2023 වසර ගෙවී අවසන්ය. 2022 වසර තරම් නැතත් 2023 වසරද ජනතාවට දුක් කරදර පීඩා ආදියෙන් අඩුවක් නොවුණු වසරක් බව කොයි කවුරුත් අවිවාදයෙන් පිළිගන්නා කරුණකි. 2022 වසරේ රට පෙර තිබුණු තත්ත්වයෙන් වසර ගණනාවක් ඈතට ගෙන ගියේය. කොටින්ම කිව්වොත් රට නට්ටං වී ගියේය. අප බලා සිටියේ 2023 වසරේවත් රට හරි පාරට වැටේවි යැයි කියාය. නමුත් එසේ සිදුවූයේ නැත. දැන් අප බලාපොරොත්තු තබාගත යුත්තේ 2024 වසරේවත් රට ප්‍රකෘතිමත් වනු ඇතැයි කියාය. මේ පිළිබඳ විමසා බැලීමට හොඳම පුද්ගලයා වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතාය. මේ ඒ මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සහ සමාජයේ කිහිප දෙනකු සමග 2024 වසර පිළිබඳ කළ සාකච්ඡාවකදී දැක්වූ අදහස් කිහිපයක එකතුවයි.

වසන්ත අතුකෝරළ මහතා 2024 වසර පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.

“මෙරට ආර්ථිකය පිළිබඳ විමසා බැලීමේදී වැඩිම ආර්ථික අර්බුදයකට පත්වූ වසර වන්නේ 2022 වසර. 2022 වසරේ කාර්තු හතරේම වාර්තා වුණේ සෘණ ආර්ථික වර්ධනයක්. මේ තත්ත්වය තුළ කර්මාන්ත, කෘෂිකර්මාන්තය මෙන්ම සේවා අංශයේද දැඩි කඩාවැටීමක් වාර්තා වුණා. 2022 තුන්වන කාර්තුව වනවිට කර්මාන්ත අංශයේ කඩාවැටීම 21.5% කුත් සිව්වන කාර්තුව වනවිට 30.2% වශයෙනුත් කඩාවැටීමක් වාර්තා වුණා. 2023 සලකා බැලීමේදී වාර්තා වන්නේත් සෘණ ආර්ථික වර්ධනයක්. මුල් කාර්තුවේ සෘණ 10.7% කුත් දෙවන කාර්තුවේ 3% කුත් වශයෙන් වාර්තා වූ ආර්ථික වර්ධනය තුන්වන කාර්තුව වනවිට ධන 1.6% කුත් සිව්වන කාර්තුව වනවිට ධන 4.5% වශයෙන් වාර්තා වුණා.”

ලෝකයේ අපට හිමිවුණු තැන

ලෝකයේ කඩාවැටුණු රාජ්‍යයන් අතර අපට 2022දී හිමිවී ඇත්තේ සිව්වන ස්ථානයයි. 2023 වනවිට දකුණු ආසියාතික රටවල් අතරින් අපේ රට සෘණ ආර්ථික වර්ධනයක් හිමිකර ගනිද්දී අනෙක් සියලු රටවල්වලට හිමිවී ඇත්තේ ධන ආර්ථික වර්ධනයක්.”

මෙවැනි දුෂ්කර කාලපරිච්ඡේදයක් පසුකළ අපට 2024 වසරට පා තබද්දී කුමක් සිදුවේදැයි විමසා බලමු.

“ප්‍රතිපත්ති සම්පාදකයන් හා ආර්ථික විශ්ලේෂකයන් සඳහන් කරන්නේ මේ වර්ෂය තුළ ධන ආර්ථික වර්ධනයක් සිදුවේවි කියල. එය බොහෝදුරට ධන 3%ක ආර්ථික වර්ධනයක් වේවි. නමුත් එය මේ වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩ ඒමට කිසිසේත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපට රට ඉදිරියට ගෙනියන්න වෙලා තියෙන්නෙ අයි. එම්. එෆ්. එකේ කොන්දේසිත් එක්ක. මේවනවිට අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් වාරික දෙකක් ලැබී ඇති අතර අනෙක් වාරිකය ලැබීමට තව බොහෝ කොන්දේසි සපුරන්න වේවි. එමනිසා 2024 වසර ජනතාවට එතරම් හිතකර වනු ඇතැයි සිතිය නොහැකියි.”

ආදායමට වඩා වියදම වැඩියි

වසන්ත අතුකෝරළ මහතා පවසන ආකාරයට 2023 ජනවාරි සිට නොවැම්බර් දක්වා සලකා බැලීමේදී රජයේ ආදායම රුපියල් බිලියන 962කින් වැඩිවන විට රජයේ වියදම රුපියල් බිලියන 1380කින් ඉහළ ගොස් ඇත. ඒ අනුව පෙනීයන්නේ ආදායම හා වියදම අතර විශාල පරතරයක් පවතින බවයි. මෙය පියවා ගැනීමටනම් ආණ්ඩුව විසින් තව තවත් ජනතාව මත බදු පැනවිය යුතුමය. 2024 වසරේදී ජනතාවට තව තවත් ආණ්ඩුවේ ගිරයට හසුවීමට සිදුවන බව නම් පැහැදිලිය.

2024ත් දුප්පත් මිනිහට තදින්ම දැනෙන හැඩ

ආණ්ඩුව මේ වනවිට 2024 වර්ෂයට අදාළව අයවැය ලේඛනයක් ඉදිරිපත් කර ඇත. රජයේ ආදායම වැඩිකර ගැනීමටත් වියදම අඩුකර
ගැනීමටත් ආණ්ඩුව මේවනවිට විවිධ සැලසුම් ඉදිරිපත් කර අවසානය. ඒවා කොතරම්දුරට සාර්ථක වේ දැයි බලාගත හැකි වන්නේ මේ වසර අවසානයේදීය. ආණ්ඩුව දැඩි හික්මීමකින් යුතුව ආදායම් වියදම් පාලනය නොකළහොත් නැවත සිදුවන්නේ රටට මෙන්ම ලෝකයටම ණය වීමටය.

මහාවාර්යවරයා පවසන ආකාරයට මේ වර්ෂය ආනයන සීමා කෙමෙන් කෙමෙන් ලිහිල් කරන වර්ෂයයි. ආනයන සීමා ලිහිල් කරනවාත් සමග නැවත ගෙවුම් ශේෂයේ අර්බුදයෙන් මිදීමට නොහැකි වනු ඇත.

මෙම වර්ෂයේ බදුබර පිළිබඳ මහාචාර්යවරයා දැක්වූයේ මෙවැනි අදහසකි.

2023 වර්ෂය අවසන් වී 2024 වර්ෂය ආරම්භ වන්නේ විශාල බදු බරක් සමඟයි. එම බදු වැඩිවීමත් සමඟ භාණ්ඩ මිල විශාල වශයෙන් ඉහළ ගියා. විදුලි බිල්, ජල බිල්පත්, දුරකථන බිල් වැඩිවීමත් සමඟ මේ රටේ ව්‍යාපාරිකයන්ට තමන්ගේ ව්‍යාපාරය කරගෙන යෑමට සිදුවී තිබෙනවා. අනික් පැත්තෙන් පාරිභෝගිකයන් ඉතා අපහසුවෙන් තම ජීවන රටාව ගෙන යෑමට සිදුවී තිබෙනවා. 2024 වර්ෂයේ මේ තත්ත්වය කෙසේ වෙනස් වේවිදැයි සලකා බැලීමේදී ව්‍යාපාරිකයන්ට තරමක් සුබදායක තත්ත්වයක් ඇතිවී තිබෙනවා. ඒ පොලී අනුපාත පහළ යෑම නිසා. විශේෂයෙන් මහ බැංකුවේ මූල්‍ය පාලන ප්‍රතිපත්තිවල යම් ප්‍රගතියක් දක්නට ලැබෙනවා. භාණ්ඩාගාර බිල්පත් සඳහා පැවැති පොලී අනුපාතිකය 33% ක්. එය මේ වනවිට 10% දක්වා අඩුවී තිබෙනවා. මේ නිසා බැංකු විසිනුත් පොලී අනුපාත පහත දමා තිබෙනවා.

පොලී අනුපාත පහළ දැමීම එක් එක් ජන කොටස්වලට විවිධාකාරයෙන් බලපා තිබෙනවා. එය ව්‍යාපාරිකයන්ට සුබදායක තත්ත්වයක් වුණත් ස්ථාවර තැන්පතු වලින් තම ජීවිකාව ගෙන යන පුද්ගලයන්ට එය බරපතළ බලපෑමක් එල්ල වෙනවා.”

ඔහු පවසන කාරණය පිළිබඳ සනාථ වූයේ කිහිපදෙනකු සමඟ සම්මුඛ වීමේදීය.

කොටහේන ප්‍රදේශයේ විශ්‍රාමිකයකු වන යෝගේෂ්වරන් සුබ්‍රමනියම් මහතාද මේ කියන පොලී පහළ දැමීමේ කතාව නිසා තමන්ගේ ආර්ථික සැලසුම් සියල්ල වතුරේ ගිය කෙනෙකුගෙන් එක් අයෙකි.

දසක තුනකටත් වැඩියෙන් පෞද්ගලික ආයතනයක සේවයේ නියැළී තම සැඳෑ දිවිය නිවසේ ගත කරන ඔහුගේ සැලසුම වී ඇත්තේ තමන්ට හිමි සේවක අර්ථසාධක මුදල බැංකු ගත කර එහි ලැබෙන පොලියෙන් තම ජීවිකාව සරිකර ගැනීමටය. එහෙත් මහ බැංකුව මගින් ස්ථිර තැන්පතු පොලී අනුපාත පහත දැමීමෙන් මේ කියන යෝගේෂ්වරන් මහතාගේ සියලු සැලසුම් දැන් සුන්වී ඇත්තේ පොලී අනුපාත පහළ යෑමෙන් ඔහුගේ ගිණුමේ ඇති පොලී මුදල අඩුවීමෙනි. වෙනදා ලැබෙන පොලියෙන් මාසේ රෝල කෙසේ හෝ ගැට ගසා ගන්නා ඔහුට දැන් ජීවත් වීමට ණය වීමට සිදුවූ අවස්ථා තිබෙන බවද ඔහුගේ කතාවෙන් අපට දැනගන්නට ලැබුණි. මේ ඔහු කියන්නේ ආණ්ඩුව ස්ථිර පොලී තැන්පතු සඳහා පොලී අනුපාත පහළ දැමීම නිසා ඔහුට පසුගිය මාසයේ සිදුවූ සිද්ධියකි.

“වෙනදා බැංකුවට ගිහින් සල්ලි අරන් මම මුලින්ම යන්නේ මාර්කට් එකට. එහෙම ගිහින් සතියකට අවශ්‍ය බඩු අරගන්නවා. සාමාන්‍යයෙන් මේ ලැබෙන පොලී මුදලින් තමයි වාහන ෆිනෑන්ස්, ගෙවල් කුලී, ලයිට් බිල්, වතුර බිල්, ෆෝන් බිල් ගෙවන්නෙ. හැබැයි පසුගිය මාසයේ මට මේ කියන බිල් ඔක්කොම ගෙව්වට පස්සේ ගෙදරට ඕන බඩු ගන්න සල්ලි මදි වුණා. මේ නිසා මට වුණේ සන්තකයටම තිබුණ කරේ තිබුණ මාලේ උකස් කරල ගෙදරට කන්න බඩු අරන් යන්න. බලන්න කොච්චර කල්පනා කරලද අපි මුදල් ඩිපොසිට් කරන්නේ. දැන් තියෙන තත්ත්වෙත් එක්ක මේ ලැබෙන මුදලින් ජීවත් වෙන්න අමාරුයි. ඉතින් කාට කියන්නද මේවා….”

ඇත්තෙන්ම යෝගේෂ්වරන්ගේ කතාව අප කතා කරන කතාවට හොඳම නිදසුනකි. මෙවැනි තවත් යෝගේෂ්වරන්ලා වැනි අයද මේ කියන පොලී අනුපාත පහළ යෑමේ කතාවෙන් අසරණ වූ අවස්ථාද තවත් එමටය.

ජනතාවට නැති පොලී සහනය මේ කියන්න යන කතාවද පොලී අනුපාත කතාවේ තවත් පැතිකඩකි. අප කළ සංචාරයේදී අපට හමුවූ අය අතර වසන්ත මහතාද මේ කතාවට තවත් සාක්‍ෂි දරන්නෙකි.

හොරණ ප්‍රදේශයේ පදිංචි ලසන්ත කොට්ටහච්චි මහතා වසර 2020 වසරේදී 9.75% පොලී අනුපාත යටතේ ගත් ණය මුදලට මේ වනවිට 12% කට ආසන්න පොලී අනුපාතයක් අයකරනු ලබයි. තමන් විසින් ගෙවා ගෙන ගිය බැංකු පොලී වාරික තවත් දීර්ඝ කිරීමක් දැන් සිදුවී ඇත. මහ බැංකුව නිරන්තරයෙන් ණය පොලී අනුපාත පහළ දමන බවත් කොතෙක් පැවසුවත් එම සහනය බැංකු මගින් ණය හිමියන්ට හිමිවී නැත. පසුගිය කොරෝනා වසංගත පැමිණීම නිසා තම ව්‍යාපාර අඩපණ වීමෙන් මේ කියන ලසන්ත මහතා විසින් බැංකුවට ගෙවීමට නියමිතව තිබූ වාරික කිහිපයක් ගෙවීමට නොහැකි වූ හෙයින් මේ වන විට ලසන්ත මහතා අසාදු ලේඛණගතවීමේ අවදානමටද ලක්ව ඇත. 2024 වසර ලසන්ත මහතාට දැනටමත් අභියෝගාත්මක වසරක් වී අවසානය.

සුළු මධ්‍ය පරිමාණ ව්‍යාපාර 260,000කට ආසන්න සංඛ්‍යාවක් මේවනවිටත් ස්ථිර වශයෙන් හෝ තාවකාලික වශයෙන් වැසීගොස් අවසන්ය. මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසන්නේ ණය පොලී අනුපාතය සැලකිය යුතු ලෙස පහළ ගියහොත් 2024 වසරේදී මේ කර්මාන්ත නැවත වතාවක් ආරම්භ කිරීමට හැකිවනු ඇති බවයි. නමුත් ඒ සඳහා මූලික වශයෙන් බලපාන ණය පොලී අනුපාතිකය සහ අමුද්‍රව්‍ය මිල සහ ප්‍රවාහන වියදම් තවමත් පවතින්නේ ඉහළ මිලකය.

සේවක සේවිකාවන් 25 දෙනකුට රැකියා අවස්ථා ලබාදෙමින් සමන්ත සූරියආරච්චි මහතා පවත්වාගෙන ගොස් ඇත්තේ ඇඟලුම් ක්‍ෂේත්‍රයට අදාළ කර්මාන්තයකි. පසුගිය සමයේ පැවැති අමු ද්‍රව්‍ය මිල ඉහළ යෑමත්, ජල විදුලි බිල්පත් ඉහළ යෑමත් නිසා සේවක වැටුප් පවා ගෙවාගත නොහැකිව මේ වන විට මෙම කර්මාන්තය වැසීගොස් වසරකටත් ආසන්නය. ඔහුගේ බලාපොරොත්තුව කෙසේ හෝ යළි මෙම කර්මාන්තයට පණ දීමටය. නමුත් ඒ සඳහා හරස් වී ඇත්තේ තවමත් ඉහළ ණය පොලියක් පැවතීම හා ඉහළ ගිය විදුලි බිල දැරිය හැකි මට්ටමට තාමත් ළඟා වී නැතිවීමය.

මේ වසර මැතිවරණ වසරකි. ආණ්ඩුව මැතිවරණය ඉලක්ක කරගෙන ක්‍රියාකරන ආකාරය ඔවුන් කටයුතු කරන ආකාරයෙන් පැහැදිලි වේ. මේ වනවිට ආණ්ඩුව ජනවාරි මස සිට ලක්‍ෂ 13 ක් වන රාජ්‍ය සේවකයන්ට රුපියල් පන්දහසක පඩි වැඩිකිරීමක් හා අප්‍රේල් මස සිට රුපියල් පන්දහසක දීමනාවක් ලබාදීමට නියමිතව ඇත. එසේම අස්වැසුම ලබන පිරිස ලක්‍ෂ විස්සක් දක්වා ඉහළ දැමීමට සූදානම් වේ. සැබැවින්ම නැති බැරි පුද්ගලයන්ට, ආධාර ලැබිය යුතු පිරිසට එම ආධාර හිමිවිය යුතුමය. ඒ ගැන තර්ක නැත. නමුත් පසුගිය කාලයේ ආණ්ඩුව අස්වැසුම සහ සමෘද්ධිය වැනි ප්‍රතිලාභ වැඩිපුරම ලබාදී ඇත්තේ නැතිබැරි පුද්ගලයන්ට වඩා යානවාහන පවා ඇති පුද්ගලයන්ටය. මේ තුළින් සිදුවන්නේ රටේ සමස්ත ජනතාව දේශපාලනඥයන්ගේ වැරදි තීන්දු තීරණ නිසා වන්දි ගෙවීමටය.

මෙරට බදු ආදායමෙන් වැඩිමනක් රටට ලබාදෙන්නේ පෞද්ගලික සේවයේ යෙදෙන්නන් හා වෙනත් වෙනත් රැකියා වල නියුතු අයයි. එහෙත් රජයෙන් හැම විටම සහන ලබාදෙන්නේ රජයේ සේවකයාටය. කොටින්ම කිවහොත් රජයේ සේවකයාට වැඩිකරන මුදලද ගෙවීමට සිදුවන්නේ මේ අප ඉහත කතාකරන අයටමය. මේ කතාවට සම්බන්ධ තවත් කතාවක් අපට කුලී රැකියාවේ යෙදෙන්නකුගෙන් ඇසිණ.

“මේ අවුරුද්දේවත් අපට කාල බීල ඉන්න පුළුවන් රටක් හැදෙයිද කියල තමයි අපි කල්පනා කරන්නේ. හැමෝම කතාවෙන්නේ රටේ දේශපාලනය වෙනස් වෙන්න ඕන කියල. කොහොම හරි අප කියන්නේ මේ පවතින බඩු මිල අඩුවෙලා අපිට ජීවත්වෙන්න පුළුවන් රටක් හැදුනොත් හොඳටම ඇති. දැන් ආණ්ඩුව කරන්නේ ආයිත් මිනිස්සු රවට්ටන එක. දැන් දුප්පතුන්ට සහල් කිලෝ විස්ස ගානේ බෙදන්න යනවා. මේවා ඔක්කොම ඡන්දෙ තියලා ඉවරවෙනකන් විතරයි. පස්සේ මේවට පොලියත් එක්කම ගෙවන්න වෙන්නේ අපි වගේ පොඩි මිනිස්සුන්ට.

මහාචාර්යවරයා සමග මෙන්ම සාමාන්‍ය ජනතාව සමග කළ කතාබහේදී ඉස්මතු වූ කරුණ වන්නේ 2023 වසර මෙන්ම 2024 වසරද කලින් වැටුණු වළේම වැටෙන්නට සිදුවන වසරක් වනු ඇති බවයි.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment