඉක්මවා ගෝලීයකරණයට බඳුන් වී ගෝලීය දැනුම කළමනාකරණය පිළිබඳ සංකල්ප බිහිව ඇත. එහිදී ජීවිත කාලීන අධ්‍යාපනය, සාම්ප්‍රදායික අධ්‍යාපනය අතික්‍රමණය කර තිබේ. එම කර්තව්‍යයේදී සාම්ප්‍රදායික තොරතුරු ප්‍රභව වෙනුවට අන්තර්ජාලය, ලෝක ව්‍යාප්ත ජාල හා වෙබ් අඩවි ගත තොරතුරු ප්‍රභව, දත්ත පදනම් හා ග්‍රන්ථ සුචි මෙන්ම ඉලෙක්ට්‍රොනික ලිපි ලේඛන, සඟරා ලිපි හා ඉලෙක්ට්‍රොනික ග්‍රන්ථ ආදිය පරිශීලනය කිරීමට පාඨකයාට සිදුවෙයි. මෙහිදී ඉලෙක්ට්‍රොනික හා ඩිජිටල් පුස්තකාල ඉතා විශාල කාර්ය භාරයක් ඉටුකරයි. ඉතිහාසය පුරාම පුස්තකාලයේ සංවිධාන ව්‍යුහය, සංකල්ප හා කාර්යයන් නොකඩවා වෙනස් වෙමින් පවතී. දැනුම කේන්ද්‍රගත සමාජයේ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි ඇතැම් කාර්යයන් ඉවතලන ලද අතර නව කාර්යයන් හඳුන්වා දී ඇත. වෙනත් ඕනෑම ගතික සංවිධානයක් මෙන්ම පුස්තකාලයද සමාජයේ පවත්නා වෙනස්කම් අනුව එහි සේවාවන් හා නිෂ්පාදනය වෙනස් කරනු ලැබෙන අතර පුස්තකාලය පුද්ගලයන්ගේ හෝ සංවිධානවල තොරතුරු අවශ්‍යතා සපුරාලීමට බැඳී සිටී. සත්‍ය වශයෙන්ම පුස්තකාලයේ හැඩය, ප්‍රතිරූපය හා සංකල්පය සමාජය විසින් එහි අවශ්‍යතාවලට ගැලපෙන ලෙස විග්‍රහ කරනු ලබයි. සමාජය එහි තොරතුරු අවශ්‍යතාවන් වෙනස් කරන විට පුස්තකාලයේ තොරතුරු භාවිතා කිරීමේ ක්‍රම, තොරතුරු ඇගයීමේ උපායමාර්ග හා පුස්තකාලයේ භූමිකාව වෙනස් වේ. කෙසේ වෙතත් ‘සමාජයට අදාළ දැනුම බෙදාහැරීම’ යන පුස්තකාලයේ මූලික පරමාර්ථය වෙනස් නොවී පවතී. පුස්තකාලය යනු මූලික වශයෙන් තොරතුරු ද්‍රව්‍ය සංවිධානාත්මකව එකතු කර එහි අන්තර්ගතය උපරිම ලෙස භාවිතා කිරීමට පහසුකම් සලසන ආයතනයකි. නූතන යුගයේ විiුත් ජන සන්නිවේදනය මගින් ලබා ඇති දියුණුවත්, පොත්පත් ප්‍රකාශනය සම්බන්ධයෙන් ලබා ඇති දියුණුවත්, ප්‍රවාහන සේවා අතින් ලබා ඇති දියුණුවත් නිසා විශ්ව දැනුම් සම්භාරය එක් රටකට හෝ එක් ජාතියකට සීමා නොවී සමස්ත මානව වර්ගයාටම අයත් විශ්ව දැනුම් ජාලයක් බවට පත්වී තිබේ. මානව වර්ගයා සතු දැනුම් සම්භාරය රැස් කිරීම ඉතා වැදගත් මෙන්ම භාරදූර කාර්යයක් වන නිසා ලෝකයේ සෑම රටකම පුස්තකාල එකම කාර්යයෙහි නියැලී සිටී. දැනුම කේන්ද්‍රගත සමාජයක තොරතුරු අවශ්‍යතාවය ඇති අයගේ එකී අවශ්‍යතාවන් නිවැරදිව හා කාර්යක්ෂමශීලීව සපුරාදීම නූතන පුස්තකාලවල ප්‍රධාන පරමාර්ථය වේ. දැනුම බෙදාහැරීමේ ප්‍රධාන නියමුවා ලෙස ලොව පුරා විහිදී තිබෙන දැනුම ඒකරාශී කොට බෙදාහරිමින් මුළු මහත් සමාජයේම දැනුම් නිම් වළලු පුළුල් කිරීමට නූතන පුස්තකාල ඉටුකරන්නා වූ මෙහෙවර සුළුපටු නොවේ.

එම්. කේ. ගිවෝන් යානිකා නන්දසේන
වරලත් පුස්තකාලයාධිපතිනි
ජාතික විගණන කාර්යාලය

advertistmentadvertistment
advertistmentadvertistment