77 න් පස්සේ ලංකාවේ දේශපාලනය පාදඩයන් අතට පත්වුණා – රංගන ශිල්පී බුද්ධදාස විතානාරච්චි

644

සටන්කාමී ජනතාවගේ ආත්ම ශක්තිය දවා හළු කිරීමට නොහැකි නිසා මාලිමාව වටා ජනතාව එකතු වෙනවා!
ප්‍රභූ පවුලක උදව් නැතිව රට ගොඩනඟන මාවත ජාජබ අත්දැකීමෙන් පෙන්වා දී තිබෙනවා
– මහාචාර්ය ලියනගේ අමරකීර්ති පේරාදෙණියේදී කියයි

සමාජයේ ඇති සියලු ලස්සන එකතු කළ දේදුන්න අප හදා තිබෙනවා යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා මහනුවර පැවති ජාතික ජන බලවේගය ජනහමුව අමතමින් පසුගියදා පැවසීය.

වැඩිදුරටත් කතාකළ ඒ මහතා,

“සටන්කාමී ජනතාවගේ ආත්ම ශක්තිය දවා හළු කරන්න නොහැකි නිසා ජාතික ජන බලවේගය වටා හැමතැනින්ම ජනතාව එකතු වෙමින් ඉන්නවා. සහෝදරයෝ විතරක් නොවෙයි සහෝදරියෝ, සෑම වෘත්තිකයෙක්ම, විශ්වවිද්‍යාල ආචාර්යවරු, නීතිඥ මහත්වරු, වෛද්‍යවරු, ඉංජිනේරුවරු, විශ්වවිද්‍යාල පරිපාලන සේවකයෝ, කලා ලෝකයේ අය. වසර ගණනාවක සාපයට, අපේ රටේ ප්‍රගතිශීලී ජනතාවගේ ප්‍රතිභා ශක්තිය සම්පූර්ණයෙන්ම විනාශ කරන්න නොහැකි වුණා. ඒ නිසා තමයි මේ වේදිකාවේ මනුවර්ණලා, චමිලා පීරිස් වගේ කලාකාරයෝ ඉන්නේ. අපිට ආත්ම ශක්තිය තියෙනවා. අපිට නැගිටීමේ අධිෂ්ඨානය තියෙනවා. මීට වඩා වෙනස් ලංකාවක් පිළිබඳ දැක්ම, සාමකාමී, සහෝදරත්වයෙන් යුතු ජන සමාජයක් පිළිබඳ සිහින දැකීමේ ආශාව තිබෙනවා.

ප්‍රභූ පවුලක උදව් නැතිව මේ රට ගොඩනඟන මාවත ජාතික ජන බලවේගය විසින් සංකල්පගත කර තිබෙනවා විතරක් නෙවෙයි අත්දැකීමෙන් පෙන්නලා තිබෙනවා. මේ රටේ පාර්ලිමේන්තුවක් තිබෙනවා. බි්‍රතාන්‍යයන්ගෙන් අපට උරුමවුණු පාර්ලිමේන්තු ක්‍රමය ඇතුලේ හෝ ඉන් පිට මේ රටේ දේශපාලන කතිකාවේ හරවත් යමක් සංවාදෙට ලක්කරනවා නම් හරවත් යමක් ආකර්ෂණීය භාෂාවෙන් මහජනතාවගේ හෘද සාක්ෂියට ආමන්ත්‍රණය කළ හැකි ආකාරයෙන් ප්‍රකාශ කිරීමේ ශක්තිය තියෙන්නේ ජාතික ජන බලවේගයේ නායකයන්ට බව අපිට පේනවා. ඊනියා ප්‍රභූ පවුල්වල දැන් ඉන්න සාමාජිකයන්ගේ වික්‍රමසිංහගේ ඉඳලා, රුවන් විජේවර්ධන, සේනානායකලා, ගුණවර්ධනලා, බණ්ඩාරනායකලා ඒ සියලුදෙනාම, තඹුත්තේගම ඉපදිලා කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනගෙන, අපේ ජාතික විශ්වවිද්‍යාලයෙන් මතුවුණු අනුර කුමාර දිසානායකට පරාද බව අපට පේනවා.

ජාතික ජන බලවේගය ගමින් ගම යනකොට ජනතාව එක්රැස් වෙන ප්‍රධාන රහස තමයි ඊනියා ප්‍රභූ පවුල්වලට ස්වභාවයෙන්, නෛසර්ගිකව, ජන්මයෙන්ම උරුමවෙලා තිබුණයි කියන ඒ පාලක ශක්තිය තියෙන බවට විශ්වාසය. මේ රට හැදීමේ නියම ශක්තිය තියෙන්නේ අපටයි කියන දුවලා, පුතාලා සෑම ගමකින්ම බිහිකිරීමේ හැකියාව ජාතික ජන බලවේගයට ලැබී තිබෙනවා. එතැනදී අනුර කුමාර කියන්නේ ලස්සන සංකේතයක්. ජාතික ජන බලවේගය එක තනි නායකයෙක් වටේ එකතුවෙලා ඉන්න අන්ධ අනුගාමිකයන් පිරිසක් නොවෙයි හදලා තිබෙන්නේ. නියම නායකයෝ කියන්නේ ගමින් ගම තවත් නායකයන් බිහිකරන එක. මෙවර පළාත් පාලන මැතිවරණයට අපි සූදානම් වෙද්දී හැම ගමකින්ම නායකයො බිහිවෙලා තියෙනවා.

මම මුලින් ප්‍රකාශ කළ අර මානසික හිරගෙයින් අපි එළියට ඇවිත් තියෙනවා. එතැනින් එළියට ආවොත් අපි පරම්පරාවෙන් ඡන්දෙ දුන්නේ අසවලාටයි, අපි අඳ ගොවිතැන් කළේ අසවලාටයි, අපි ඡන්දෙ දෙන්නෙත් ඒ පවුලටයි කියන ඒ වහල් මානසිකත්වයෙන් මිදෙන්න පුළුවන්. අපි ගමින් ගම යනකොට නිරන්තරයෙන් ජනතාව අපට එකතු වෙන්නේ ජන විඥානයේ තිබුණු ඒ අභ්‍යන්තරික හිරගෙවල් බිඳගෙන ඒ ජනතාව එළියට ඇවිත් නිසා.

අපි මීට අවුරුදු දෙක තුනකට කලින් අපි මාලිමාව වෙනුවෙන් ගෙයින් ගෙට යනකොට අපිට ප්‍රශ්න විදිහට එල්ල වුණා සැරපරුෂ දේවල්. ගෝඨාභයට ඡන්දෙ දෙන්න සූදානම් වෙලා හිටපු අය දුනු, ඊතල තමයි අපි දෙසට එල්ල කළේ. අපිට එල්ලවුණු ඒ දුනු අරගෙන අපි හදලා තියෙනවා අලංකාරමය සමාජමය දේදුන්නක්. ඒක හරි ලස්සනයි. ඒක ජනවාර්ගික වශයෙන් ලස්සනයි. ස්ත්‍රී පුරුෂභාවය අතින් ලස්සනයි. තරුණ මහලු වශයෙන් ලස්සනයි. අපේ සමාජයේ තියෙන සියලුම ලස්සන එකතු කළ ඒ දේදුන්න අපි හදලා තියෙනවා. අපි හදලා තියෙන මේ දේශපාලන දේදුන්න මේ රට පරිවර්තනය කරනකම් අලංකාර දේදුන්නක් හැටියට පවත්වාගෙන යෑමේ අභියෝගය අපි තුළ තිබෙනවා. ඒ සඳහා ගමෙන්, නගරයෙන් සෑම ගෙදරකින්ම එළියට එන්න. ජාතික ජන බලවේගය වටා එකතු වෙන්න. අපි කියපු දේවල් අද ජනතාව තේරුම් ගනිමින් සිටීම සතුටක්.

ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධදාස විතානාරච්චි –

ඉතිහාසයේ 75 වසරකට පසුව පොදු ජනයාගේ අයිතිය, උරුමය, යුක්තිය වෙනුවෙන් පෙනී සිටින පළවෙනිම නායකයා අනුර කුමාර දිසානායක සහෝදරයායි. මම නිදහසට පෙර උපන් කෙනෙක්. ඩී. එස්. සේනානායකගේ සිට මේ වර්තමානයේ සිටින ලස්කිරිඤ්ඤ පාලකයන් දක්වාම මම දැකලා තිබෙනවා. සමහරු සමග වැඩ කර තිබෙනවා. ජාතියේ පියා කුඩා කාලයේ දැකලා තියෙනවා. මම දැදිගම. 1965 ඉඳලා මේ දක්වා මම ඡන්දෙ පාවිච්චි කර තිබෙනවා.

මහනුවර රාජධානියේ වඩුගයන්ට අපි අවුරුදු ගණනක් යටත් වෙලා හිටියා. ඊට පස්සේ බි්‍රතාන්‍යයේ සුද්දන්ට. ඊට පස්සේ 75 වසරක් මේ රටේ ඉන්න ලස්කිරිඤ්ඤයන්ට. තමුන්නාන්සේලා කියන්නේ කළු සුද්දන් කියලා. මම ඒගොල්ලන්ගේ ඉතිහාසය තමුන්නාන්සේලාට කියා දෙන්නම්. පොත පත කියවන අය ඉන්නවා නම් මහාචාර්ය කුමාරි ජයවර්ධනගේ ‘සොක්කන් ලොක්කං’ වූ පොත කියවන්න. එතකොට ප්‍රභූවරුන්ගේ පැටිකිරිය හඳුනාගත හැකියි. එක්දහස් අටසිය ගණන්වල අගභාගයේ, අරක්කු රේන්දවලින්, මිනිරන් පතල්වලින් ආදායම් ලබාගත්ත මිනිස්සු මුදලින් පොහොසත් වෙලා මුදලිකම්, මුහන්දිරම්කම් ගත්තා. ඒක හොඳට බලන්න පුළුවන් ටෙලි නාට්‍යයක් තියෙනවා. ඒකේ ඉන්නවා ‘කඩුල්ලේ කුරුතේලිස්ලා, ඉන්ගම්දෑලේ හිටපු අප්පුහාමිලා’ තමයි ඔය. ඒ ගොල්ලෝ පොහොසත් වෙලා ප්‍රභූ වෙන්ඩ ලොකු ගෙවල් හදාගෙන ඒවා වලව් කියලා නම් දාගෙන හාමුලා, මුදලි මුහන්දිරම් වුණා. කොරමැන්ඩල්වලින් ආව ආද්‍රීන් කියන තැනැත්තාගෙන් පැවතෙන ලන්දේසි කාලේ ජූලියස් රිචඩ් ජයවර්ධනගෙ උත්පත්තිය මුල අග තියෙනවා. ධර්ම ශ්‍රී කාරියවසම් ලියා තිබෙන පොතේ තියෙනවා, හන්දි මුදියන්සේ තෝඹු මුදියන්සේ කියලා. ඒ පොත කියවන්න.

‘47 ඉඳලා 77 වෙනකල් අවුරුදු 30ක් හොරගොල්ලේ වලව්වෙන් බෝතලේ වලව්වට, බෝතලේ වලව්වෙන් හොරගොල්ල වලව්වට තමයි ඔටුන්න මාරු වුණේ. 77 වලව්වල තිබුණු ඔටුන්න වතුවලට ගියා. සේද වත්තේ ජයවර්ධනලාටයි, කෙසෙල් වත්තෙ ප්‍රේමදාසලාටයි. දේශපාලන ශිෂ්ටාචාරයේ කනපිට ගහපු තැන එතැනයි. වලව්වල පාලනයේදී කිසියම් ශිෂ්ටාචාරයක් සභ්‍යත්වයක් තිබුණා. ත්‍රාඩයෝ, චේන් කඩාපු අය හිටියේ නැහැ. කෙසෙල් වත්තට බලය ගියාම සොත්ති උපාලිත්, යූ.එන්.පී. එකේ කෘත්‍යාධිකාරී සභිකයෙක් වුණා. 77න් පස්සේ තමයි ලංකාවේ දේශපාලනය වලත්තයන් අතට පත්වුණේ. පාදඩයන් අතට පත්වුණේ. යූ.එන්.පී.යේ ලුපනයිස් තමයි අද ස.ජ.බෙ. ඉන්නේ. යූ.එන්.පී.යේ ලුපනයිස් එක පාදඩකරණය තමයි අද පොහොට්ටුව කියන්නේ. ඔය කිසිකෙනෙක් ප්‍රභූවරු නොවෙයි. තමුන්නාන්සේලා තමයි ප්‍රභූවරු මේ රටේ. අනික් අය ජනතාවම කොල්ලකාපු තක්කඩි, ලස්කිරිඤ්ඤෝ.

advertistmentadvertistment
advertistmentadvertistment