මෙරට ළමා හා මාතෘ සෞඛ්‍යය නැංවීමට කෘත්‍රිම බුද්ධිය මෙවලමක් හරහා යොදා ගැනේ

77

මෙම දිනවල ලොව පුරා වැඩි දෙනකුගේ අවධානය යොමුව ඇති කෘත්‍රිම බුද්ධිය (ආටිෆිශල් ඉන්ටලිජන්ස්) මෙරට ප්‍රථම වරට වැඩිදියුණු කරන ලද කෘත්‍රිම බුද්ධි මෙවලමක් හරහා ළමා හා මාතෘ සෞඛ්‍ය අංශය සඳහා යොදා ගැනීමට සියලු කටයුතු සම්පාදනය කර ඇතැයි ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා පැවසීය.

මෙරට ළමා හා මාතෘ සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් වැඩි දියුණු කර භාවිත කිරීමට යන කෘත්‍රිම බුද්ධි මෙවලම සෙසු දකුණු ආසියාතික රටවල ළමා හා මාතෘ සෞඛ්‍ය සේවාවන් සඳහාද යොදා ගැනෙන අතර මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය, පවුල් සෞඛ්‍ය කාර්යාංශය සහ කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක තාක්ෂණ පීඨය ඉදිරිපත් කරන ලද පර්යේෂණ යෝජනාවලිය තෝරාගෙන ඇති බව වෛද්‍ය ජයරත්න මහතා කීවේය.

මේ යටතේ බස්නාහිර පළාතේ ගැබිනි මව්වරුන් දෙදහසක පමණ නියැදියක් යොදාගෙන ඉදිරියට දිවෙන පර්යේෂණයක් මගින් ඔවුනට සහ ඔවුන්ගේ කුස තුළ වැඩෙන දරුවාට ඇති විය හැකි සංකූලතා පුරෝකතනය කළ හැකි කෘතිම බුද්ධි මෙවලමක් වැඩි දියුණු කිරීම සහ එහි සාර්ථක භාවය ඇගයීම මෙම පර්යේෂණ යෝජනාවලියෙන් යෝජනා කර තිබේ.

මෙම නියමු ව්‍යාපෘතියෙන් ලැබෙන ප්‍රතිඵල මත මෙම කෘත්‍රිම බුද්ධි මෙවලම රට පුරාම දරුවාගේ වයස අවුරුදු පහ වන තෙක් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබේ. මෙය මෙරට මාතෘ හා ළමා සත්කාරක සේවාවේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකිය හැකි බව ඔහු සඳහන් කළේය. මෙම වැඩපිළිවෙළ එම ක්ෂේත්‍රයට කෘත්‍රිම බුද්ධිය අන්තර් ග්‍රහණය කිරීමේ මෙරට ප්‍රථම ව්‍යාපෘතිය වේ.
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment