කොරියානු රැකියා දීමට මුදල් අය කර සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වූ පේරාදෙණියේ ඒජන්සි හිමිකරු මාට්ටු

243

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමත වලංගු රැකියා අනුමැතියකින් තොරව දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් අයකර, අයැදුම්පත් රැස්කර සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ පේරාදෙණිය Upcountry Manpower ආයතනයේ හිමිකරු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් 10 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ.

පේරාදෙණිය, ගැටඹේ, දංගොල්ල පාර, ශ්‍රී අමරවංශ මාවත යන ස්ථානයේ දකුණු කොරියාවේ රැකියා සඳහා බඳවාගැනීම් සිදුකිරීමට සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත එම ස්ථානය වටලා ඇත.

වැටලීම සිදුකරන අවස්ථාවේ දකුණු කොරියානු රැකියා ලබාගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා විශාල පිරිසක් එහි පැමිණ සිටි අතර එහිදී මෙම ජාවාරම මෙහෙයවූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ස්ථානයේ තිබී දකුණු කොරියාවේ රැකියා ලබාදීමට පුද්ගලයන්ගෙන් රැස්කළ විදේශ ගමන් බලපත්‍ර 275 ක්, රැකියා අයැදුම්පත් හා පොලිස් වාර්තා ඇතුළත් ලිපිගොනු 615ක්, විදේශ ගමන් බලපත්‍ර භාරගැනීමේ ලේඛනයක්, කොරියානු භාෂාවෙන් සඳහන් අයැදුම්පත් ඇති ලිපිගොනු, කොරියාවේ

රැකියා ඇබෑර්තු ඇති බව සඳහන් බැනරයක් ඇතුළු ලේඛන රැසක් විමර්ශන නිලධාරීන් භාරයට ගන්නා ලදී.

සැකකරු, කාර්යාංශයේ අනුමත වලංගු රැකියා ඇණවුමකින් තොරව රැකියා සඳහා පුද්ගලයන් බඳවාගැනීමට සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමේ චෝදනාව මත පසුගිය 11දා මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමටත්, වැඩිදුර නඩු විභාගය සැප්තැම්බර් 01 දා යළි කැඳවීමටත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

රැකියා අපේක්ෂිතයන් 3000ක පමණ පිරිසක් මෙම වංචාවට හසුව ඇති බවට විමර්ශන නිලධාරීන්ට තොරතුරු ලැබී ඇති අතර, ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන කාර්යාංශය විසින් මෙහෙයවනු ලබයි. මෙම අත්අඩංගුවට ගැනීම සඳහා කාර්යාංශයේ විමර්ශන අංශයේ කළමනාකරු කපිල කරුණාරත්න හා විමර්ශන නිලධාරීන් වන සරත් විමලවීර, වසන්ත ඒකනායක, මදුෂාන් විජේවර්ධන, නදීකා චන්ද්‍රමාලි හා ගයේෂා සුභාෂිණි යන නිලධාරීහු එක් වූහ.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයකුට මුදල් ලබාදීමට පෙර එම ආයතනයට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිත ආයතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී තිබේදැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂිතයන්ගෙන් ඉල්ලා සිටියි.

වලංගු අනුමැතියකින් තොරව විදේශ රැකියා ලබාදෙන බවට මුදල් අයකරන පුද්ගලයන් හෝ ආයතන පිළිබඳව තොරතුරු දන්නේ නම් කාර්යාංශයේ ක්ෂණික ඇමතුම් අංකය වන 1989 ඇමතීම මගින් හෝ කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ දුරකථන අංකය වන 0112864241 අංකය ඇමතීම මගින් කාර්යාංශය වෙත දැනුම් දෙන මෙන් ඉල්ලීමක් කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment