අලුතින් බාර් විවෘත කිරීම මද්‍යසාර අලෙවිය සුලබ කිරීමක්…
මත්ද්‍රව්‍ය විරෝධී රාජ්‍ය නොවන සංවිධානයේ ලේකම් කුප්පියාවත්තේ බෝධානන්ද හිමි

මද්‍යසාර පරිභෝජනය අඩුවීම ගැන අපි සතුටු වෙනවා…
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි

මද්‍යසාර, දුම්වැටිවලට මිල සූත්‍රයක් ක්‍රියාත්මක වෙන්න ඕනෑ…
ශ්‍රී ලංකා ඇඩික් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ සම්පත් ද සේරම්

මද්‍යසාර පරිභෝජනය ලීටර් මිලියන 20ක් අඩු වෙලා…සුරාබදු ආදායම 38.8%ක් වැඩි වෙලා…

ස්කාගාර 7ක් තුළ අරක්කු ලීටර් මිලියන 6ක් හිර වෙලා…

හදවත පිනා යන තොරතුරක් කන වැකිණි. ඒ මෙරට මද්‍යසාර අලෙවිය දවසින්, දවස අඩු වන බවට ලැබෙන සුබ ආරංචියයි. 2022 වර්ෂයේ දී නිෂ්පාදනය කර ඇති සංයුක්ත මද්‍යසාර ලීටර් ප්‍රමාණය වන 26.5%ට සාපේක්‍ෂව 2023 වර්ෂයේ දී නිෂ්පාදනය කර ඇති සංයුක්ත මද්‍යසාර ලීටර් ප්‍රමාණය 20%කි. ඒ අනුව 6.5%කින් සංයුක්ත මද්‍යසාර නිෂ්පාදනය අඩු වී ඇත. ආසන්න වශයෙන් මද්‍යසාර ලීටර් මිලියන 20කින් පරිභෝජනය අඩු වී තිබේ. එමෙන්ම බියර් සඳහා අවශ්‍ය සංයුක්ත මද්‍යසාර ප්‍රමාණය ද 2022 වර්ෂයට සාපේක්‍ෂව 2023 වර්ෂයේ දී ලීටර් මිලියන 2.4කින් අඩු වී තිබේ.

සියලු වැඩ අතරහැර ලාබෙට අරක්කු සමග වැඩ ඇල්ලීම

එමෙන්ම පසුගිය ජනවාරි මාසයේ දී පමණක් මද්‍යසාර නිෂ්පාදනය ලීටර් 657,000කින් අඩු වී ඇති බවට තොරතුරු වාර්තා වේ. සුරාබදු දෙපාර්තමේන්තුව සහ යුක්තියේ මෙහෙයුම එක්ව සිදු කරගෙන ගිය මත්ද්‍රව්‍ය වැටලීම් සමග පසුගිය පෙබරවාරි මාසයේ දී මද්‍යසාර නිෂ්පාදනයේ සහ පරිභෝජනයේ අඩුවීමක් පෙන්නුම් කරන බව ද පැහැදිලිය. මද්‍යසාර නිෂ්පාදනය සහ පරිභෝජනය අඩු වුවද 2023 වර්ෂයේ පෙබරවාරි මාසයට සාපේක්‍ෂව පසුගිය පෙබරවාරි මාසයේ සුරාබදු ආදායම 38.8%කින් වැඩි වී තිබේ. දැනට ලැබෙන දත්තවලට අනුව 2023 වර්ෂයේ මාර්තු මාසයට සාපේක්‍ෂව මේ මාසයේ දී ද සැලකිය යුතු බදු ආදායමක් ලැබෙමින් තිබේ. එමෙන්ම මෙරට ලියාපදිංචි ස්කාගාර 07ක් තුළ මේ වනවිට මද්‍යසාර ලීටර් මිලියන 6ක් අලෙවි කරගැනීමට නොහැකිව ගබඩා වී තිබේ. එම අරක්කු තොග අලෙවි කරගැනීමට තැබෑරුම්කාරයන් විවිධාකාර උප්පරවැට්ටි භාවිත කරමින් සිටින බව ද පෙනේ. අරක්කු, බියර් මිල වැඩි කිරීම නිසා රට තුළ නීති විරෝධී මත්පැන් භාවිතය ඉහළ ගොස් ඇති බව හුවා දක්වමින් මත්පැන් මිල අඩු කරගැනීමට ප්‍රයත්න දරමින් සිටිති. මැති සබය දෙවනත් වෙන්න දොඩවන දේශපාලන කාන්තාවක් අරක්කු මිල අඩු කිරීමට විවිධ තර්ක ඉදිරිපත් කරති. එම තර්ක බිඳීමට ප්‍රතිතර්ක ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් අපි පුදුම නොවෙමු. තැබෑරුම්කාරයන් බහුතරයක් නියෝජනය කරන එම මැති සබයේ දී එවැනි ප්‍රතිතර්ක බලාපොරොත්තු විය නොහැකි බව අප තේරුම් ගත යුතුය. එවැනි පසුබිමක රටේ මද්‍යසාර භාවිතය අඩුවීම සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවක් විදිහට සතුටු වන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිංහ මහතා අප සමග පැවසුවේය.

“සුරාබදු දෙපාර්තමේන්තුව විශාල කාර්යභාරයක් කරගෙන යනවා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි සුරාබදු ආදායම වැඩි කරගෙන තියෙන්නේ. ඒ වගේම රටේ මද්‍යසාර භාවිතය අඩුවීම ගැන රජය සතුටු වෙනවා. මද්‍යසාර, මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කිරීමට කිසිදු ලෙසකින් රජය කටයුතු කරන්නේ නෑ…”

අලුතින් සුරාසැල් බලපත්‍ර 1500ක් නිකුත් කරන්න යනවා නේද? මම ඔහුට පැනයක් යොමු කළෙමි.

‘ඒක බොරුවක්… අලුත් ගැසට් පත්‍රයට අනුව සුරාසැල් බලපත්‍ර 1500ක් දෙන්න පුළුවන්. ඒත් අපි තවම දීලා තියෙන්නේ 12යි. ඒ දීලා තියෙන්නෙත් මුදල් අමාත්‍යාංශයේ අවසරය ඇතිව, අත්‍යවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කරපු අයට විතරයි…”

පූජනීය ස්ථාන, පාසල් ආශ්‍රිතව සුරාසැලක් විවෘත කිරීමේ දුර සීමාව අඩු කරල ද?

“නෑ… මීටර් 100ක දුර ප්‍රමාණයේ කිසිදු වෙනසක් කරලා නෑ…” සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා එසේ ප්‍රකාශ කළ ද විවිධ ස්වෙච්ඡා සංවිධාන නීති මාර්ගයෙන් කටයුතු කොට සුරාසැල් විවෘත කිරීම තහනම් කර තිබූ කළුතර දිස්ත්‍රික්කයේ මතුගම වැනි නගරවල ද දැන් සුරාසැල් විවෘත කිරීමට නීති සම්පාදනය කරගෙන ඇත. ඇතැම් අවන්හල්වලට බාර් පර්මිට් ලබා දී තිබේ. පූජනීය ස්ථාන, පාසල් ආශ්‍රිතව සුරාසැල් විවෘත කිරීම, දුම්වැටි අලෙවි සඳහා පනවා තිබූ මීටර් 500ක දුර ප්‍රමාණය මීටර් 100ට අඩු කර තිබේ. එහෙයින් සුරාබදු කොමසාරිස්වරයාගේ කතාව තුළ ගැටලුකාරී තත්ත්වයන් ද තිබේ. මත්ද්‍රව්‍ය විරෝධී රාජ්‍ය නොවන සංවිධානයේ ලේකම් කුප්පියාවත්තේ බෝධානන්ද හාමුදුරුවෝ පැවසූ කරුණුවලින් ද ඒ බව වඩාත් තහවුරු විය.

සියලු වැඩ අතරහැර ලාබෙට අරක්කු සමග වැඩ ඇල්ලීම
කුප්පියාවත්තේ බෝධානන්ද හිමි

“සුරාබදු ආදායම වැඩි වුණා, මද්‍යසාර පරිභෝජනය අඩු වෙලා කියලා උදම් ඇනුවට ඵලක් නෑ. අලුත් සුරාසැල් 1500ක් රට පුරා විවෘත කිරීමට ගැසට් පත්‍රයකුත් නිකුත් කරලා. හතු පිපෙන ගාණට සුරාසැල් විවෘත කළාම මත්පැන් අලෙවිය සුලභ වෙනවා. එහෙම වෙනකොට මිනිස්සු මත්පැන් පානයට යොමු වෙනවා වැඩි වෙනවා. කුලියක් කරල සොච්චමක් හම්බ කරගෙන හවසට ගෙදර යන මිනිස්සු ඒ මුදලෙන් කීයක් හරි බාර් එකට පූජා කළා ම ඒ පවුලට මොකද වෙන්නේ. මේ ගැසට් ගහන බලධාරීන්, නිලධාරීන් ඒ ගැන හිතන්නෙ නැත්තෙ ඇයි? ඒ තුළින් සිදුවන සමාජ පරිහානිය ගැන මොහොතකටවත් හිතන්නෙ නෑ. අපි නිතරම හිතන්න ඕන ළඟ වාසිය නෙමෙයි, ඒ තුළින් සිදුවන දීර්ඝ කාලීන අවාසිය ගැන. බුදු දහමට අනුව මද්‍යසාර, මත්ද්‍රව්‍ය, දුම්වැටි අලෙවියෙන් ලැබෙන ආදායම අනුමත කරන්නෙ නෑ, අපේ දහමේ තහනම් ව්‍යාපාර. පව්කාර ව්‍යාපාරයක්. ඒ නිසා අපේ රටේ අනන්‍යතාවයට, මෙතෙක් කාලයක් පැවත ගෙන ආ සංස්කෘතියට පටහැනිව ක්‍රියාකිරීම මේ රට තවත් පිරිහීමකට ලක් කිරීමක්. රටක් පිරිහීමකට පත්කොට ඒ රට ලබන ආදායමෙන් ඵලක් නෑ. රජයෙන් වෙන්න ඕන මද්‍යසාර, මත්ද්‍රව්‍ය, දුම්වැටි පරිභෝජනය අවම කරන වැඩසටහන් දියත් කිරීමයි. විශේෂයෙන්ම මද්‍යසාර භාවිත කිරීමට නීතියෙන් අවසර ලබාදී තියෙන වයස් සීමාවන් වැඩි කරන්න ඕනා. පුළුවන් තරම් අපේ තරුණ පරපුර මේ වසංගතයෙන් ගලවගන්න ඕනෑ. ඒත් රජය තවම කරන්නේ මද්‍යසාර සුලබ කිරීමට කටයුතු කිරීමයි. මද්‍යසාර මිල අඩු කරන්න යන කතාවක් තියෙනවා. ඒකට අපි විරුද්ධයි…” කුපිප්යාවත්තේ බෝධානන්ද හාමුදුරුවන්ගේ කතාව මසුරන්ය.

මෙරට ආර්ථිකයට දේශීය ආදායම් ලැබෙන මූලාශ්‍ර අතර සුරාබදු සහ දුම්කොළ නිෂ්පාදන බදු ආදායම ඉහළ අගයක් ගන්නා බව සැබෑය. 2021 වර්ෂයේ සුරාබදු හා දුම්කොළ බදු ආදායම රුපියල් බිලියන එකසිය තිස් අටකට වැඩිය. එමෙන්ම 2022 වර්ෂයේ එම ආදායම තවදුරටත් වර්ධනය වී බිලියන එකසිය අසූවක ආදාමක් ලැබී ඇත. එමෙන්ම පසුගිය පෙරබවාරි මාසයේ ලැබුණු සුරාබදු ආදායම වන 38.8%කට වැඩි ප්‍රතිශතයක් මාර්තු මාසයේ දී ලැබී ඇති බව වාර්තා වේ. එහෙත් එම ඉලක්කම් දැක අපට සතුටු විය නොහැක. සුරාබදු හා දුම්කොළ බදුවලින් ලැබෙන ආදායමට වඩා විශාල වියදමක් මත්පැන්, මත්ද්‍රව්‍ය සහ දුම්වැටි භාවිතයෙන් රෝගී වන පුද්ගලයන් සුවපත් කිරීමට රජයට දැරීමට සිදුව ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකා, දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළිදරව් වී ඇති ආකාරයට 2015 වර්ෂයේ ලැබුණු සුරාබදු ආදායම රුපියල් මිලියන 105,234කි. මද්‍යසාර භාවිතය නිසා එම වර්ෂයේ දී රජයට සිදු වී ඇති ආර්ථික හානිය රුපියල් මිලියන 119,660කි. එමෙන්ම මද්‍යසාර භාවිතය නිසා වසරකට සිදුවන ආර්ථික හානිය බිලියන 137ක් බව ද වාර්තා වේ. එම සංඛ්‍යාවෙන් 70%ක් සෞඛ්‍ය වියදම්ය.

සියලු වැඩ අතරහැර ලාබෙට අරක්කු සමග වැඩ ඇල්ලීම
එම්.ජේ.ගුණසිරි

ලෝකයේ සෙසු රටවල මද්‍යසාර භාවිතය සමග සසඳනවිට මෙරට මද්‍යසාර භාවිත කරන පුද්ගලයන් ශරීරගත කරගන්නා මද්‍යසාර ප්‍රමාණය ද ඉතා ඉහළය. ඉහළ මාත්‍රාවකින් මද්‍යසාර භාවිත කිරීමෙන් ශරීර සෞඛ්‍යයට සිදුවන හානිය ද වැඩිය. මද්‍යසාර භාවිතයට ඇබ්බැහිවීමත් සමග හටගන්නා හෘද රෝග, සිරෝසිස් සහ පිළිකා වැනි බෝ නොවන රෝග හේතුවෙන් මෙරට වසරකට 15,000ක් මිය යන බව වාර්තා වේ. එමෙන්ම මද්‍යසාර භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයන් 40 දෙනකු රටට අහිමි වේ. දුම්පානයට දැඩිව ඇබ්බැහි වී විවිධ රෝගාබාධවලට ගොදුරු වන පුද්ගලයන් 20,000ක් වසරකට මිය යන බවත් වාර්තා වේ. සෙසු මත්ද්‍රව්‍ය භාවිතය නිසා තවත් පුද්ගලයන් 2000ක් පමණ වසරකට අහිමි වේ. එසේ මිය යන සංඛ්‍යාවෙන් අතිබහුතරය පිරිමි පුද්ගලයන්ය. කුටුම්බයක කශේරුකාව බිඳී ගිය පසු වසරකට නන්නන්තාර වන පවුල් සංඛ්‍යාව 30,000කට වැඩිය. දරු දැරියන් විශාල පිරිසකට පියවරු අහිමි වේ. එමෙන්ම මද්‍යසාර, දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිත කරන බහුතරය අඩු ආදායම්ලාභී කණ්ඩයට අයත් වන බැවින් වෙහෙස මහන්සි වී උපයාගත් මුදලින් වැඩි කොටසක් මත්වීමට වියදම් කිරීම ගෘහස්ත ප්‍රශ්න පත්තරය තවත් පුළුල් කිරීමක් බව ද පැහැදිලිය. එහෙයින් මද්‍යසාර, මත්ද්‍රව්‍ය සහ දුම්වැටි පරිභෝජනය අඩුවීම ගැන මේ රටේ පුරවැසියන් විදිහට සතුටු විය යුතු බව ශ්‍රී ලංකා ඇඩික් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ සම්පත් ද සේරම් මහතා අප සමග පැවසුවේය.

“පසුගිය වර්ෂයේ දෙවතාවක් තුළ 20%ක් සහ මේ වසරේ ජනවාරි මාසයේ 14%ක් මද්‍යසාර සම්බන්ධයෙන් පවතින බදු වැඩිවීම මද්‍යසාර අලෙවිය පහත වැටෙන්න ප්‍රධාන හේතුවක් වුණා. රට තුළ පවතින ආර්ථික අර්බුදය තුළ ජනතාවගේ ආදායම අඩුවීම, ආදායම් අහිමි වීම සහ රැකියා අහිමි වීම ද මත්පැන් පරිභෝජනය අඩුවීමට ප්‍රධාන වෙලා තියෙනවා. ඒත් අනාගතය ගැන අපිට අනාවැකි කියන්න බෑ. ඒ නිසා මත්ද්‍රව්‍ය සහ දුම්වැටි සඳහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක වෙන්න ඕනෑ. රටේ ජනතාවගේ ආදායම, පවතින උද්ධමනය ගැන සැලකිලිමත් වෙමින් මද්‍යසාර සහ දුම්වැටිවල මිල වෙනස් කරන්න ඕනෑ. ඒ වගේම සුරාබදු වැඩි කිරීම සහ මද්‍යසාර, දුම්වැටි සම්බන්ධයෙන් මිල සූත්‍රයක් හඳුන්වාදීම අයි.එම්.එෆ්. ප්‍රධාන යෝජනා දෙකක්. එම යෝජනා ක්‍රියාත්මක වීම තුළ මද්‍යසාර, දුම්වැටි සඳහා ක්‍රමානුකූල වැඩිවීමක් තියෙනවා. දැන් එහෙම දෙයක් නෑ. අදාළ නිලධාරීන් යම්කිසි ගණනය කිරීමක් කරලා මිල වැඩි කරනවා. ඒක සාර්ථක නෑ. වැඩි වෙන්න ඕන බදු ප්‍රමාණය වැඩි වෙන්නෙ නෑ…”

සියලු වැඩ අතරහැර ලාබෙට අරක්කු සමග වැඩ ඇල්ලීම
සම්පත් ද සේරම්

“ඒ වගේම මෙරට තුළ දුම්වැටි පරිභෝජනයත් 9.1%කට අඩු වෙලා තියෙනවා. ලෝකයේ දුම්වැටි පරිභෝජනය කරන රටවල් අතර අපේ රටේ දුම්වැටි පරිභෝජනය සැලකිය යුතු මට්ටමකින් අඩු වෙලා තියෙන බව ඇත්ත. එම තත්ත්වය තව දුරටත් අඩු කරගන්න ඕනෑ. ඒ ඉලක්කයට යෑමට නම් සිගරැට් සිල්ලරට විකුණන එක සම්පූර්ණයෙන් නතර කරන්න ඕනෑ. මේ වෙනකොට ලෝකයේ රටවල් 107ක් සිල්ලරට සිගරැට් අලෙවි කිරීම තහනම් කරලා තියෙනවා. සිගරැට් සිල්ලරට විකුණනකොට දුම්වැටි පෙට්ටියේ තියෙන රූපමය අවවාද පාරිභෝගිකයා දකින්නෙ නෑ. ඒ වගේම සිල්ලරට සිගරැට් අලෙවි කරනකොට ලබාගැනීමට තිබෙන පහසුව වැඩි වෙනවා. සිගරැට් සිල්ලරට විකිණීම නතර කිරීමේ යෝජනාව කැබිනට් එකට ඉදිරිපත් වුණේ 2016 අවුරුද්දේ. ඒත් තවම ක්‍රියාත්මක වෙලා නෑ. අපේ රටේ සිගරැට් පරිභෝජනය කරන අයගෙන් 93%ක් තවම දුම්වැටි මිලදී ගන්නෙ සිල්ලරට. දුම්වැටි එක, දෙක විකිණීම සිගරැට් පරිභෝජනය අඩු කිරීමට ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. ඒ වගේම පාසල්, පූජනීය ස්ථාන ආසන්නයේ දුම්වැටි, මද්‍යසාර අලෙවියට මීටර් 100ක් දුර සීමාවක් ක්‍රියාත්මක කරලා තියෙනවා. මද්‍යසාර සඳහා එම නීතිය වලංගු වුණාට දුම්වැටි අලෙවියට ඒ නීතය වලංගු නෑ. පාසල් ගෙට්ටුවෙන් පිට වෙනකොට ම දුම්වැටි අලෙවි කරන වෙළෙඳ සැල් මේ රටේ පාසල් ආශ්‍රිත ඕන තරම් තියෙනවා. ඒ වගේම සිගරැට් ෆිල්ටරයෙන් පරිසරයට විශාල හානියක් වෙනවා. මෙරට වසරකට සිගරැට් ෆිල්ටර් මිලියන 2300ක් පරිසරයට මුදාහරිනවා. එක දවසකට සිගරැට් ෆිල්ටර් මිලියන 6.3ක් අපේ පරිසරයට එකතු වෙනවා. ගොඩබිම, සාගරය ඇතුළුව සියලු පරිසර පද්ධතීන්වලට ඒ තුළින් විශාල බලපෑමක් සිදු වෙනවා. ඒ නිසා මේ වෙනකොට සිගරැට් ෆිල්ටර් තහනම් කිරීම ගැන ලෝකයේ බොහෝ රටවල සාකච්ඡා කරනවා. අපේ රටෙත් සිගරැට් ෆිල්ටර් තහනම් කිරීමට නීති හඳුන්වා දෙන්න ඕනෑ. ශ්‍රී ලංකා, දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ පනතට යෝජනා රාශියක් ඉදිරිපත් වෙලා තියෙනවා. එම යෝජනා අදටත් ක්‍රියාත්ම වෙලා නෑ. කඩිනමින් එම යෝජනා ක්‍රියාත්මක කරන ලෙසට අපි ඉල්ලා සිටිනවා…” ශ්‍රී ලංකා ඇඩික් ආයතනයේ ඉල්ලීම ගැන රජයේ අවධානය යොමු වේ යැයි අපි සිතමු.

මද්‍යසාර, දුම්වැටි විකිණෙන මිලෙන් 75%ක් පමණ බදු අය කිරීමේ ලෝක සම්මතයක් පවතිනුයේ එම භාණ්ඩ පරිභෝජනය අවම කිරීමටය. ඒ මද්‍යසාර, දුම්වැටි අලෙවියෙන් ලැබෙන ආදායමට වඩා ඒ තුළින් සිදුවන හානි පූර්ණ කිරීමට විශාල වියදමක් දැරීමට සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැන සිටින නිසාය. මද්‍යසාර සහ දුම්වැටි අලෙවියෙන් මෙරට ආර්ථිකයට ලැබෙන බදු ආදායමට වඩා විශාල ගුණයකින් මද්‍යසාර සහ දුම්වැටි භාවිතයෙන් සිදුවන හානිය පූර්ණ කිරීමට රජයට දැරීමට සිදුව ඇත. එමෙන්ම මෙරට ජීවන වියදම වැඩිවීමට සාපේක්‍ෂව මද්‍යසාර, දුම්වැටි මිල වැඩි වී නොමැත. එවැනි මිල වැඩිවීමක් සිදු වෙන්න අඩුම අරක්කු බෝතලයක් රුපියල් 4500ක් හෝ මිල විය යුතුය. එහෙයින් සුරා බදු තව වැඩි කළ යුතුය. එවිට සුලබව මත්පැන් පානය කරන පිරිස බොන ප්‍රමාණය අඩු කරති. සුරා පානය නතර කිරීමට ප්‍රයත්න දරන පිරිස මිල වැඩිවීමත් සමග නතර කරති. මද්‍යසාර භාවිතයට අලුතින් යොමුවීමට ඉඩ ඇති තරුණ පිරිස විශාල වශයෙන් අඩු වේ. රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබෙන සුරාබදු ආදායම තව වැඩි වනු ඇත. එවිට රටේ සෞඛ්‍ය වියදම අඩු වේ. සමාජ ගැටලු, ගෘහස්ත ආරවුල් අවම වේ. රටට විශාල සෙතක් අත්වේ.

එහෙත් කඩා වැටී තිබෙන මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය වෙළෙඳ පොළ යථාවත් කිරීමට මද්‍යසාර සමාගම්, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්, තැබෑරුම්කාර දේශපාලුවන්, නිලධාරීන් බහුභූත දොඩමින් විවිධ නාඩගම් නටති. එහෙත් පෙනෙන වාසියට වඩා නොපෙනෙන අවාසිය ඉතා ප්‍රබල බව තේරුම් ගෙන අදාළ බලධාරීන් සහ නිලධාරීන් නටන නාඩගම බුද්ධියෙන් නරඹමින් කටයුතු කළ යුතු බව අපගේ අදහසය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment