අතීතයේදී ශ්‍රී ලංකාවේ දක්‍ෂ සටන් ශිල්පීන් සිටි බවට දිය හැකි හොඳම නිදසුනක් වන්නේ අංගම්පොර සටන් කලාවයි. මෙම සටන් කලාවේ නිරත වූ ශ්‍රී ලාංකික දක්‍ෂ ගුරුවරුන් හමු වී දකුණු ඉන්දීය සටන්කරුවන් ද පුහුණුව ලබා ඇතැයි ඉතිහාසයේ සඳහන් වේ.

හෙළ හරඹ, සිංහල සෙල්ලම් ලෙසින් හැඳින් වූ මෙම සටන් කලාව වර්තමානයේ ජනප්‍රියව ඇත්තේ අංගම්පොර සටන් කලාව නමිනි.

ශ්‍රී ලංකාව තම යටත්විජිතයක් බවට පත්කර ගැනීමේදී ඉංග්‍රීසීන්ට මහත් හිසරදයක් වූයේ අංගම්පොර සටන් ශිල්පීන්ය. එනිසා ඔවුන් ශ්‍රී ලංකාව යටත් කර ගත් පසු අංගම්පොර සටන් කලාව තහනම් කළේය.

එවන් වු සටන් කලාවක් පරම්පරාවෙන් පරම්පරාවට පැමිණ අද වන විට අභාවයට යන මට්ටමට පත්ව ඇත. ඊට එක් හේතුවක් වී ඇත්තේ මෙම සටන් කලාවට තරුණ පිරිස යොමු නොවීමය. දෙවැන්න මෙම සටන් කලාවේ සටන් ශිල්ප කිහිපයක් වෙනත් ආත්මාරක්‍ෂක සටන් ක්‍රම සමඟ එක්කර අංගම්පොර සටන් ලෙස හඳුන්වාදීමට ඇතැම් පිරිස් කටයුතු කිරීමය.

මෙවැනි පසුබිමක තම පිය පරපුරෙන් උරුම වූ මෙම අංගම්පොර සටන් කලාව වෙනත් කිසිදු සටන් ශිල්ප සමඟ එක්නොකර අනාගත තරුණ පරපුරට දායාද කිරීමට වෙහෙසවන සටන් ගුරු උපදේශකවරයෙක් අපට හමුවිය. ඔහු ජුවාන් හෙට්ටිගේ චමීර ප්‍රනාන්දු ය.

මගේ පියා ජුවාන් හෙට්ටිගේ ග්‍රේෂන් ප්‍රනාන්දු. කටුබැද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහුට ග්‍රේෂන් මාස්ටර් කියලයි කවුරුත් කිව්වේ. මගේ සීයා ජුවන් හෙට්ටිගේ ලියොන් ප්‍රනාන්දු. ඔහු තමයි අපගේ පරම්පරාවට අංගම්පොර සටන් කලාව උරුමකර දුන්නේ. සීයාට මෙම සටන් කලාව උගන්වා තිබෙන්නේ එක්දහස් අටසිය ගණන්වල අග භාගයේදී ශ්‍රී ලංකාවට පැමිණි මලබාර් ජාතික කුමාරස්වාමි නමැති පූජකතුමන්. එම පූජකතුමන් පවසා තිබෙනවා මෙය අපගේ සටන් කලාවක් බව. චමීර තම පරම්පරාව ගැන පවසමින් අප සමඟ දොඩමළුවන්නට විය.

මෙම සටන් කලාව ඉගැන්වූවේ මගේ තාත්තාත් මහප්පා වන ජුවන් හෙට්ටිගේ බිලින් බර්නාඩ් ප්‍රනාන්දු හෙවත් බර්නාඩ් මාස්ටර් දෙදෙනා ය. මාව 1977 වසරේදී පාසලට ඇතුළත් කළ දින රාත්‍රියේ තාත්තා මට අංගම්පොර සටන් කලාව උගන්වන්න ආරම්භ කළා. එතැන් පටන් මම මෙම සටන් කලාව සියල්ල ප්‍රගුණ කළා.

මෙය ආත්මාරක්‍ෂක සටන් කලාවක් නෙවෙයි. යුද සටන් කලාවක්. එනිසා මෙහි අත්පා හරඹ, ආයුධ හරඹ. ගැට පූට්ටු, ගමන් තාල ආදී ශිල්ප ක්‍රම රැසක් පවතිනවා. මෙහි ගමන් තාල යනු සතුරා පරාජය කිරීම සඳහා යොදාගත් ගමන් ශිල්පයකි. එහිදී සතුරා මුලා කරමින් ගමන් කරන හැටි උගන්වනවා. මෙම ගමන් තාල සඳහා කොටියා සිය දඩයමේදී භාවිතා කළ ගමන් ක්‍රම ආදිය යොදාගෙන තිබෙනවා.

ආයුධ භාවිතා කරන අයුරු, ඉන් සතුරා පරාජය කරන අයුරු ආදී ලෙසින් ගැඹුරු සටන් ශිල්ප ක්‍රම මෙහිදී ඉගෙන ගත යුතුයි. එනිසා මෙය මාස කිහිපයකින් ප්‍රගුණ කළ හැකි සටන් ක්‍රමයක් නෙවෙයි. වසර තුනක්වත් අඩුම තරමින් ඉගෙන ගත යුතුයි. ඒ සඳහා ඉවසීම සහ කැපවීම අවශ්‍යයි. ඉතිං මං උත්සාහ කරන්නේ මෙම සටන් ශිල්පය තරුණයන් හතර දෙනෙකුටවත් උගන්වා ඔවුන් තුළින් අනාගත පරපුරට ගෙන යෑමටයි. චමීර සිය අරමුණ පැහැදිලි කරමින් පැවසීය.

මෙම සටන් කලාව ඉගෙනුමට තරුණ පිරිස අතර කැමැත්තක් නැතිද?

වර්තමානයේ බොහෝ තරුණයන්ට අවශ්‍ය ඉතා කෙටි කලකින් ප්‍රදර්ශනාත්මක සටන් කලාවක් ඉගෙනීමටයි. එනිසා ඔවුන් අංගම්පොර නමින් විවිධ සටන් ක්‍රම එක් කළ ආත්මාරක්‍ෂක සටන් ක්‍රම ඉගෙනුම ලබනවා. එනිසා මා ඉල්ලා සිටින්නේ නිවැරදි අංගම්පොර සටන් කලාව රැක ගැනීමට එක්වන ලෙසටයි. ඒ සඳහා අපගේ පරම්පරාවෙන් උගත් සම්පූර්ණ අංගම්පොර සටන් කලාව ඕනෑම කෙනෙකුට ඉගැන්වීමට සූදානම්.

පසුගිය කාලයේදී අංගම්පොර සටන් කලාව තරුණයන් අතර ජනප්‍රිය වීම සඳහා දඬුබස්නාමානය ටෙලිනාට්‍යය බලපෑමක් ඇති කළා. නමුත් එම ජනප්‍රියත්වය තුළින් සම්පූර්ණ සටන් කලාව තරුණයින් අතරට ගියේ නැහැ.

එනිසා දැනට මා පාසල් මට්ටමින් වැඩමුළු පවත්වමින් අංගම්පොර සටන් කලාව ගැන දරුවන්ට දැනුමක් ලබාදීමට උත්සාහ කරනවා. මගේ පුතාත් දැනට අංගම්පොර සටන් කලාව ඉගෙන ගන්නවා. එය මට සතුටක්. මෙය අපගේ සිංහල උරුමයක්. එය අපගෙන් පසු වැළලී ගියොත් ලොකු අපරාධයක් ලෙසයි මා සිතන්නේ. චමීර අවසන් වශයෙන් පැවසීය.

අපගේ හෙළ සටන් කලාව රැක ගැනීමට වෙර දරන මෙම අංගම්පොර සටන් ශිල්පියා සහ ගුරු උපදේශකවරයාගෙන් යම් දැනුමක් ලබා ගැනීමට කැමැත්තක් ඇති තරුණ පිරිසක් වෙතොත් දුරකථන අංක 076 9029068 හෝ 0769189086 ඇමැතිය හැකිය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment