හිටපු කෘෂි ඇමැති ගොවීන්ට දීපු ඉඩම වත්මන් ඉඩම් ඇමැති හිතවත් පවුලකට දීලා විරෝධතා!

288

මහියංගණ බදුල්ල ප්‍රධාන මාර්ගයේ, මහියංගණ පොදු ක්‍රීඩාංගණය ඉදිරියේ පෞද්ගලික හා රාජ්‍ය බැංකුවක් අතර පිහිටි රජයේ ඉඩම් කැබැල්ලක්, 2004 පැවැති ආණ්ඩු සමයේ කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් මහියංගණ නගරයේ “කෘෂි උපකරණ අලෙවි මධ්‍යාස්ථානය“ක් සඳහා වෙන් කර උත්සවශ්‍රීයෙන් මුල්ගල තබා ආරම්භ කරනු ලැබුවද, වත්මන් ඉඩම් ඇමැතිවරයාගේ මැදිහත්වීමෙන්, මහියංගණ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකුගේ පවුලේ අයෙකුගේ නමින් එම බිම් කොටස ලබාදීමට කටයුතු කර ඇතැයි පවසමින් ඊට විරෝධය පල කරමින් අදාල ඉඩම ඉදිරියේදී ඊයේ (14) උදෑසන පිරිසක් විරෝධතාවක නිරතවූහ.

මහියංගණය යනු ගොවිජනපද ව්‍යාපාරයක් බවත්, දම්බරාව, සොරබොර, මාපාකඩවැව, නාගදීපය, සී කලාපය, මහවැලි ගගෙන් එහාපැත්ත මිණිපේ ගොවි ජනපදය ආදී විශාල ගොවි භූමි ප්‍රමාණයකට මධ්‍යස්ථානයක් වු ස්ථානයක ගොවි ජනතාව වෙනුවෙන් පර්චස් 72ක ඉඩම් කොටස කෘෂි උපකරණ අලෙවි මධ්‍යාස්ථානයක් හා ගොවීන් සඳහා බැංකුවක් ඉදිකිරීමට වෙන් කරන ලද භූමියක් වර්තමාන ඉඩම් අමාත්‍යවරයා විසින් මහියංගණ ප්‍රා දේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකුගේ පවුලේ සාමාජකයෙකු වෙත දීර්ඝ කාලීන බදු පදනම මත පැවරීමට කටයුතු කර ඇති බව විරෝධතාවයේ යෙදී සිටි පිරිස පවසති.

අවුරුදු 18ක් තිස්සේ ගොවිජනතාව වෙනුවෙන් රැක ගත්ත මෙම ඉඩම් කොටස, මුළුමහත් ගොවි ජනතාවට අයත් වුද, ගොවි සමිතිවලට අයත් වු ඉඩමක් දේශපාලන මැදිහත් වීමෙන් එක් පුද්ගලයෙකුට ලබාදීමට කටයුතු කිරීම මුළුමහත් ගොවිජනතාවට සිදු කරන ලද බලවත් අසාධාරණයක් බවත්, මහියංගණය නියෝජනය කරන පාර්ලිමේන්තු ඇමැතිවරයාද මේ සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්, මහියංගණයේ රජය සතු සීමිත ඉඩම් මෙවැනි ආකාරයෙන් පෞද්ගලික අයවළුන් සඳහා පැවරීම තරයේ හෙළා දකින බවද, ගොවි ජනතාවගේ ඉඩම්, ගොවි සමිතිවලට අයිති ඉඩම් මංකොල්ල කන තත්වයට පත් වූ මේ ආණ්ඩුව ලැජ්ජා වියුයුතු යැයි විරෝධතාකරුවන් පැවසීය.

මහියංගණ – රංජිත් කරුණාවීර

advertistmentadvertistment
advertistmentadvertistment