මම මානසිකව ලොකු කඩා වැටීමකට ලක්වුණා – ශේෂාද්‍රි ප්‍රියසාද්

268

මහත්තයා මාව මෝර්ටිවේට් කරනවා
පස් වසකට පසු ‘වීර්යා’ එක්ක ශේෂාද්‍රි හෝල්වලට
හැම දෙයක්ම වෙන්නේ හොඳට

සුනිල් අරුණ වීරසිරි අධ්‍යක්‍ෂණය කරනු ලැබූ ‘වීර්යා’ සිනමා නිර්මාණය පසුගිය 5 වැනිදා සිට තිරගත කිරීම ආරම්භ කළා. ඒත් එක්කම කලකට ඉහත දී සිනමාවෙන් නොදුටු ශේෂාද්‍රි ප්‍රියසාද් ඔන්න අයෙමත් ඔයාලට වීර්යා සමග මුණගැසෙනවා. ඉතිං කාලෙකට පස්සේ සිනමාවෙන් දකින්න හම්බවෙන ශේෂාද්‍රි සමග මේ කතාබහ වීර්යා ගැනය.

● කොච්චර කාලෙකට පස්සෙද චිත්‍රපටයක් තිරගත වෙන්නේ?

මම හිතන්නේ අවුරුදු පහකට විතර පස්සේ තමයි චිත්‍රපටයක් තිරගත වෙන්නේ. අන්තිමටම තිරගත වුණේ සමීර වක්වැල්ලගේ සූම් චිත්‍රපටය. ඒ මම හිතන්නේ 2016 වසරේ. වීර්යා චිත්‍රපටය තිරගත වුණ ගමන් මට හොඳ ප්‍රතිචාර ලැබුණා. ගොඩක් අය කියලා තියෙනවා ආසයි ආපහු දකින්න කියලත්.

මම මානසිකව ලොකු කඩා වැටීමකට ලක්වුණා - ශේෂාද්‍රි ප්‍රියසාද්

● වීර්යා මංගල දර්ශනයට ගියහම මොකද හිතුණේ?

මුලින්ම මාව චිත්‍රපටයකින් දකින්න ලැබුණහම තියෙන හැඟීම ම තමයි මට තියෙන්නේ. ‘වීර්යා’ චිත්‍රපටය තිරගත වෙනකම් සෑහෙන කාලයක් බලාගෙන හිටියා. මංගල දර්ශනයේදී ලැබුණු ප්‍රතිචාර ඉතා ඉහළයි.

● ‘වීර්යා’ චිත්‍රපටය ගැන කතා කළොත්?

මම කැමැතිම චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ කතාවට මම හරි කැමති වුණා. සුනිල් අරුණ අංකල් තමයි මට චිත්‍රපටයට ආරාධනා කළේ. අනික මේක පවුලේ චිත්‍රපටයක්.

● ෂූටින්වල දී ලැබුණු අත්දැකීම්?

‘වීර්යා’ රූගත කිරීම් සිදුකළේ නුවර. මෙහි ‘වලාසේල’ කියන ගීතයට මේ දිනවල ගොඩක් හොඳ ප්‍රතිචාර තිබෙනවා. මෙහි නිෂ්පාදක කණ්ඩායම එක්ක මම කලින් වැඩ කරලා තියෙනවා. ඔවුන් හරියට සහෝදරයෝ වගෙයි.

මම මානසිකව ලොකු කඩා වැටීමකට ලක්වුණා - ශේෂාද්‍රි ප්‍රියසාද්

● මේ දවස්වල රිදී තිරයේ ජගත් චමිලගේ පෙම්වතිය වුණා එහෙමද?

ඔව්… ඔව්… ජගත් චමිල කියන්නේ මට වඩා ගොඩක් ජ්‍යෙෂ්ඨ කලාකරුවෙක්. ඔහුත් සමග මට වැඩ කරන්න ලැබීම ලොකු අත්දැකීමක්. මේ චිත්‍රපටය කරන කාලේ මම ගොඩක් ආධුනික රංගන ශිල්පිනියක්. ඉතිං ඒ වෙලාවේ ජගත් අයියා, ශ්‍රියානි ආන්ටි, ලකී අංකල්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා.

● ‘වීර්යා’ හි තිලිණි ශේෂාද්‍රිට සමානද?

සමහර වෙලාවට සමානයි. තිලිණි කියන්නේ අපිට එදිනෙදා ජීවිතයේ හම්බවෙන චරිතයක් කිව්වොත් හරි. මමත් තිලිණි වගේ ගැහැනු ළමයි දැකල තියෙනවා.

● ‘සිහිනයකි ආදරේ’ හේමාල් සමග 18 වැනිදා ඉඳලත් මුණ ගැසෙනවා?

මම හේමාල් අයියත් එක්ක රූගත කළ දෙවැනි චිත්‍රපටය තමයි සිහිනයකි ආදරේ. හේමාල් එක්ක රඟපාල මට පුරුදුයි. දිව්‍යා තිලිණිට වඩා වෙනස්. දිව්‍යා කියන්නේ අනාථ දරුවෙක්. දිව්‍යාට ආදරය ලැබෙනවා රෙහාන්ගෙන්. ඒ ආදරයත් එක්ක දිව්‍යා ආපහු අලුතෙන් ජීවිතය පටන් ගන්නවා. ඒක ලබන සතියේ රිලීස් වෙනවා.

● මේ චරිත දෙකෙන් වැඩිපුර කැමති කාටද?

මේ චරිත දෙක දෙකක්නේ. දිව්‍යා හරි අහිංසක චරිතයක්. තිලිණි කටකාර චරිතයක් ඒක හින්ද මම මේ චරිත දෙකටම කැමතියි.

● මේ දවස්වල මොනවද කරන්නේ?

මේ දවස්වල අම්මගේ චරිතය තමයි නිරූපණය කරන්නේ. ඇත්තටම කිව්වොත් බබාගේ වැඩවලට මූලිකත්වය ලබාදෙන හින්දා තවම වැඩක් භාර ගත්තේ නෑ. දැනට ආරාධනා කිහිපයක් ලැබිලා තියෙනවා ඒවා සාකච්ඡා මට්ටමේ තියෙන්නේ.

මම මානසිකව ලොකු කඩා වැටීමකට ලක්වුණා - ශේෂාද්‍රි ප්‍රියසාද්

● දැන් ඉස්සර වගේ රඟපාන්න අකමැතිද?

අකමැත්තක් නෙමෙයි කැමතියි. මට ඔළුව කෙළින් තියාගෙන වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනෑ. මට ගෙදර දේවල් හිත හිත වැඩක් කරන්න අමාරුයි. දරුවාව බයක් නැතිව ගෙදර දාලා යන්න පුළුවන් වුණා තමයි. වැඩක් භාර ගන්න ඕනෑ ඒකට ටික දවසක් යනවා.

● ගෙවී ගිය කාලය ගත වුණේ කොහොමද?

ගෙවී ගිය කාලය හරිම අත්දැකීම් ගොඩක් ඇති කරපු කාලයක්. අවුරුදු පහකට වැඩි කාලයක් මාව ගොඩක් දෙනෙකුට දකින්නත් හම්බ වුණේ නැහැනේ. ඉතිං ඒකාලේ තමයි මම ගොඩක් දේවල් තේරුම් ගත්තේ. අද මම මෙහෙම තැනක ඉන්නේ ගෙවී ගිය කාලයේ මම මානසිකව ගොඩක් දේවල් ළං කර ගන්න පුළුවන් විදිහට මනස හදාගත්ත නිසා දැන් හරි සතුටුයි.

● ජීවිතයේ හොඳ නරක දැකපු විදිය?

වෙච්ච හැම දෙයක්ම හොඳ දෙයක්ද නරක දෙයක්ද මම මගේ ජීවිතයට මා ලබාගත්තු අත්දැකීම් වුණා. දැන් මම ජීවිතය ගැන තෘප්තිමත්.

● පසුගිය කාලයේ රඟපාන්න නොලැබීම ගැන දුකක් එහෙම තියෙනවාද?

ඒක මගේ තීරණයක්නේ. මට ආරාධනා නොලැබුණා නොවෙයි. මොකද මම හිටපු මානසිකත්වයත් එක්ක මට වැඩ කරන්න බැහැ කියන තැන තමයි හිටියේ. මගේ පෞද්ගලික ජීවිතයට වුණ දේවල්වලදී මිනිස්සු කියපු දේවල්වලට මුහුණ දෙන්න බැරිවුණා. ඒක හින්දා මම මානසිකව ලොකු කඩා වැටීමකට ලක්වුණා. ඉතිං එතැනින් එහාට මට ඕනෑ වුණේ හැම දෙයකින්ම ඉවත් වෙලා මට මගේ ජීවිතය හොයා ගන්න. ඉතිං ඒකත් එක්ක වැඩ කරපු නැති එක ගැන කිසිම දුකක් නැහැ. මම මගේ ජීවිතයට ඊට වඩා දේවල් එකතු කර ගත්තා. හැම දෙයක්ම වෙන්නේ හොඳට. හැම දෙයක්ම ධනාත්මකව හිතලා භාර අරගෙන වැඩ කරගෙන යනවා.

● වැඩ නොකළට ලැබෙන ජනප්‍රියත්වය අඩුවෙලා නැහැනේ?

එදා ඉඳලම මට ලැබුණු ආදරයේ අඩුවක් නැහැ. මගේ අක්කගේ නංගිගේ ප්‍රේක්‍ෂකයෝ හරහා හරි මට ඒ ආදරය ලැබෙනවා. මොකද මම කාලයක් සමාජ මාධ්‍යයෙන් ඈත්වෙලා හිටියත් ඒ ගොල්ලො කියනවා ඔයා ගැන අහනවා කියලත්.

● වැඩිපුර කැමැති සිනමාවේ රැඳෙන්නද?

පසුගිය කාලයේ මම ටෙලි නාට්‍ය දෙකකටත් රංගනයෙන් දායක වුණා. නමුත් මට දීර්ඝ ටෙලි නාට්‍යවල නම් වැඩකරන්න ඇත්තටම අමාරුයි. මොකද ටෙලි නාට්‍යයක් වෙනුවෙන් අවුරුද්දක් දෙකක් කැප වෙන්න එපායැ. අතරමගදී දාලා යන්න බැහැනේ. මට එහෙම කැපවෙන්න අමාරුය. චිත්‍රපටයක නම් කෙටි කාලයකින් ෂූටින් ඉවර කරනවානේ.

● සැමියා සමග ගෙවන ජීවිතය?

එයා රැකියාවක් කරනවා. ගෙදර වැඩ සිද්ධ වෙන්නෙ මගේ අතින්. ඔහුගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. මම වැඩකට ගියහමත් එයාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.

● චිත්‍රපට දෙකක් තිරගත වීම ගැන මහත්තයා මොනවද කියන්නේ?

එයා ආසයි. මාව මෝර්ටිවේට් කරනවා. කිසිම විදිහකින් එයා මට ඍණාත්මක දේවල් කියන්නේ නැහැ.

● රඟපෑමට සීමාවන් එහෙම දාලා තියෙනවාද?

අනේ නැහැ . එයා කියන්නේ කරන දේ හරියට කරන්න කියලා විතරයි. ඒ වෙනුවෙන් කැපවෙලා අතරමග දාලා යන්න එපා කියලයි කියන්නේ. ඒකයි මාත් දීර්ඝ දේවල් භාර ගන්නෙ නැත්තේ.

● ‘සිහනයකි ආදරේ’ බිහිසුණු අනතුර රූගත කළේ කොහොමද?

අපි ඒ සියල්ලම රූගත කළේ ඉන්දියාවේ. ඒ අත්දැකීම හරි වැදගත්. ඒ දර්ශන තලයේ වුණත් හොඳ විනයක් තිබෙනවා. හරි සැලසුමක් තිබෙනවා. ඒ අත්දැකීම මට හරි අලුත් අත්දැකීමක් වුණා.

● තවත් චිත්‍රපට කීයක් එන්න තියෙනවාද?

ඇත්තටම තවත් චිත්‍රපට දෙකක් එන්න තියෙනවා. ඒකත් තාත්තාගේ ‘රහයි ජීවිතේ’ කියන චිත්‍රපටය. අනෙක් එක ‘තරු අතර’ කියන චිත්‍රපටය.

● දිනක්‍ෂි ශානුගේ ජනප්‍රියත්වය ගැන මොකද හිතන්නේ?

හරිම සතුටුයි. හරිම ආඩම්බරයි. විශේෂයෙන්ම නංගි ගැන. නංගි මට වඩා අවුරුදු හයක් බාලයි. ඉතිං ඒ වයසට එයා ළඟා කරගෙන තියෙන දේවල් ගැන මට මාර ආඩම්බරයක් තියෙන්නේ. එයාට ලොකු ෆෑන්ඩ් බොඩ් එකක් තියෙනවා. ඒත් එක්කම දිනක්‍ෂි අක්කිගෙත් මේ දවස්වල ටෙලි නාට්‍ය දෙක තුනක්ම විකාශය වෙනවා.

● ‘වීර්යා’ අධ්‍යක්‍ෂවරයා ඔබේ රංගනය ගැන මොනවද කිව්වේ?

අරුණ අංකල්ගේ පළමු අධ්‍යක්‍ෂණය. මේ චිත්‍රපටය අපි හැමෝටම ලොකු අත්දැකීමක් වුණා. අධ්‍යක්‍ෂවරයාගෙන් මට ලැබුණු සහයෝගය ඉතාම වැදගත්.

● ශේෂාද්‍රිට ආදරය කරන රසික රසිකාවියන්ට මොනවද කියන්න තියෙන්නේ?

චිත්‍රපට දෙකක් ඇවිත් තිබෙනවා. හැමෝටම ආරාධනා කරනවා නරඹන්න එන්න කියලා. ඔන්න මම අයෙත් සිනමාවට ඇවිත් තියෙනවා. සමාජ මාධ්‍ය හරහා අපිත් එක්ක කතාබහ කරන අයට කියන්නේ චිත්‍රපටය නරඹලා අපිට හොඳ නරක කියන්න කියලයි.

● ජීවිතය ගැන ඉදිරි සැලසුම් මොනවාද?

මුලින් කිව්ව වගේ නිර්මාණ කිහිපයක් සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. ඉදිරියේ දී පුළුවන් වෙයි තවත් නිර්මාණවලින් හම්බවෙන්න. බබාගේ සහ පවුලේ වැඩකටයුතුවලට තමයි මූලිකත්වය දෙන්නේ.

● ජීවිතයේ කලකිරීම් පසුතැවීම් එහෙම තියෙනවාද?

මම ඇත්තටම වෙච්ච හැම දෙයක්ම ලොකු අත්දැකීමක් විදිහට තමයි භාර අරගෙන තියෙන්නේ. වෙච්ච හොඳ නරක හැම දෙයක්ම ඒකෙන් මම දෙයක් ඉගෙන ගෙන ඉස්සරහට ගියා මිසක් ජීවිතයේ ආපස්සට ගියේ නැහැ. ජීවිතය එකතැන නතර කර ගත්තෙත් නැහැ. එතැනින් එහාට කොහොමද මේක හරිගස්සගෙන යන්නේ කියන එක විතරය මගේ ඔළුවේ තිබුණේ. ඉතිං අදටත් ජීවිතයට මොන ප්‍රශ්න ආවත් ඒක ඍණාත්මකව හිතන්නේ නැතිව ධනාත්මකව හිතන්න තමයි නිතර උත්සාහ කරන්නේ.

දිනේෂ් විතාන
ඡායාරූප – උපුල් නිශාන්ත

advertistmentadvertistment
advertistmentadvertistment