පොත් බඳින්න කොළඹ ඇවිත් ‘මැඳුරක්’ ඉදිකළ ගොඩගේ

237

● මුලින්ම අකුරු හදන්න ඉගෙන ගත්ත. පඩිය රු. 5.00 යි.

● බළංගොඩ ආනන්ද මෛත්‍රිය නායක හාමුදුරුවන්ගේ ඇසුර ලබන්න මම පිංකරල තිබුණා.

● කොළඹට එද්දී මට වයස 17යි. එදා මගේ අරමුණ වෙලා තිබුණේ එදා වේල හොයා ගැනීමයි.

● 1986 සිට මේ වනතෙක් වැඩිම රාජ්‍ය සම්මාන ලබාගත් පොත් ප්‍රකාශකයා ට හිමි රාජ්‍ය සම්මානය ලබාගැනීම මා ලද භාග්‍යයක්.

● ප්‍රකාශයට පත් කරන ලද පොත් සංඛ්‍යාව 50,000ට අධිකයි.

අසුන් ගන්නා ලෙස මා හට අතින් සන් කළ හේ ඉන් අනතුරුව මද සිනහවකින් යුතුව තම අසුන මත පහසු ඉරියව්වකින් අසුන් ගත්තේය. මරදාන ගොඩගේ පොත් මැඳුර ඉහළ මාලයක පිහිටි එම කාර්යාලයීය කාමරයේ එක් පසෙක ඔහු විසින් සිදුකරන ලද සාහිත්‍යය මෙහෙවර අගයනු වස් ප්‍රදානය කරන ලද සම්මාන සහතික ආදිය පිළිවෙළට තබා ඇති ආකාරය දැකගත හැක. මේසය මත කියවා ඉවර කරන ලද දිනපතා පුවත්පත් කීපයක් විය. ඒ හැරුණු කොට මුද්‍රණය කරන ලද කුඩා දහම් පුස්තක විශාල ප්‍රමාණයක් ඔහුගේ කාර්යාලීයිය කාමරය තුළ දැක ගතහැකි විය. වාතාශ්‍රය හා මුසුව පැවැතියේ පොත් පත් කෙරෙහි සිත බැඳි බොහෝ දෙනෙක් හොඳින් හඳුනන පොත පතින් හමාඑන නැවුම් සුවඳකි.

අපගේ කතා බහ ආරම්භ වන්නේ ඉහත සඳහන් සිත්ගත් වටපිටාවක් තුළය. මෙරට ප්‍රකාශන ක්‍ෂේත්‍රයේ ‘සිරිමත් මුද්‍රාව’ බඳු සිරිසුමන ගොඩගේ නම් මහා මිනිසා සහ මා අතර සිදුවෙමින් පැවැති කතාබහ ආරම්භය පිණිස බොහෝ මංපෙත් ඇතත් හේ ඒ සඳහා ආරම්භය ලබා ගත්තේ තමන් මේ වනවිට ගත කරමින් හිඳින සැහැල්ලු දිවි පෙවෙත ගැන කෙටි හැඳින්වීමක් සිදුකරමින් ය.

“මම දැන් ගතකරන දවස ගත්විට දවසින් පැය දෙකක පමණ කාලයක් මගේ ආයතනයේ රැඳිල ඉන්නව. කොළඹින් බැහැර වැඩකටයුත්තක් යෙfදුණේ නැත්නම් දිනපතා ම මගේ කාර්යාලයට එනවා. ඒ ඇවිත් පුරුදු පරිදි ආයතනයේ වැඩ කටයුතු පිළිබඳව සොයාබැලීමක් සිද්ධ කරනවා. ඊට අමතරව මා මුණගැසීම පිණිස පැමිණ සිටින ලේඛක, ලේඛිකාවන් හා කතාබහ කිරීමත් මා විසින් පුරුද්දක් හැටියට කරගෙන යනවා. ඒක මට ලොකු ආස්වාදයක් ගෙන දෙන කටයුත්තක්. වෙනද වගේ ම මට ආරාධනා ලැබෙන උත්සව ආදියට නොවැරදීම සහභාගි වෙනව. පොත පත කියවනව. විශේෂයෙන් ම නිර්මල බුදු දහම වර්තමාන සමාජය තුළ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව විචාරාත්මක සටහන් ලියමින් ඒවා දහම් පුස්තක ලෙස මුද්‍රණය කරමින් ජනතාව අතරට ගෙන යන්නත් කටයුතු කරමින් ඉන්නවා….”

පොත් බඳින්න කොළඹ ඇවිත් ‘මැඳුරක්’ ඉදිකළ ගොඩගේ
සිරිසුමන ගොඩගේ, නන්දා ගොඩගේ යුවල

මේ වනවිට මෙරට ප්‍රකාශන ක්‍ෂේත්‍රයේ නොමැකෙන මුද්‍රාවක් තැබීමට සමත්ව සිටින විසල් මිනිසා තමන් මේ වනවිට අත්විඳිමින් සිටින සැහැල්ලුව විස්තර කර සිටියේ ඒ ආකාරයෙන් ය. ඔහු යුගයේ මහා පොත් ප්‍රකාශකයා වුවද ඒ පිළිබඳ උදම් අනන්නෙක් නොවීය. සිරිසුමන ගොඩගේ ජීවන දර්ශනය ද එයම ය.

‘මගේ උපත සිද්ධවුණේ 1936 අවුරුද්දේ. අම්මයි තාත්තයි එක්ක අපි එකොළොස්දෙනෙක්. අපේ තාත්තා දුප්පත් අඳ ගොවියෙක්. අපි දුප්පත්කමින් හොඳට ම බැට කෑ පවුලක්. වේලක් නොකා වේලක් කාල හරි මාවත් අධ්‍යාපනයට යොමු කන්න අම්මයි තාත්තයි කටයුතු කළා. 1942 අවුරුද්දෙ පාලටුවේ ගුණරත්න පාසලට ඇතුළු වූ මා අවුරුදු 15ක් වෙනතුරු අධ්‍යාපනය ලැබුවා. හත්වැනි පන්තියට වෙනතෙක් පාසලේ දක්‍ෂත ම ශිෂ්‍යයෙක් විදිහට මම අධ්‍යාපන කටයුතුවල නිරත වුණා. ඔහොම කාලයක් ගතවෙද්දී දුප්පත්කම විසින් අපිට හොඳට ම බැට දෙන්න ගන්නවා. එතැනදී මම තීරණයක් ගන්නව අම්මගෙයි තාත්තගෙයි ජීවන බර හෑල්ලු කරන්න මොනව හරි දෙයක් කරල කීයක් හරි හම්බ කරන්න ඕන කියලා…”

ජීවිතේ මහන්සිය පමණටත් වඩා අත්විඳ ඇති සිරිසුමන ගොඩගේ පසු කලෙක තමන් මුහුණ දුන් අත්දැකීම් විස්තර කර සිටින්නේ එම අතීතයට කරන ගෞරවයක් වශයෙනි. 15 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙක් ලෙස තණකොළ කපා මිටි බැඳ කරත්තකරුවන්ට විකිණීම, වත්තේ කුරුම්බා කඩා කරගසා ගෙන ගොස් විකිණීම සහ ගොටුකොළ, මුගුණුවැන්න ආදී පලා වර්ග අලෙවිකොට කීයක් හෝ උපයා ගැනීමත් මගින් පවුලේ ආර්ථිකයට යම් ශක්තියක් එකතු කළ සිරිසුමන ගොඩගේ අවසානයේ දී සිය උපන් ගම්බිම් අතැර කොළඹ පැමිණීමට තීරණයක් කරනු ලබන්නේ, ඒ වන තෙක් තමන් ඇතුළු පවුලේ සාමාජිකයන් මුහුණදුන් දැඩි ආර්ථික දුෂ්කරතාවන් කෙසේ හෝ ජය ගැනීම පිණිස ය.

“මට ඒ වනවිට හරියට ම අවුරුදු 15 යි. ගමේ තවත් මිතුරන් දෙදෙනෙක් එක්ක මම ගමින් ආව. ඒක අරමුණක් සහිතව පැමිණි ගමනක් නෙවෙයි. ඒ ඇවිත් තැන් තැන්වල පොඩි පොඩි රස්සා කරන්න ගත්තා. මුලින්ම වැඩ කළේ කළුතර කටුකුරුන්දෙ කඩයක. ඊට පස්සේ රත්මලානෙ සුරතල් මසුන් අලෙවි මධ්‍යස්ථානයක ටික කාලයක් වැඩ කරනව. ඔහොම වැඩ කරමින් ඉන්න අතරේ මගේ මතකයට ආව අපේ ඥාතිවන අයිය කෙනෙක් වරායෙ වැඩකරනව නේද කියලා. මම ගිහින් එයාව මුණගැහෙනව. අයිය ඇතුළු දරු පවුල පදිංචිව සිටිය ගෙදර අයිතිකාරයට දර මඩුවක් තිබුණා. මමත් ඒ ගෙදර ටික කාලයක් නතර වෙලා කුමක් හෝ රස්සාවක් හොයාගන්න උත්සාහ කරමින් ඉන්න අතරේ අර දරමඩුවෙ පලන දර අත් කරත්තයක පටවගෙන ගෙවල්වලට ගිහින් දුන්න. ඒකට ගෙවීමක් විදිහට මට ලැබුණෙ ශත දහයයි…’

අතැන මෙතැන රැකියා කරමින් ජීවත්වීමට කීයක් හෝ ඉපයීම පිණිස වෙර දරන සිරිසුමන ගොඩගේ නම් තරුණයාහට ඥාතීත්වයෙන් ‘බාප්පා’ වන පුද්ගලයකු මුණගැසෙන්නේ කරත්ත රස්සාවේ නිරත වෙමින් සිටි එක්තරා දිනක ය. කරත්තයෙන් පොල් පටවාගෙන ගොස් වෙළෙඳාමේ නිරත බාප්පාත් අත් කරත්තයේ දරමිටි පටවා ගෙන ගොස් අලෙවි කරන‘ පුත්‍රයා’ගේත් මේ අහඹු මුණගැසීම සිරිසුමන ගොඩගේ නම් තරුණයාගේ ජීවිතය වෙනස් කළ සුවිශේෂී සිදුවීමක් බවට පත්වන්නේ එතැන් සිට ය. ඉන් අනතුරුව තම බාප්පාගේ නිවස නිදිපොළ බවට පත්කර ගන්නා සිරිසුමන ගොඩගේ එතැන් සිට තම ජීවිතය සම්බන්ධයෙන් සිදුවූ සුවිශේෂී සිදුවීම් විස්තර කර සිටින්නේ මේ ආකාරයෙන් ය.

“බාප්පගේ උදව් උපකාරයෙන් දෙමටගොඩ පිහිටි එන්. ජේ. කුරේ සමාගමේ අකුරු හැදීමේ රස්සාවට යන්න මට අවස්ථාව ලැබෙනව. එතැන තමයි මගේ වත්මන් ජීවිතයේ ආරම්භය සිදුවූ ස්ථානය. ඒ ආයතනයෙන් නවාතැන් පහසුකම්, කෑම බීම සහිතව මට රුපියල් 5.00ක වැටුපක් ලැබුණා. එතැනත් අවුරුදු 1 1/2 කට වැඩිය හිටියේ නෑ. ඊට පස්සේ ඩී. පී. දොඩන්ගොඩ සමාගමට බාප්ප විසින් මාව හඳුන්වල දුන්නා. ඒ සමාගමේ මුද්‍රණාලය තිබුණේ මොරටුවේ. එතැන වැඩ කරද්දී දවසකට ශත 25ක් ගෙවනව. ඒ කාලේ හැටියට ඒක ලොකු මුදලක්. එතැනදී තමයි මම මුල් වරට පොත් බැඳීම හා මුද්‍රණ කටයුතු පිළිබඳ හොඳ පුහුණුවක් වගේම අවබෝධයක් ලබා ගත්තේ.”

එය දිගු ගමනක ආරම්භය බවට පත්ව ඇත. දශක කීපයක් ඈතට දිවයන එම අතීත සිදුවීම් එකින් එක ගෙනහැර දැක්වීම පිණිස මෙවැනි සටහනක් කිසිසේත් ප්‍රමාණවත් නැත. මෙරට පොත් ප්‍රකාශන ක්‍ෂේත්‍රය තුළ අප්‍රමාණ මෙහෙවරක නිරත දේශබන්දු සිරිසුමන ගොඩගේ ගේ ජීවිතය ‘පොතක්’ නම් මෙහි සඳහන්ව ඇත්තේ ඉන් අල්පයක් පමණය. එම අල්ප වූ ඉඩකඩ තුළ ලියා තැබිය යුතු තවත් වැදගත් ම සිදුවීමක් ඇත. එනම් සිරිසුමන ගොඩගේ නම් දිරියවන්ත තරුණයාගේ ජීවිතයට අලුත් හැඩයක් එක්කළ මහා යතිවාරයාණන් වහන්සේ නමක් මුණගැසීම පිළිබඳව වන අසිරිමත් සිදුවීමය.

පොත් බඳින්න කොළඹ ඇවිත් ‘මැඳුරක්’ ඉදිකළ ගොඩගේ

සිරිසුමන ගොඩගේ ඒවනවිට තවත් ‘පාට් ටයිම්’ ජොබ් එකක නිරතව ඇත. ඒ අනුව විද්‍යෝදය පිරිවෙනට ගොස් එහි නේවාසික ස්වාමීන් වහන්සේලාහට පොත් ප්‍රවේශම් කර ගැනීමේ වැදගත්කම පහදා දෙමින් අඩු මුදලට පොත් බැඳ දීමේ පුංචි පහේ ව්‍යාපාරික කටයුත්තක නිරතව ඇත. ක්‍රමානුකූලව මෙම කටයුත්ත සිද්ධ කිරීමත් තමන්ගේ සන්සුන් ගති පැවැතුම් ආදියත් හේතුවෙන් ඔහු කෙරෙහි පැහැදෙන බළංගොඩ ආනන්ද මෛත්‍රිය නායක හාමුදුරුවන්ගේ කරුණාබර දෑස ඔහු වෙත යොමු වී ඇත.

“මා ඉතා සන්සුන් ගති ඇති පුද්ගලයකු බව බළංගොඩ ආනන්ද මෛත්‍රිය නායක හාමුදුරුවෝ තේරුම් ගත් නිසාවෙන් උන්වහන්සේ මට ඉතා ලෙන්ගතු වූ සේක. මෙවන් මහා නායක ස්වාමීන් වහන්සේ නමක් ඉතා කිට්ටුවෙන්ම ඇසුරු කිරීම මට මහත් සතුටක් විය. එය මාගේ භාග්‍යයකි.

බළංගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමියන් විසින් එවකට විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ පුස්තකාලයාධිපති වශයෙන් කටයුතු කළ වේරගොඩ අමරබෝලී මහා නා හිමිපාණන්ට මා හඳුන්වාදී විශ්වවිද්‍යාල පුස්තකාලයේ පොත් බැඳීමේ කටයුතු මුළුමනින්ම ලබාදෙන ලදි.

පසුකලෙක එසේ සඳහන් කර සිටින සිරිසුමන ගොඩගේ එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ බළංගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමියන් ප්‍රධාන සුසිල්වත් මහා නායක හිමිවරුන් හා තමන් අතර වූ සමීප ඇසුර තම ජීවිතය තව තවත් ශික්‍ෂාකාමී බවට පත්කිරීම පිණිස මහත් සේ බලපාන ලද බවකි.

ඉවසීමෙන් සංයමයෙන් යුතුව ව්‍යාපාරික ලෝකයේ දිගු ගමනක් ගිය සිරිසුමන ගොඩගේ මේ වනවිට සිය ජීවිතයේ 85 වැනි විය පසුකොට ඇත. මේ වනවිට ව්‍යාපාරික කටයුතුවලින් තරමක් බැහැරව සිටින ඔහුට තම බිරිඳ වන නන්දා ගොඩගේ මහත්මියගෙන් ලැබෙන සහයෝගය ඉමහත්ය. එම සහයෝගය සහිතව දෙසීයකට ආසන්න තම කාර්යමණ්ඩල විසින් සිරිසුමන ගොඩගේ විසින් ඉදිකළ ‘මැඳුර’ ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන අතර ඉදිරියට තව තවත් සාහිත්‍යය, ශාස්ත්‍රිය හා අධ්‍යාපනික කෘති ප්‍රකාශයට පත්කිරීම මෙම පැහැසර මිනිසාගේ අරමුණ බවට පත්ව ඇත. දේශබන්දු සිරිසුමන ගොඩගේ විසින් මෙරට සාහිත්‍යය හා ශාස්ත්‍රිය අධ්‍යාපනය පිණිස කරන ලද සේවය අගයනු වස් 1986 වසරේ සිට මේ දක්වා අඛණ්ඩව රාජ්‍ය සම්මානයට පාත්‍ර වීමේ දුරලභ වරම ද ඔහුට හිමිය. මෙරට කීර්තිමත් ලේඛකයාගේ සිට ආධුනික ලේඛකයා දක්වා සමස්ත ලේඛක පරපුරට එකසේ අතහිත දුන් සිරිසුමන ගොඩගේ යනු ව්‍යාපාරිකයෙක් පමණක් වුවා නම් පොත් මැඳුරක් වෙනුවට සිටු මැඳුරක් ඉදිකිරීමේ හැකියාවක් පැවැති ව්‍යාපාරිකයෙක් වුවද ඔහුගේ තෝරාගැනීම බවට පත් වන්නේ මරදාන නගර මධ්‍යයේ ‘ගොඩගේ’ නමින් අංග සම්පූර්ණ පොත් මැඳුරක් ඉදිකිරීමය. එපමණක් නොව, රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලට නොදෙවැනි ආකාරයෙන් පවත්වන ගොඩගේ සාහිත්‍ය සම්මානය තම පෞද්ගලික වියදමෙන් පැවැත්වීමට තරම් සාහිත්‍යයට ලැදි මෙම නිර්ලෝභී මිනිසා අපගේ කතා බහ නිමා කරමින් සඳහන් කර සිටියේ රට වෙනුවෙන් තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉදියට ද සිදු කිරීම තම අපේක්‍ෂාව වන බවය.

රුවන් ජයවර්ධන
ඡායාරූප – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment