පිහිට වෙන බව කියා දෙදරු මවගෙ ශාන්තිකර්මයට ආ කට්ටඩියාගෙන් අමුතු කර්මයක්

1752

උඹේ පිහිටට ආ ගැලවුම්කාරයා මමයි.

පූජකතුමා උඹේ ශරීරයට කැමතියි.. අකමැති වුණොත් කාලි මෑණියන්ගේ දේව ශාපයට ලක්වෙයි…..

මිනුවන්ගොඩ කලවාන ප‍්‍රදේශයේ පිහිටි ‘‘දෙවොල් දේවාලය” ප‍්‍රදේශයේ කා අතරත් ජනප‍්‍රියව පැවතුණේ දේවාරූඪයෙන් රෝග සුවපත් කරන ස්ථානයක් ලෙසය. එබැවින් දෙවියන්ගේ පිහිට පතා නිතර එහි යන එන පිරිස ද බොහෝ වෙති. එහි භාරකාරත්වය දරණු ලබන කපුවා තිස්හත් හැවිරිදිය. විවාහක පුද්ගලයෙක්ය. දෙවියන්ට කපුවා විසින් ආවතේව කරන අතර කපුවාගේ ආවතේවකම් භාරව කටයුතු කරනු ලබන්නේ ඔහුගේ බිරිඳ විසින්ය. දෙවියන් විසින් නොමිලේ ලබා දුන් ‘‘වරම” ඉහළ මිල ගණන් යටතේ අලෙවි කොට මුදල් ඉපයීම පරමාර්ථය කොටගත් දෙවොල් දේවාලයේ පිහිට පතා එහි පැමිණෙන පිරිස තම කන්නලව්ව කපුවා ඉදිරියේ හෙළිදරව් කළ පසු ඒ සඳහා විසඳුම් පිණිස මිල නියම කරනු ලබන්නේ ‘‘දෙවියන්” විසින්ය. මුදල් කපුවාගේ ලාච්චුවටය.

දිනක් එක්තරා රූමත් කාන්තාවක් දේවාරූඪයෙන් රෝග සුවපත් කරන මෙම ස්ථානය වෙත පැමිණෙන්නේ අවුරුදු එකහමාරක් පමණ වයසැති තම දරුවාට වැළඳී ඇති රෝගයක් නිට්ටාවට සුවපත් කර ගැනීමේ අරමුණින් යුක්තවය. මිනුවන්ගොඩ යටියන ප‍්‍රදේශයේ පදිංචි එම කාන්තාව එදින දේවාල භූමිය වෙත පිය න`ගන්නේ සිය පියාණන්ද සමඟය. දේවාල භූමියට ළඟා වන මෙම කාන්තාව කපුවා ඉදිරියේ තම කන්නලව්ව ඉදිරිපත් කොට බැගෑපත්ව ඉල්ලා සිටින්නේ කෙසේ හෝ තම දරුවා සුවපත් කර දෙන ලෙසය.

කපුවා දේවාරූඪ වන්නේ ඉන් අනතුරුවය. දේවාරූඪ වන කපුවා එහිදී කාන්තාව අමතා පවසා සිටින්නේ ඇයගේ කුඩා දරුවා බන්ධනයකට ලක් කොට තිබෙන බවත් දරුවාගේ ජීවිතය පවා ඒ හේතුවෙන් ඉදිරියේදී අනතුරට ලක්වීමේ අවධානමක් පවතින බවත්ය.

තම දරුවාගේ ජීවිතය අනතුරට ලක්වන බව දෙවියන්ගෙන් ලත් වරමක් අනුව කපුවා විසින් පවසා සිටීම ඇයට කෙසේවත් උහුලාගත නොහැකි දෙයක් බවට පත්ව ඇත. දරුවාගේ ජීවිතය බේරා ගැනීම පිණිස විසඳුම ඇත්තේ දෙවියන් තුළ පමණය. කපුවා පවසා සිටින පරිදි දරුවාගේ ජීවිතය ඇත්තේ දෙවියන් අතේය. තම දරුවා තවදුරටත් ජීවත් වනු දැකීමට නම් දෙවියන්ගේ පිහිට පැතිය යුතුමය. තමන් පැමිණ ඇත්තේ නියම ස්ථානය වෙතය. තම පුතනුවන් පත්ව ඇති රෝගී තත්ත්වයන් මුදවා ගැනීම පිණිස සුදුසුම ස්ථානය මෙතැනය. එලෙස අනුමාන කරන මෙම තරුණ කාන්තාව කපුවෙකු මාර්ගයෙන් දෙවියන් හා ගනුදෙනු කිරීම ආරම්භ කරනු ලබන්නේ ඒ ආකාරයෙන්ය. එදින කපුවා විසින් අය කර ඇති මුදල රුපියල් 10000ක්ය. එම මුදල දරුවාට අත්ව ඇති විපත පිළිබඳ පැවසීම පිණිස අය කළ මුදල පමණය. බලි, තොවිල්, ශාන්තිකර්ම ආරම්භ වන්නේ ඉන් අනතුරුවය.

මේ අවස්ථාවේ මිනුවන්ගොඩ යටියන ප‍්‍රදේශයේ පිහිටි මෙම කාන්තාවගේ නිවසට පැමිණෙන කපුවා සහ ඔහුගේ බිරිද රෝගී දරුවා වෙනුවෙන් විවිධ ශාන්තිකර්ම සිදුකිරීම ආරම්භ කර ඇත. එලෙස අවස්ථා කිහිපයකදීම ඔවුන් තම නිවසක පැමිණීම හේතුවෙන් කෙටි කලක් ඇතුළත නිවෙස් හිමි කාන්තාව සහ කපු යුවළ අතර දැඩි හිතවත්කමක් ද ගොඩනැගී ඇත. එම හිතවත්කම කොතෙක් ද යත් මාස කීපයක් ගත වන විට කපුවා පමණක් එම නිවසට පැමිණ ශාන්තිකර්ම සිදු කිරීමට තරම් එම හිතවත්කම සවිමත් එකක් වී ඇත. නවීන පන්නයේ දෙමහල් නිවසක් වූ එම නිවසේ හිමිකරු රජයේ උසස් රැකියාවක් කරන පුද්ගලයකු වූ අතර ඔහුගෙන් මෙම තොරතුරු වසන්කර තැබීමට මෙම කාන්තාව විසින් නිතර කටයුතු කර ඇත්තේ තම ස්වාමි පුරුෂයා දේව විශ්වාසයන් කෙරෙහි එතරම් විශ්වාසයක් නොතබන අයෙකු වීම හේතුවෙන්ය. එබැවින් නිවස ‘‘දෙවියන්ගේ අඩවියක්” බවට පත්වන්නේ ඔහු රැකියාව පිණිස නිවසින් පිටත්ව ගිය පසුවය.

ඉකුත් දිනක දේවාරූඪයෙන් රෝගීන්ට ප‍්‍රතිකාර කරනු ලබන කපුවා අදාළ කාන්තාවගේ නිවසට පැමිණ ඇත්තේ ඇයගේ ස්වාමි පුරුෂයා එලෙස රාජකාරිය පිණිස නිවසින් බැහැරව ගිය අවස්ථාවකය. එහිදී තමන් පැමිණි කාරණය සඳහන් කරමින් නිවෙස් හිමි කාන්තාව අමතමින් කපුවා සඳහන් කර සිටින්නේ නිවසේ සහ නිවැසියන්ගේ ආරක්ෂාව පිණිස පළමුව ‘නිවාස ආරක්‍ෂාවක්’ සිදුකළ යුතු බවත් ඉන් අනතුරුව ශාන්තිකර්මයක් සිදුකළ යුතු බවත්ය. ඒ කටයුත්ත පිණිස සූදානමින් එදින එම නිවසට පැමිණි බවත්ය. තමන් සමීපයට පැමිණ සිටින ‘‘දෙවියන්ගේ දූතයා” විසින් කරන ලද ඉල්ලීම කිසිසේත් ඉවත දැමිය නොහැක. ඒ අනුව අවශ්‍ය කටයුත්ත පිණිස වටපිටාව සූදානම් කරන කාන්තාව ඉන් අනතුරුව ශාන්ති කර්මය සඳහා අවසර ලබා දී ඇත.

ශාන්තිකර්මය ආරම්භ වන්නේ නිවසේ ‘‘හතර කොන” ආරක්ෂා කිරීමෙන් අනතුරුවය. දෙමහල් නිවසෙහි උඩු මහලේ ආරම්භ වන ශාන්තිකර්මය අතරතුර හිටි අඩියේ දේවාරූඩ වන කපුවා අත් පා වෙව්ලමින් හිස දෙපසට සලමින් දෙවියන් දුන් පණිවිඩය කාන්තාව හමුවේ සැලකර සිටින්නේ මේ ආකාරයෙන්ය.

‘‘දරුවා… උඹෙ පිහිටට ඉන්න ගැලවුම්කාරයා මමයි.. මේ පූජකයට තව බිරිඳක් හිටියට කමක් නෑ…. පූජකතුමා උඹේ ශරීරයට කැමතියි.. ඒ බව කාලි මෑණියන් පවසනවා.. උඹ අකමැති වූණොත් කාලි මෑණියන්ගේ දේව ශාපයට ලක් වෙනවා….”

වඳින්නට ගිය දේවාලය නිවෙස් හිමි කාන්තාවගේ හිස මත කඩා වැටෙන්නේ ඒ ආකාරයෙන්ය. ඒ අනුව දෙවියන්ගේ නාමයෙන් එම කාන්තාව බියගන්වන කපුවා ඉන් අනතුරුව උඩු මහලේ පිහිටි නාන කාමරයක් තුළදී ඇයව දූෂණයට ලක්කර ඇති අතර ඒ බව පිටස්තර කිසිවකු සමග හෝ පැවසීම ‘‘දේව උදහසට” කාරණයක් බව පවසමින් නැවත වතාවක් එම කාන්තාව බිය වැද්දීමට ද කටයුතු කර ඇත.

මේ අතර තමන් නිවසේ නොමැති අවස්ථාවල යමක් සිදු වන බව ඉවෙන් මෙන් වටහා ගත් අදාළ කාන්තාවගේ ස්වාමි පුරුෂයා ඒ පිළිබඳව තම බිරිඳගෙන් අවස්ථා කීපයකදී විමසා ඇතත් තමන් මුහුණ දුන් අමිහිරි අත්දැකීම ඔහු හමුවේ නොපවසා සිටීමට මෙම කාන්තාව විසින් කටයුතු කර ඇත. ඊට හේතුව බවට පත්ව ඇත්තේ එය තම ස්වාමි පුරුෂයා දැනගැනීම ගැටුමක් දක්වා දුරදිග යන කරුණක් වීම හේතුවෙන්ය. කෙසේ වුවත් දිගින් දිගටම එය රහසක් ලෙස ආරක්ෂා කර ගැනීමට ඇය අපොහොසත් වී ඇත. ඊට හේතුව බවට පත්වන්නේ අසල්වාසීන් විසින් ලබා දුන් යම් යම් තොරතුරුය. ඒ අනුව දිනක් දෙවියන්ගේ පිහිට පැතීමේ මුවාවෙන් දෙවොල් දේවාලය වෙත යන මෙම කාන්තාවගේ ස්වාමිපුරුෂයා සැකකටයුතු කපුවා සමඟ යම් කරුණක් සම්බන්ධව බහින්බස්වීමක් සිදුකරගන්නා අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස කපුවා විසින් මිනුවන්ගොඩ පොලිසියේ ඔහුට විරුද්ධව පැමිණිල්ලක් සිදුකර ඇත.

ඉකුත් දිනක දෙපාර්ශ්වය පොලිසිය වෙත පැමිණෙන්නේ එම පැමිණිල්ලේ විභාග කටයුතු සිදුකිරීමට පොලිසියට සහාය වීම පිණිසය. මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් මහේෂ් මහතාගේ මෙහෙයවීම මත සිදු වූ එම පරීක්ෂණයේ දී ඉහත සිදුවීම සම්බන්ධයෙන් එතෙක් අනාවරණය නොවූ වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති අතර ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරිනියක් විසින් දිගින් දිගටම කරන ල ද ප‍්‍රශ්න කිරීම් හමුවේ දූෂණයට ලක්වූ කාන්තාව විසින් මෙම තොරතුරු හෙළිදරව් කොට ඇත. මේ සම්බන්ධව මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ පොලිස් සැරයන් සුදත් චන්ද්‍රසිරි අධිකරණයට කරුණු වාර්තා කර සිටීමෙන් අනතුරුව සැකකටයුතු කපුවා ඉකුත් 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්නට නුවන්ගොඩ වැඩබලන මහෙස්ත‍්‍රාත්වරිය විසින් නියෝග කොට ඇත.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment