සතුට හා සැපය දෙන සිකුරුගේ නරක පැත්ත

220

මනුෂ්‍ය ජීවිතයේ ලෞකික වශයෙන් සතුටත් සැපත් ලබාදෙන ග්‍රහ මණ්ඩලයේ සෞම්‍ය ශීත ග්‍රහයෙක් වන සිකුරුගේ මහ දශාවත් අතුරු දශාවත් ලැබූ විට තරුණ මහලු බොහෝදෙනාගේ මානසික තත්ත්වය විවිධ අංශ කෙරෙහි යොමුවීම පැහැදිලිව පෙනෙන කරුණකි. ළමා දිවිය අවසන් කර යෞවන විය එළැඹෙනවාත් සමග උපතින් කේන්ද්‍රයේ පිහිටීම අනුව සිකුරු දශාවක් ලැබූ විට සිකුරුගේ ග්‍රහණයට මැදිවීමෙන් ස්ත්‍රී පුරුෂ බොහෝ දරුවන් තම ජීවන ගමන අඳුරු කරගන්නා වගේම සාර්ථක කරගන්නා අයද අද සමාජය තුළ සිටිති. විශේෂයෙන් අධ්‍යාපන කටයුතුවල යෙදෙන වයස අවුරුදු 16, 17, 18 වයසැති දරුවන් අතර අස්විද, මා, මුල යනාදී කේතු හිමි මහ දශාවට මෙකී නැකතකින් උපත ලබා තිබේ නම්, ඊළඟ දෙවනුව ලබන සිකුරු මහ දශාව අවු.20 කාලය තුළ විනෝදය, ආලය, ආදරය, මේ සියල්ල ඉතා තදින් බලපෑමෙන් මෙම තත්ත්වයට පත්වේ. එසේම කලා ජීවිතයට නැඹුරුවී ඒ අනුව සංගීත නැටුම් ආදියෙන් ප්‍රවීණත්වයට පත්වී විශාල දියුණුවක් ලබන අයද මේ අතර සිටිති. විශේෂයෙන් සිකුරු ග්‍රහයාගෙන් යෙදෙන මාලවි යෝගය කේන්ද්‍රයේ සිව්වැන්නේ යෙදීමෙන් දෙමාපියන් ඇතුළු සියලු දෙනාට ඉතා දියුණුවක් උදාවෙන ආකාරය බොහෝ අවස්ථාවල දකින්නට ලැබේ. ඒ කෙසේ නමුත් සිකුරුගේ නරක පැත්ත ගැනද වැඩිදුරටත් මෙතැන් සිට ජ්‍යොතිෂමය විග්‍රහයක යෙදෙමු.

උපතින් සිකුරු කේන්ද්‍රයේ හත්වැන්නේ යෙදීම ස්ත්‍රී පුරුෂ දෙපක්‍ෂයටම ලෞකික ජීවිතයට නොයෙකුත් අසුබ බලපෑම් ඇති කිරීමට හේතුවේ. විශේෂයෙන් විවාහය සම්බන්ධව නොයෙකුත් අවුල් ගැටලු ඇතිවේ. හත්වැන්නේ හෝ ලග්නයේ සිකුරු සමග කුජ සංයෝගය යෙදීමෙන් ස්ත්‍රීන් හා පුරුෂයන් අධික රාගයෙන් කාමයෙන් මත්වීම නිසා විවාහය ඇතුළු සම්පූර්ණ ජීවිතය විනාශ කරගන්නා අවස්ථා බොහෝ ඇත. කටක, වෘශ්චික, මීන යන ජල රාශියක් ලග්නය වී හත්වැන්නේ සිකුරු, කුජ සංයෝගය යෙදී ඇති පුරුෂයන් බේබදුකම, අධික සුරා පානයත්, අධික කාමාධික වීමත් නිසා ජීවිතය විනාශකර ගනී. ස්ත්‍රියකගේ වුවහොත් අඩු වයසේ සිටම අනියම් සබඳතා ඇතිවීමත්, විවාහ වුණත් ස්ථිර පැවැත්මක් නැතිවීමෙන් විවාහ කීපයක් සිදුවේ. කෙසේ නමුත් සිකුරු සමග කුජ සංයෝගය යෙදුනොත් සිකුරුගේ නරක පැත්ත වැඩි වේ.

ලග්නය කටකය වී සිකුරු සමග සඳු කුජ දොළොස්වැන්නේද උපතින් යෙදී සිටී නම් ස්ත්‍රීන් හා පුරුෂයන් සල්ලාල කමත් අධික විනෝදයත් නිසා දේපළ ධනය සියලු දේ විනාශකර ගනී. විශේෂයෙන් ස්ත්‍රීන්ගේ මෙම පිහිටීම යෙදුනොත් කිසිම ලැජ්ජාවක් භයක් නැතිව ප්‍රසිද්ධියේම සල්ලාල හැසිරීමේ යෙදෙති.

බෙරණ, පුවපල්, පුවසල යන සිකුරු හිමි නැකතකින් උපත ලබා ලග්නයේ සිකුරු සමග කුජ රාහු යෙදී සිටීනම් ළමාවියේ පටන් විනෝදයටම සීමාවී වැඩි වශයෙන් නිවසින් පිට අනියම් මිතුරන් සමග කාලය ගෙවමින් හැසිරේ. ඒ අනුව අධ්‍යාපන කටයුතු පවා අවුල් කර ගනී. කටක සිංහ යන ලග්න හිමියන්ට මෙය යෙදුණොත් ඉතා අවාසනා සහගත ජීවිතයක් ගතකිරීමට සිදුවේ.

ඊළඟට බලමු සිකුරුගෙන් අපට ඇති කරන හානිකර රෝගාබාධ ගැන. ලග්න වශයෙන් මේෂ ලග්නයේ හයවැන්න වන කන්‍යා රාශියට සිකුරු නීච වන්නේය. මෙහිදී සිකුරුගේ ප්‍රසන්න ගතියක් පිරිපුන් බවක් නැති වේ. මේනිසා එවැනි ස්ත්‍රී පුරුෂයන් පිළිවෙළක් නැති ජීවිතයක් ගකකරනු ඇත. ලිංගාශ්‍රිත රෝගාබාධ පහසුවෙන් වැළදෙනු ඇත. අනියම් සබඳතාවයක් නිසා මේ තත්ත්වයට පත්වේ. විවාහ කටයුතු පවා අවුල් වේ. එනිසා මේෂ ලග්න හිමියනි, සිකුරු හයේ නම් ප්‍රවේශම් වන්න.

වෘෂභ ලග්න හිමියන්ගේ ලග්නාධිපති සිකුරු හයවැන්නේ බලවත්. නමුත් අධික වශයෙන් පැණි රසට ගිජු වීමෙන් නිතර කෑමට ගනී. මේ නිසා මුත්‍රා ආබාධ හටගනී. වයසට යන විට ක්‍රමයෙන් දියවැඩියාව රෝගය ඇතිවීමෙන් කරදර සිදුවේ. සිකුරුගේ බලවත්වීම මත නිතර දිව, කට පිනවීමට රසවත් පැණි කෑමට මුල්වීමෙන් දත්වල පවා රෝග හට ගනී. ඇස්වල පෙනීම දුර්වල වේ.

මිථුන ලග්නයේ හයවැන්නේ වෘශ්චික රාශියේ සිකුරු උපතින් යෙදුන ස්ත්‍රීන් හා පුරුෂයන් කාමයෙන් ආලයෙන් මත්වීම නිසා නොගැළපෙන අසුද්ධ සබඳතා හේතුවෙන් රෝගවලට ගොදුරු වේ.

ලිංගාශ්‍රිත රෝග, හෘදයාබාධ මෙවැනි අයට වැළදේ.

කටක ලග්නයේ හයවැන්න ධනු රාශිය ගුරුට හිමිවන බැවින් සිකුරු උපතින් යෙදීමෙන් හොඳක් කිව නොහැක. විශේෂයෙන් රෝගාබාධ තත්ත්වයන් ඇති වන්නේ කෑමට ගන්නා ආහාර රටාව අනුවය. බඩ මහත් වේ. ආමාශගත රෝග නිතර ඇතිවේ. පැණි රස කෑමට ප්‍රියවීම නිසා මුත්‍රා වකුගඩු ආශ්‍රිත රෝගද ඇතිවේ.

සිංහ ලග්නය හිමියන්ට සිකුරු උපතින් හය වැන්නේ යෙදීම බොහෝ අවස්ථාවල ස්ත්‍රීන්ට සමාජ රෝග ඇතිවීමේ අවදානම පවතී. පුරුෂ පක්‍ෂයට ශුක්‍ර ධාතුව හීනවීම, වියලීම සිදුවේ. ලිංගික ශක්තිය හීන වේ.

කන්‍යා ලග්න හිමියන්ගේ හයවැන්න රෝගස්ථානයට කුම්භ රාශියට සිකුරු උපතින් යෙදී සිටී නම් යටි බඩ ආශ්‍රිතව හොරි, දද, කුෂ්ඨ ආදිය පහසුවෙන් බෝවිය හැක.

ඒ අතරම මුහුණ කම්මුල ආදී ස්ථානවලටද පැතිරේ.

තුලා ලග්නයට අධිපති සිකුරු හයවැන්නේ මීන රාශියේදී ඉතා බලවත් වේ. සියලුදෙනා හිතවත්කම් දක්වනු ඇත. කෙසේ නමුත් වකුගඩු ආබාධයක් ඉතා සුළු වශයෙන් තිබී ගණන් නොගැනීම නිසා කාලයකින් පසු ගන්නා ආහාර රටාව අනුව අසාධ්‍ය වේ. විශේෂයෙන් පැණි රස කෑම භාවිතය නිසාය.

වෘශ්චික ලග්න හිමියන්ගේ හයවැන්න මේෂ රාශිය තුළ සිකුරු උපතින් යෙදීම ස්ත්‍රීන්ට මෙන්ම පුරුෂයන්ට යටිබඩ ආශ්‍රිතව තදබල ඌෂ්ණාධික රෝග තත්ත්වයන් හටගැනීමට හේතුවේ. පුරුෂයන්ට ලිංග ආශ්‍රිතව, ස්ත්‍රීන්ට යෝනි ආශ්‍රිතව අධික දාහ ගතියක් වියළි ස්වභාවයක් මත රෝග හට ගනී. විශේෂයෙන් රවි දෙවැන්නේ සිටී නම් ඉතා තදබල වේ.

ගුරු හිමි ධන රාශියේ හයවැන්න වෘෂභ රාශියට සිකුරු බලවත් වේ. තදබල රෝගයක් ඇති නොවන අතර ආහාර ගැනීමේ දී පිටි සහිත පැණි රස ආහාර සීමාකිරීම හොඳයි. එසේ නොවුණහොත් නොදැනුවත්වම මුත්‍රා ආශ්‍රිත සීනි අධික වීමෙන් අසනීප වේ.

මකර ලග්න හිමියන්ගේ හයවැන්න මිථුනයට සිකුරු උපතින් යෙදී සිටීනම් පර ස්ත්‍රීන් ඇසුරට යෑමට ළැදිවීම නිසා ඒ අනුව කාම රෝග වැළදීමට ඉඩ තිබේ. මෙය සිකුරුගේ නරකම පැත්තකි. විශේෂයෙන් අඩු වයසේ ගැහැනු පිරිමි දැනගත යුතුයි.

කුම්භ ලග්නය හිමි අයගේ රෝගස්ථානය හයවැන්නේ කටකයේ සිකුරු උපතින් යෙදී සිටී නම් ආමාශගත රෝග හා වකුගඩු ආශ්‍රිත රෝග වලින් විශේෂයෙන් ප්‍රවේශම් විය යුතුය. මුත්‍රා සමග පිෂ්ටය හා සීනි අධිකවීමෙන් රෝගී තත්ත්වය ඇතිවේ. ආමාශගතව කෑම පල්වීමෙන් අජීර්ණ රෝග හට ගනී.

මීන ලග්නයේ හයවැන්න සිංහ රාශිය තුළ සිකුරු උපතින් යෙදී සිටී නම් වතුර පානය අඩුවීම නිසා වකුගඩු ආශ්‍රිතව මුත්‍රා පෙරීම දුර්වලවීමෙන් රෝග තත්ත්වයන් උදාවේ. අශ්මරී, ගල්, වකුගඩු තුළ ඇතිවේ. මෙය සිකුරුගේ නරකම පැත්තකි.

සිකුරු සැපයි සතුටයි, නමුත් ඒ අතර නරක පැත්තද ඇත. ඒ සම්බන්ධව මා මෙතෙක් විස්තර කරන ලද කරුණු ඔබට යහපතට මුල්කර ගන්න. කලින් දැන සිටියොත් මෙවැනි අපලවලින් අත්මිදෙන්න හැකිවේවි. නොදැන හිටියොත් දුක්විඳින්න සිදුවේවි. කෙසේ නමුත් යහපත් ජීවිතයේ ගුණගරුක පැවැත්ම මත පිළිවෙත් කරගැනීමෙන් අපල සමනය කර ගත හැක.

ජ්‍යොතිර්වේදී, ජේ. ගුණපාල
170, අරමණාගොල්ල, හොරණ
0774347574.

advertistmentadvertistment
advertistmentadvertistment