ප්‍රවේශම්වන්න ඔබේ පෙම්වතා දූෂකයෙක් විය හැකියි !

736

තනිවෙමු කියන යෝජනාව නිතරම නිවරැදි නැත.

පාසල් වියෙහි පෙම්වතුන් අතර තත්ත්වය බරපතළයි

සුරංගිගේ වයස යාන්තම් අවුරුදු 17 ක් විතර ඇත. ඉස්කෝලේ යන ගමන්ම සුරංගිගේ හිත ගිහිල්ලා තිබුණේ විමල්ට. විමල් වැඩ කළේ මොනරාගල තිබුණු පොත් සාප්පුවක. විමල්ගෙත් සුරංගිගෙත් ප්‍රේමය දලුලා වැඩෙන්නට පටන් ගත්තේ මොණරාගල බස් නැවතුමේදී මුල්ම වරට දෙන්න හමුවුණාට පස්සෙ.

දෙසැරයක් හැරිල බලන්න තරම් හැඩක් සුරංගිට තිබුණා. සුරංගිගේ ගෙදර කිසිම කෙනෙක් මේ ප්‍රේම පලහිලව්ව ගැන දැනගෙන හිටියෙත් නැහැ. දෙන්නාගේ ප්‍රේම කතාවට මාස තුනක් විතර ගතවුණාට පස්සෙ විමල් සුරංගිගෙන් ඉල්ලීමක් කළා.

මගේ යාළුවෝ හැම එකෙක්ම එයාලගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල එක්කල කොහේට හරි ගිහිල්ල තනිවෙලා ඉඳල තියෙනවා. අනේ පැටියෝ අපි දෙන්නත් ඒ වගේ තැනකට යමුද? සුරංගි විමල්ගේ මේ ඉල්ලීමට එකපාරටම කැමති වුණේ නැති වුණත් නිතර නිතර ඇවටිලි කරන නිසාම එයාට විමල්ගේ යෝජනාවට කැමැත්ත දෙන්න සිද්ධ වුණා. එදා.. විමල් තම ප්‍රේමවන්තිය ගැහැණියක බවට පත්කළා. විමල්ගේත් සුරංගිගේත් ආදර කතාව ටික දුරක් ගලාගෙන ගියා. ඒත් එකපාරටම විමල් “ආගිය අතක් නැතුව ගියා.” විමල් හොයාගෙන පොත් සාප්පුවට සුරංගි ගියත් ඔහු ඉන්න තැනක් ඇයට සොයාගන්න බැරි වුණා.

තමන් පත්වෙලා ඉන්න අසරණකම ගැන සුරංගිට කා එක්කවත් කියා ගන්න හැකියාවක් තිබුණේ නැහැ. එයා මැහිතෙල් බ්ව්වා. කාටත් නොකියාම සුරංගි මේ ලෝකෙන් යන්නම ගියා…

සුරංගි සේම තම ප්‍රේමවන්තයා, අනාගත සිහින කුමාරයා අතින් විපතට පත්වන අහිංසක තරුණියන්ගේ ප්‍රමාණය කොතරම්ද යන්න පිළිබද දත්තයන් පවා සොයා ගැනීම අසීරුය. තමන් ගේම ප්‍රේමවන්තයා අතින් අතවරයට පත්ව මේ ගැටලුව විඳදරා ගැනීමට මෙන්ම මවුපියන්හට තමන් පෙළෙන ගැටලුවේ ස්වභාවය අවබෝධ කර දීමට ඇති අසීරුතාව නිසාම රහසේම මෙලොව හැරගිය අහිංසක තරුණියන්ගේ සංඛ්‍යාව ද සුළුපටු නොවේ.

නූතනයේ අපරාධ විද්‍යාඥයන් සහ සමාජ විද්‍යාඥයන්ගේ ප්‍රබල අවධානයට ලක්ව තිබෙන මෙම බරපතළ සමාජයීය ගැටලුව ඔවුන් විග්‍රහ කරන්නේ Date Rape ලෙසටය. මෙයින් අදහස් කරන්නේ ඉතාම සමීපස්ථව සෙනෙහසින් ආදරය කරන හෝ එක්ව ජීවත්වන්නට ගිවිසගත් දෙදෙනකු අතර සිදුවන ලිංගික චර්යාවකි. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ යට කී සහකරු ලෙසට පෙනීසිටින තැනැත්තා අතින්ම ඇගේ අනාගත සහකාරිය, ප්‍රේමවන්තිය දූෂණයට ලක්වීමය.

ඇතැම් සමාජ විද්‍යාඥයන්ගේ මතවාද ප්‍රකාරව මෙබඳු ඇතැම් පුරුෂයන් ස්ත්‍රියක දුටු සැණින් ඇය හා හාදවී ඉන් අනතුරුව ඇගේ කැමැත්ත ඇතිව ඇය හා සමගින් එක්ව ඇයට ලිංගික බලහත්කාරකම් සිදුකරති.

ලාංකීය සමාජ තුළ තරුණියක තමන්ගේ ප්‍රේමවන්තයා සමගින් පවත්වන ඉතා සමීප ඇසුර නිසා ඔහුගේ ඉල්ලීම්වලට පිටුපා නොයන්නට ද ඇය වග බලාගනී. බොහෝ විට ප්‍රේම සබඳතාවක් ආරම්භ වී සතියක් දෙකක් ඉක්මවා යන්නට පෙරාතුව ලිංගික ඇසුරකට යොමුවීම වර්තමානයේ සාමාන්‍යකරණයක් බවට පත්වෙමින් තිබේ.

මෙබදු රාගික චර්යාවන්ගෙන් උන්මාද වූ ප්‍රේමවන්තයන් පිළිබඳව අපූර්වතම පර්යේෂණයක් Mandi Burnette සහ Emma Lucas යන පර්යේෂිකාවන් විසින් සිදුකර තිබිණි. ඔවුන් මෙබඳු ප්‍රේමවන්ත දූතයන් ගැන බොහෝ කාරණා හෙළිදරව් කරයි. ප්‍රේමවන්තයකුගේ සෙනෙහෙ දැලේ පැටළෙන යුවතියකට යාන්තම් කලක් ඉක්ම ගිය පසුව ප්‍රේමවත්තයාගෙන් නොයෙකුත් රාගික කාමුක යෝජනාවන් ගලා එයි. ප්‍රේමවත්තයා මෙහිදී යට කී යුවතියගෙන් විමසා සිටින්නේ තමන්ගේ අනෙක් මිතුරන් ඔවුන්ගේ ප්‍රේමවන්තියන් සමගින් රිසි සේ නිදහසේ ලිංගිකව හැසිරෙන බවත් තමන්ට ඒ අවස්ථාව ලබා නොදෙන්නේ මන්ද යන්නය.

ඔවූහු මේ සඳහා අනෙක් ප්‍රේමවන්තයන් පෙම් යුවළවල් ගතකරන දිවිය සහ තමන්ගේ ප්‍රේමවන්තිය සංසන්දනය කරන්නටද උත්සාහ ගනිති. තමුන්ගේ ප්‍රේම පුෂ්පය කෙලෙසින් හෝ කෙලෙසා දමන්නට වෙර වීරිය දරන මෙකී කාම ප්‍රේමවන්තයන් ඒ සඳහා විවිධ උපක්‍රම ද භාවිත කරයි. ඇයට බැණවැදීම, ඇය සමගින් දින ගණනාවක් කතාබහ නොකර සිටීම, තමන්ගේ යෝජනාවට අකමැති වුවහොත් සබදතාව නවතා දමන බවට තර්ජනය කිරීම, තමන් සමඟ එසේ හැසිරීමකට නොඑන්නේ ඇයට ප්‍රේමකරන ඔහු (ප්‍රේමවන්තයා) සැක නිසා බවද ඔවූහු ප්‍රකාශ කරති.

ප්‍රේම සබදතාවක් යුවතියක් ආරම්භ කරන්නේ දවසකින් දෙකකින් එය කෙළවර කරන්නට නොවේ. තරුණයාට එය තවත් එක් සබදතාවක් ලෙසට සිතුණාට තරුණියට එය එසේ නොවේ. තරුණයන් කිහිපදෙනකු සමගින් හාදකම් පැවැත්වීම අදටත් ඇයට ප්‍රශ්නගත චර්යාවක් බවට පත්වෙන්නේ අගේ ආත්මගරුත්වය ඇගේ චර්යාව චරිතය සමගින්මැ එකට බැඳී පවත්නා හෙයිනි. ප්‍රේමවන්තයා තමන් අත්හරීවි හෝ ප්‍රේමවන්තයා තමන් අනවරතයේ සැකකරාවිය යන මතය ඔස්සේ ම කල්පනා කරන ඇය ප්‍රේමවන්තයාගේ යෝජනාවට එකඟව ඔහුගේ අදහස ඉටුකර ගැනීමට යොමුවන්නීය.

නිදහස අගයන ලිංගික සදාචාරය පිළිබද තහංචි සීමා මායිම් අවම බටහිර යුරෝපීය විශ්වවිද්‍යාලයන්, උසස් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර හට ගන්නා ප්‍රේම සබඳතාවලින් අනතුරුව සිදුවන මෙබඳු ස්ත්‍රී දූෂණවල ස්වභාවයන් පිළිබඳව සමාජ සහ අපරාධ විද්‍යාත්මක පර්යේෂණ ගණනාවක් සිදුව තිබේ.

ලෝක ප්‍රකට අපරාධ විද්‍යාඥයකු වූ Larry J. siegal තමන්ගේ Criminology කෘතියේදී ඇමෙරිකාවේ සදාචාර ලිංගික චර්යාව පිළිබඳ ප්‍රශ්නාර්ථයක් ඉස්මතු කරයි. ඔහුගේ පර්යේෂණයන්ට අනුව ඇමෙරිකාවේ සරසවි වල ඉගෙනුම ලබන සිසුවියන්ගෙන් 15-30% අතර ප්‍රමාණයක් ස්ත්‍රී දූෂණයකට හෝ ස්ත්‍රී දූෂණයකට තැත්කිරීමකට ගොදුරුව තිබේ. මෙම කෘතියේම දැක්වෙන ආකාරයට 2006 වසරේ කරනු ලැබූ තවත් පර්යේෂණයකින් හෙළිදරව් වී ඇත්තේ ඇමෙරිකාවේ සරසවිවල ඉගෙනුම ලබන සිසුවියන්ගෙන් 27%කට සිප ගැනීම් හි සිට මෛථුනපය දක්වාම ලිංගික හිංසනයන්ට ගොදුරුව සිටි බවය.

ලිංගික සදාචාරය හා හැඳියාව ගැන ඉමහත් රුදාවෙන් කටයුතු කරනු අපට අපේ රටේ එබඳු ආයතනවල ලිංගික සදාචාරය යන චර්යාවන් ගැන කතා කිරීමට නොහැකිව ඇත්තේ ඒ පිළිබඳ සවිස්තරාත්මක දත්තවල ගැටලුව පාදකකොට ගෙනය.

තමන්ගේ ජීවිතය අනාගත බලාපොරොත්තු සියල්ලම තමන්ගේ සිහින කුමරාට භාරදෙන ප්‍රේමවන්තියන් ඔහුගේ අත්තෙන් අත්තට පනින චරියාව අවබෝධකර නොගනිති. අවසානයේදී බොහෝ විට මේ තරුණියන්ට ඉතිරි වන්නේ දුක සහ ගරා වැටී නටඹුන් වූ ආත්ම අභිමානය පමණි. මේ ප්‍රේමවන්තයාව මහමෙරක් ලෙස විශ්වාස කර ඔහුගේ ආශාවන් පිනවන ඇය අවසානයේ දී සිදු වූ වරදට තමන්ටම දොස් පවරා ගන්නා මුත් වරදකළ කෙනාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගවලට නොයති. “මට එයත් එක්ක එහෙම නොගිහින් ඉන්න තිබුණා” මේක මගේම වැරද්ද නිසාම වුණ දෙයක්” මේ ලෙසට සිතා ඔවුන් වැරද්දෙහි පශ්චාත් ප්‍රතිඵල තමන්ගේම පක්‍ෂයෙහිලා සාධරණීකරණය කර ගනිති.

බොහෝ විට සිංහල ජන සමාජයෙහි කතාබහ නොකරන යෞවන වියේ ලිංගික හැසිරීම්වල ප්‍රතිඵල සහ ඒ පිළිබඳ දැනුවත්විය යුතු ආකාරය පිළිබඳ අපේ යුවතියන් දන්නේ අල්ප වශයෙනි. ලාංකික ගැමි සමාජතලවල ළමාවියේම මාතෘත්වයට පත්වන ළමා මවුවරුන්ගේ ගැටලුව නිලීන සමාජ ප්‍රශ්නයක් බවට පත්වෙමින් තිබේ. ඇතැම් දැරියන්ට අතවර කර ඔවුන්ට තනිකර දමා වෙනතක සඟවා සිටිනු කරුණක් සේ කතා බහද ගමේ මෙන්ම නගරයේද බොහෝය.

අපේ තරුණියන්ගෙන් සාතිශය බහුතරය තවමත් සිතා සිටින්නේ සැබෑ ස්ත්‍රී දූෂණය (Real rape) ලෙසට හඳුන්වන්නේ අහිංසක තරුණියන් මහමඟ ගමන් කරන විට ගෙලට උල් පිහියක් තබා ඇයව ලන්දකට ඇදගෙන ගොස් ලිංගික හිංසනයකට භාජනය කිරීම බවය. තම ප්‍රේමවන්තයා අතින් මෙන්ම ලිංගික හිංසනයක් සිදුවීම ඔවුන් ඉහත ලෙස සාහසික අපරාධයක් ලෙසට කල්ගත කරන්නේද නැත.

විශේෂයෙන්ම ඉහළ පන්තිවල ඉගෙන ගන්න දරු දැරියන්ට ඔවුන්ගේ යෞවනෝදය සමයේදී මුහුණ දෙන සමාජීය තත්ත්වයන්
ගැන වඩ වඩාත් පැහැදිලි සහ නිරවුල් අවබෝධයක් ලබාදිය යුතු යුගය දැන් උදා වී තිබේ. තමන්ගේ හිරිමල් වියේදීම අනාගත සිහින ගොන්නට දෙපා අබියස කඩා නොගන්නට මේ තරුණ දියණියන්ගේ මනස සවි ශක්ත්මත් කළ යුතුව තිබේ.

නොයෙකුත් දත්ත වාර්තාවලට අනුව යුවතියගේ කැමත්ත මත ඇයව අතවරයන්ට සහ ලිංගික අපයෝජනයන්ට ලක් වීමේ පුවත් නිතර නිතර වාර්තාවේ. ලාංකික ග්‍රාමීය පරිසරවල ප්‍රේම සබඳතාවල පැටළෙන පාසල් දැරියන් තම ප්‍රේමවන්තයා යැයි තෝරාගත් තැනැත්තාගේ වංහුං කිසිවක් නොදනිති. එසේ ලබා ගත්ත ද බොහෝ විට ඒවා වංචා සහගත තොරතුරුය. පාසල් ප්‍රේමය කඳුළුවලින්ම නිමා කරගත් අපේ රටේ යෞවනියන් කොපමණක්ද ඔවුන්ට අහිමි වීම් සියල්ලකටම මුහුණ දීමට සිදුවෙයි. මේ අහිමි වීම් සියල්ලටම වඩා දැඩි වන්නේ සමාජමයඅවමානයයි. (social ridicole)

මෑත දිනකිහිපයක ළාබාල තරුණියන් ගංගාවලට දුම්රියවලට පණ තමන්ගේ දිවි තමුන්ම නැතිකර ගත් පුවත් කිහිපයක් පළ විය. සැබැවින්ම මෙයින් ඉස්මතු වන සමාජ යථාර්ථයකුමක්ද යහපත් වටහා ගැනීම වැදගත්ය.

වෙසෙසින්ම යෞවන දියණියන්ට මූලික නිවසේ දෙමාපියන් ගෙන් ආදරය සෙනෙහස නො අඩුව ලැබීය යුතුව ඇත. එහෙත් එබඳු ප්‍රසන්න පරිසරයක් අපේ දියණියන් කී දෙනෙකුගේ නිවෙස්වල දැකගත හැකි ද? නිවසේ ආදරය වියැළි වාෂ්ප වනවිට ඇය නව ආදරයක් උණුසුමක් සොයා යයි. එබඳු ගමන්වලදී ඇයට ඇතැම් විටෙක කාමශක්තියකු හමුවීමටත් ඉඩකඩ ඇත. අවසානය ඔහුගේ රාගික ආශාවන්ට මේ අහිංසක දියණිය ගොදුරක් විය හැක්කේය. දයාබර මවක පියකු ලෙසට ඔබේ දියණියට වඩ වඩා ආදරය කරන්න. සෙනෙහස දක්වන්න. ඇගේ ජීවිතයේ සවිමත්ව අත්තිවාරම ඔබ දෙපළනම් පිටස්තරයකුට ඒ අත්තිවාරම කඩා බිඳ දමා ඇය වෙතට සමීප විම කළ නොහැක්කකි.

ඩබ්ලිව්. ඒ සරත්චන්ද්‍ර
සමාජවිද්‍යාව, අපරාධ විද්‍යා පිළිබඳ හිටපු කථිකාචාර්ය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment